ලංකාවේ දෙවැනි අගනගරය වූ පොළොන්නරුව, මෙරට වියළි කලාපයේ යාන්ඔය, මහවැලි ගඟ සහ මාදුරුඔය නිම්නවලින් සමන්විත වූ විශාල බිම් කඩක් වසා පැතිරී ඇති මහා භූමියක කේන්ද්‍රගතව පිහිටියේය. දිවයිනේ එක් කොනක පිහිටියද මෙම නුවර අගනගරයව මුළු දිවයිනම එක් සේසත් කළ යුගය මෙරට ඉතිහාසයේ ස්වර්ණමය අවධියක් විය. සියවස් ගණනාවක් ලංකාවේ අගනගරයේ හිමිකම් ලබා සිටි අනුරාධපුරය විදේශීය ආක්‍රමණ ප්‍රධාන කොට ඇති වූ තවත් බොහෝ සාධක හේතු කොටගෙන 11 වැනි සියවස අරඹන වන විට පරිහානියේ ආරම්භයට පැමිණ සිටියේය. විදේශීය ආක්‍රමණිකයන්ගෙන් රට ගලවා ගෙන නැවත රට එක්සේසත් කළ පළමුවැනි විජයභාහු (ව්‍ය.ව.1055-1110 රෝහණයේ අභිෂේක ලත් වර්ෂයේ සිට) ලංකා ඉතිහාසයේ මෙතෙක් පැවැති චාරිත්‍ර විධි අනුව අනුරාධපුරයේ තමා විසින්ම අලුතින් ඉදිකළ රජ මාලිගාවක සිට රාජාභිෂේකය ලැබූවද සැබැවින්ම ඔහු රට පාලනය කළේ පොළොන්නරුවේ ගොඩනැගූ අගනගරයේ සිටය. 1 වැනි පරාක්‍රමභාහු (ව්‍ය.ව 1153 – 1186 ) වැනි ලංකාවේ දේශීය රාජාවලියේ අතිවිශිෂ්ට පාලකයකුටද අගනුවර වූ මෙම නගරය 11 විජයභාහු (ව්‍ය.ව1186 -1187 ) නිස්සංකමල්ල (ව්‍ය.ව 1167 -1196 ) වැනි රජුන්ටද තම කාර්ය සාඵල්‍යය සඳහා තෝතැන්නක් විය. ආක්‍රමණිකයන් වැඩි වශයෙන් පැමිණ ඉන්දියාවට වඩාත් විවෘත වූ නුවර කලාවිය මධ්‍ය කොටගත් අනුරාධපුරයට වඩා පොළොන්රුවේ වූ ඇතැම් දුර්ග ලක්ෂණයන් නිසාත් යුද්ධෝපක්‍රම අතින් වැදගත් ස්ථානයක් වීමත් නිසා වඩා ආරක්ෂිත ස්ථානයක් ලෙස සැලකූ බව පෙනේ. එසේම බොහෝ විට ස්වයං පාලනය සඳහා සටන් කළ රෝහණ ප්‍රදේශය තම අණසක යටතේ තබාගැනීමට හොඳම ස්ථානය ලෙස ද පොළොන්නරුව සලකන්නට ඇත. මෙම නගරය අගනගරය කරගත් අවසන් පාලකයා වූයේ විදේශීය ආක්‍රමණිකයකු වූ කාලිංඝ වංශික මාඝ (ව්‍ය.ව 1215 – 1236) නමැත්තෙකි. ව්‍ය.ව.1232දී 111 විජයබාහු දඹදෙණිය අගනගරය කොටගෙන අභිෂේක ලැබීමෙන් අනතුරුව පොළොන්නරුවට ව්‍ය.ව. 1073දී සිට හිමිව තබූ ඒ අනභිභවනීය ස්ථානය නැතිවී ගියේය. පොළොන්නරුවෙන් දඹදෙණියට අගනුවර මාරු විය. ඉන්පසු ලංකාව අවස්ථා කිහිපයකදී එක් සේසත් වුවද පොළොන්නරුව අගනගරය බවට පත් නොවී ය.
මෙසේ පොළොන්නරුවේ ඉතිහාසය සිහිපත් කරමින් අද අප පොළොන්නරුවේ පොත්ගුල් විහාර ප්‍රතිමාව පිළිබඳ නව මතයක් ඉදිරිපත් කිරිමට අදහස් කරමු. පොළොන්නරුවේ පොත්ගුල් විහාර භූමියට සමීප පර්වතයක නෙළා ඇති ඉතාමත් කලාත්මක ප්‍රතිමාව මීට ශත වර්ෂයකට පමණ පෙර සොයාගෙන ඇතැයි පැවසේ. මෙම ප්‍රතිමාව පිළිබඳ උගතුන් විවිධ මත රාශියක් ඉදිරිපත් කර තිබේ. ඇතැම් උගත්හු මෙමඟින් පළමුවැනි පරාක්‍රමබාහු රජතුමා නිරූපණය වන්නේ යැයි පවසති. තවත් උගතුන්ගේ මතය වන්නේ පළමුවැනි විජයබාහු රජතුමාගේ පිළිරුවක් බවය. සෘෂිවරුන් වන පුලස්ථි, අගස්ථි හෝ කපිල තපස්වීන් යැයි මත පළකරන්නෝද වෙති.
ප්‍රතිමාවේ උස අඩි 11 අඟල් 02කි. පොළොන්නරුව පුලස්ථිපුර යනුවෙන්ද හඳුන්වන නිසා මෙම ප්‍රතිමාව පුලස්ථි සෘෂිවරයාගේ යැයි මතයකි. මෙමගින් අගස්ථි හෝ කපිල සෘෂිවරයා නිරූපණය වන්නේ යැයි තවත් මතයකි. එස්.එම්. බාරොස් පඬිවරයා මෙම පිළිරුව දෑතේ නීති ග්‍රන්ථයක් දරා සිටින නිසා පරාක්‍රමබාහු රජතුමාගේ යැයි කියති. මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් මෙම ප්‍රතිමාව තුළින් තාපසයකු හෝ සෘෂිවරයකු පිළිබඹු වන බව මුලින් ප්‍රකාශ කළේය. පසුව එතුමා එම මතය වෙනස් කර එය පරාක්‍රමබාහු රජතුමාගේ යැයි පැවසීය. එච්.සී.පී. බෙල් මැතිතුමා මෙය රජකු හෝ බෞද්ධ යතිවරයකු නොවන බවත්, ප්‍රසිද්ධ ගුරු කෙනකුගේ ප්‍රතිමාවක් බවට මතයක් ප්‍රකාශ කළේය. ඒ අනුව මෙය කපිල සෘෂිවරයාගේ පිළිරුව විය හැකි යැයි කියති. ආනන්ද කුමාරස්වාමි මැතිතුමා තර්ක කරන්නේ මෙම පිළිරුව රජකු හෝ සෘෂිවරයකුගේ බවයි. ෆෝගල් මැතිතුමාට අනුව මෙම ප්‍රතිමාව අගස්ථි හෝ කපිල සෘෂිවරයාගේය. එසේම ප්‍රතිමාවේ දෑතේ දරා සිටින්නේ පුස්කොළ පොතක් යැයි මත පළකරන උගත්හුද වෙති. මෙම මතයට විරුද්ධ මතයක් ඉදිරිපත් කරන පරණවිතාන සූරීන් එය රාජ්‍ය සංකේතය වන වියගහ බව පවසයි. දෙස් විදෙස් උගත්හු මෙසේ විවිධ මත පළකර සිටිද්දී, දිනක් ලග්ගල පල්ලේගම සිට දෙහිඅත්තකන්ඩියට එන පාරේදී තැනක අප ගමන් ගත් වාහනය කාර්මික දෝෂයක් නිසා නතර කරන්ට සිදුවිය. එහිදී පොළොන්නරුවේ වැව් බැම්ම මත සිට දැකිය හැකි නකල්ස් කඳු වැටියේ සමීප ඡායාරූපයක් ගත්තෙමු. ආශ්චර්යකි! සැබැවින්ම ආශ්චර්යකි. එය පොළොන්නරුවේ පොත්ගුල් විහාර ප්‍රතිමාවේ මුහුණ, හිස මෙන්ම හිස්වැස්මේ අංග හා හොඳින්ම ගැළපෙන බවක් දක්නට ලැබිණි. ටික වේලාවකදී නකල්ස් කඳුවැටිය ප්‍රදේශයට මීදුම පතනය වන්නට විය. මීදුම පතනය නිසා අප නකල්ස් කඳු වැටියේ දුටු මිනිස් මුහුණේ පහළ කොටස සුදු පුළුන් කැටියක්වන් මීදුවෙන් වැසී ගියේය. එය දුටු නඬේගුරු හේන්ගොඩගයන් අත තිබූ කැමරාව නැවතත් ක්ෂණිකව ක්‍රියාකාරි විය.
“විජයසිරි මහත්තයා… විජයසිරි මහත්තයා… මෙන්න මහ ලොකු පුදුමයක්. බලන්නකෝ මම ගත්ත පිංතූරය…” හේන්ගොඩගේ කැමරාව මා දෙසට යොමු කළේය. මම ඒදෙස විමසිල්ලෙන් බැලුවෙමි. ඇත්තෙන්ම එම ඡායාරූපය මා මවිතයට පත් කළේය. මීදුම් පතනයට පෙර අප ගත් නකල්ස් කඳුවැටියේ ඡායාරූපයෙන් පෙනුණ මිනිස් මුහුණේ යටි රැවුලක් වැවී ඇති ආකාරයක් එයින් දිස් විය.
“එය පොළොන්නරුවේ පොත්ගුල් විහාර පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රතිමාවේ ඇති මුහුණේ තියෙන යටි රැවුල මෙන් දිස්විය.”
“හේන්ගොඩගේ මහත්තයෝ… අපේ ගමන පොඩියක් වෙනස් කරලා පොළොන්නරුවට ගිහින් මේ ප්‍රතිමාවත් බලලම යමුද?” නකල්ස් කන්දේ ඡායාරූපයෙන් මවිතයට පත්ව සිටි මගේ යෝජනාව ඒකච්ඡන්දයෙන් අනුමත විය. ගමන් මග වෙනස් කළ අපි දෙහිඅත්තකන්ඩියේ සිට අරලගංවිල පාරට ගොස් මඩකළපුව හන්දියෙන් හැරී පොළොන්නරුව බලා ගමන් ගතිමු. පොත්ගුල් විහාර පරාක්‍රමබාහු රජතුමාගේ යැයි පැවැසෙන ප්‍රතිමාව ඉදිරිපිට අපේ නැවැතුම්පොළ විය. සමාධියකට සමවැදී ටික වේලාවක් ප්‍රතිමාවට අනිමිස ලෝචන පූජාව පැවැත් වූ නඬේගුරු හේන්ගොඩගේ මහතා කටහඬ අවදි කරයි. පංතියේ ගුරුතුමාට කන් දෙන කීකරු සිසුන් පිරිසක් මෙන් අපි ඊට කන් දෙමු.
“මෙම ප්‍රතිමාව නෙළා ඇති ගලේ… මහ පොළොවට සමාන්තර තිරස් රේඛාවට ඉහළින්… ප්‍රතිමාවේ හිස් පලදනාව පිහිටා තියෙනවා. මේ හිස් පලදනාව දිහා හොඳින් බලන්න. එහි පහළට යොමුවූ රේඛා ජාලයක් ඇති බව පේනවා නේද? හිස් පලඳනාව… මහ පොළොවෙන් ඉහළට මතුවුණු නකල්ස් කඳුවැටිය යැයි උපකල්පනය කළහොත්… එහි ඇති පහළට යොමුවූ රේඛා ජාලය කඳුවැටියෙන් පටන් ගන්නා උල්පත් ධාරා ජාලය යැයි කිව නොහැකිද? හිස් පළදනාව නළලට සම්බන්ධ වන ස්ථානයේ යම් ගැට්ටක් ඇති බව පැහැදිලිව දක්නට ඇත. ඒක අපි ගත් ඡායාරූපයේ පුළුල් නළල් තලය අවසන්ව හිස් වැසුම ආරම්භ වන ස්ථානය ඇලියකින් හා ගැටියකින් පෙන්නුම් කරයි. ප්‍රතිමාවේ නළල් තලය හිස් වැසුම දෙසට වක්‍රාකාරව පිහිටයි. එය අප ගත් ඡායාරූපය හා සමග හොඳින් ගැළපෙයි.
ප්‍රතිමාව දෑස පියාගත් එකකි. අප ගත් ඡායාරූපයේද දෑස් ඇති තැන කුඩා වක්‍රාකාර ඉලිප්පීමක් දකින්නට තියෙනවා. ප්‍රතිමාවේ නාසය ඡායාරූපයේද දකින්නට පුළුවන්. ඡායාරූපයේ නාසයට පහළින් උඩු රැවුලක් සහිත මුඛය සහ නිකට පැහැදිලිව ඇත. මීදුම පතිතවූ පසු ගත් ඡාරූපයේ නිකටට පහළින් යටි රැවුල පෙන්නුම් කරනවා. මෙම ඡායාරූපය මඟින් ප්‍රතිමාවේ මුහුණ කදිමට පෙන්නුම් කරනවා නේද?” පැවැසු හේන්ගොඩයන් අප දෙස ජයග්‍රාහී බැල්මක් හෙළුවේය. ප්‍රතිමාවේ මුහුණ සහ අප ගත් ඡායාරූප විමසිලිමත්ව පරික්ෂා කළ පසු නඬේගුරාගේ කීම සත්‍යයක් බව අපට ද අවබෝධ විය.
දැන් අපි ප්‍රතිමාවේ වම් කන ප්‍රදේශයේ සිට පපුව හරහා පටියක් ආකාරයෙන් පහළට දිවෙන රේඛාව දෙස බලමු. එය හිසේ සිට පටන් ගන්නා උල්පත්වලින් ගලන දිය දහරා එකතු වී පහළට ගලායන අඹන්ගඟ යැයි උපකල්පනය කළ නොහැකිද? එසේ නම් ප්‍රතිමාවේ දෑතේ රුවාගෙන සිටින යම් වස්තුව සුදු ගල් කඳු වැටියක් නම් එය ගිරිතලේ හරහා කන්තලේ දෙසට ඇදී යන සුවිශේෂ පාෂාණ කඳු වැටිය නොවේද? අඹන්ගඟ ගලායන්නේ මෙම කඳුවැටිය හරහා බව අප දනිමු. එසේම අංගමැඩිල්ලේදී මෙම අඹන්ගඟ හරස් කර වර්තමාන පරාක්‍රම සමුද්‍ර්‍ය දෙසට ජලය ගලායාමට සලස්වා තිබේ. ප්‍රතිමාවේ ඉණේ ඉහළින්ම ඇති පටිය නැඹට පහළින් කලාත්මක අයුරින් ගැටගසා ඇති බව දකින්ට පුළුවන්. එයින් පෙන්නුම් කරන්නේ අංගමැඩිල්ලේදී අඹන්ගඟ හරස් කිරීම නොවන්නේද? ප්‍රතිමාවේ උරස සහ උදරයෙන් වැඩි කොටසක් සළුපිළියෙන් තොරව නිමාකිරීමට නිර්මාණ ශිල්පියා වගබලාගෙන ඇත. ඉණෙන් පහළ කොටස සළු පිළියෙන් සරසා තිබෙන බව ප්‍රතිමාවේ දක්නට ඇත. අඹන්ගඟ හරස් කළ ස්ථානය යැයි අප පවසන ප්‍රදේශයෙන් පහළ කොටස අඹන්ගඟේ දිය දහරින් සශ්‍රීක කළ හැකි බිම් යැයි අප කරන යෝජනාවට ඔබත් එකඟ වන්නේද? එසේනම් වළලුකරින් පහළ පාද කොටස නිරුවත්ව නිර්මාණය කර ඇත්තේ වෙරළබඩ වැලි බිම් සහිත හොඳින් ගොවිතැන් කළ නොහැකි ප්‍රදේශයක් විය නොහැකිද?
දැන් අපි ප්‍රතිමාව නෙළා ඇති ගල් කැබැල්ල පිළිබඳ සලකා බලමු. නඬේගුරු හේන්ගොඩගේ මහතා තවදුරටත් ප්‍රතිමාව පිළිබඳ විස්තර කිරීමට සැරසෙයි. අපි පාසැල් දරුවන් මෙන් ඔහුට කන් දෙමින් සිටියෙමු.
“ප්‍රතිමාව නෙළා ඇති පාෂාණය දුඹුරු පාටට හුරු ඇතුළත කොටස අමුතුම සුදු පැහැයක් ගන්නා වෙනස්ම මාදිලියක ගල් කැබැල්ලක් නේද? මෙම සමස්ත ගල් කැබැල්ල දෙස බැලීමේදී ඇලහැර ප්‍රදේශයෙන් හමු වන මැණික් ස්ඵටිකයක හැඩයක් ගෙන තියෙනවා. ඒක සිලින්ඩරාකාර මැදක් ඇති දෙපැත්තට උල්වී යන සේ නිල් රතු මැණික් වර්ග අයිති (ජාති) කොරන්ඩම් කුලයේ (ක්‍දරමබාමප ත්‍්පසකහ) ස්ඵටික ආකාරයක් පෙන්නුම් කරයි. එසේ කිරීමෙන් ජාති මැණිකකටත් වඩා වටිනාකමක් ප්‍රතිමාවට ලබාදීමට ගත් උත්සාහයක් නොවන්නේද? ප්‍රතිමාව දෙපස සෘජු සිරස් රේඛා දෙකක් මතුවන සේ පාෂාණය තුළින් පූර්ණ උන්නතියෙන් යුත් නිර්මාණයක් ඉස්මතු කිරීමෙන් මෙම ප්‍රතිමාවට ශ්‍රේෂ්ඨත්වයක් ආරෝපණය කර ඇත. පාෂාණයේ ප්‍රතිමාව දෙපස තිකෝණාකාර ප්‍රදේශ දෙකක් ඇතිවනසේ විකර්ණ රේඛා පිහිටුවීම මඟින් ප්‍රතිමාවට සජීවී ක්‍රියාකාරී ප්‍රාණවත් බවක් ලබාදී ඇත. එසේම උඩ සහ පහත තිරස් රේඛා දෙකින් සාමකාමී බවක් මතුකිරීමට නිර්මාණ ශිල්පියා උත්සාහ කර ඇති බවක් පෙන්වා දිය හැකිය.
ප්‍රතිමාවේ දකුණු කනට හා උරහිසට ඉහළින් ක,ර,ම,න ආදී 8 – 9 වැනි ශත වර්ෂවල ලියන ලද අක්ෂර ඇති බව හඳුනාගෙන තිබේ. එසේම අඹන්ගඟට ‘කාර ගංගා’ යැයි පුරාණයේදී ව්‍යවහාර කර ඇති බවක්ද දැන ගන්නට තිබේ. කාර ගංගාව හරස් කර ඉදිකළ ජලාශයකින් කෙරෙන සංවර්ධනයකදී ශ්‍රී ලංකාවේ නකල්ස් කඳුවැටියේ මනරම් බවද මුසු කරමින් කරන ලද විශිෂ්ට ගණයේ නිරූපණයක් යැයි මෙම කෘතිය අපට නොකියා කියන්නේද? හේන්ගොඩගේ මැතිඳුන්ගේ ගැඹුරු වූ නව මතයට කන්දුන් අපි නකල්ස් කඳුකර පරිසරයේ රිද්මය හා සොබාදහමේ ගැඹුරු අවයවයන් පිළිබඳ එදා හෙළයන් කරන ලද මෙම සිරිලක විස්මයජනක නිර්මාණය පිළිබඳ තවදුරටත් තර්ක විතර්ක කරමින් අමන්දානන්දයට පත්වීමු.
රැග් විජයසිරි











