පාට පාට හීන ලෝකයකට ප්‍රේක්ෂකයන් කැන්දාගෙන යන ෆැන්ටසි ටෙලි කලාවට හීන් අතුල් පහරක් දුන් ගුණාත්මක ටෙලිනාට්‍ය අතර, තවත් එක් අපූර්වතම නිර්මාණයක් වූයේ ‘වීරයා ගෙදර ඇවිත්’ කතා මාලාවය.
අවසානය කුමක්වේද? යන සොඳුරු කුතුහලය ප්‍රේක්ෂක සිත් තුළට නිතර කාවැද්දූ ‘වීරයා ගෙදර ඇවිත්’ කතා පුවතෙහි අද්විතීය කතා නායකයා වූයේ රොෂාන් රවීන්ද්‍රය. ‘වීරයා ගෙදර ඇවිත්’හි වීරයා ගැන කතා කරන්නට කැමැතිදැයි අප කළ ආරාධනය ඉතාම සුහදව භාරගත් රොෂාන් ‘හාට්’ වෙනුවෙන් සිය හඬ අවදි කළ ආකාරය ගැන මෙසේ සටහන් කරන්නෙමු.
‘වීරයා ගෙදර ඇවිත්’ ටෙලිනාට්‍යයේ චාමරගේ චරිතය ඔබේ රංගන ජීවිතයේ සුවිශේෂී සංධිස්ථානයක්?
සහතිකවම එය මම ඉතාම සතුටින් කළ චරිතයක්. එවැන්නකට මා තෝරාගැනීම ගැන ආනන්ද අබේනායක මහතාට වගේම නාමල් ජයසිංහ මහතාටත් ස්තුතිවන්ත වෙනවා.
තිර පිටපත ලැබුණු මොහොතේ හිතට දැනුණේ කොයි ආකාරයේ හැඟීමක්ද?
ලොකු ආශ්වාදයක් දැනුණා. රැල්ලට හසුනොවූ, ගුණාත්මක බව ෆැන්ටසි ආට් එක උකස් නොකළ නිර්මාණකරුවන් දෙදෙනකු මං ගැන තිබ්බ විශ්වාසය ගැන සතුටුයි.
නිරූපණය සඳහා ඔබට ලැබුණු චරිතය ගැන සතුටක් දැනුණේ නැද්ද එතැනදී?
චරිතය ගැන සතුටු වුණේ තිර පිටපත කියවන විට නෙමෙයි. මට භාරදුන් වගකීම හොඳින්ම ඉටුකළාට පස්සෙයි මම ඇස් නොපෙනී ගිය සොල්දාදුවාගේ චරිතය ගැන දැඩි ආත්ම තෘප්තියකට පත්වුණේ.
එහි අදහස ඔබ ‘චාමර කුලේන්ද්‍ර’ගේ චරිතයට සාධාරණය කළා?
හැකි උපරිමය මා කළ බව මට විශ්වාසයි.
ඊට හේතු වූයේ ඔබේ රංගන ශෛලියට ආවේණික වූ හැකියාවද? එහෙම නැත්නම් අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවීමද?
හොඳ නිර්මාණයක් බිහිවීමට නම් ඒ කාරණා දෙකම අත්‍යවශ්‍යයි. රංගනවේදියාගේ සහජ හැකියාව වාගේම අධ්‍යක්ෂවරයාගේ සියුම් මෙහෙයවීම මතද ඉතාම සාර්ථක චරිත වස්තූන් කලා නිර්මාණ තුළ බිහිවෙනවා. ආනන්ද අබේනායකගේ ගුරුහරුකම් මැද ‘චාමර කුලේන්ද්‍ර’ කියන වීර සොල්දාදුවා රොෂාන් රවින්ද්‍ර වෙතින් බිහිවූයේද ඒ ආකාරයටයි.
එතරම් සාර්ථකව එම චරිතය නිරූපණය කිරීම සඳහා ඔබ ආබාධිත රණවිරුවකු හමුවේ යම් අධීක්ෂණයක් කළාද?
කොහෙත්ම නැහැ. එවන් පුහුණුවක් අවශ්‍ය වූයේද නැහැ. අන්ධභාවයට පත්වූ මිනිසුන් මගතොටේදී කොයිතරම් නම් අපට මුහුණට මුහුණ හමුවෙනවාද? විශේෂයෙන් මම ඇස් නොපෙනී ගිය පුද්ගලයන්ව ඇසුරුකර තිබෙනවා. ඔවුන්ගේ හැසිරීම් දේහ ලක්ෂණ තුළ යම් චරිත නිරූපණයකට මැදිවීම දක්ෂ රංගවේදියකුට එතරම් භාරදූර කටයුත්තක් නෙවෙයි. අනික සොල්දාදුවා යන ශ්‍රේෂ්ඨ චරිතය, සුවිශේෂීම මිනිසුන් අද භුක්ති විඳින නිදහස උදාකර දීමට පංගුකාරයෙක් වී, දෙනෙත අහිමිකරගත් වීර සොල්දාදුවකුගේ චරිතය තුළ සාමාන්‍ය මිනිසුන් බොහෝ විට නොදකින නොසිතන පැත්තක් නිරූපණය කිරීමට මට අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාව වෙනුවෙන් මම මා සතු හැකියාව දායක කළා. එයට සුවිශේෂී පුහුණුවක් හෝ අධ්‍යයනයක් අවශ්‍ය වුණේ නැහැ. ඒ වගේම මම එය සාර්ථකව නිරූපණය කළා කියා ඔබ පැවැසුවා වාගේම තවත් ප්‍රේක්ෂකයන් එය අනුමත කිරීම ගැන වුවද මා දැඩි සතුටට පත්වෙන බවද මේ අවස්ථාවේ කිව යුතුයි.
එහි සමහර අවස්ථාවන් ඔබ එළිදැක්වූයේ ඔබේ නිදහස් සිතුවිලි හරහාද?
මෙහෙමයි, දක්ෂ චරිත නිරූපණයකට මැදිවන හොඳ රංගවේදියකුට අධ්‍යක්ෂවරයා විසින් කළ යුතු සියල්ල අටුවාටීකා වශයෙන් පැහැදිලි කළයුතු නැහැ. ටෙලිනාට්‍ය කලාවේ පුරෝගාමියා වූ ආනන්ද අබේනායක කියන විශිෂ්ට කලාකරුවා කළයුතු දේ මේ යැයි මට පැහැදිලි කළා. මම ඔහුගේ සිතුවිලි හඳුනාගෙන ඒ අනුව මා තුළ සිටින රංගවේදියාව නිදහස් කළා. රඟපෑමක් නොවූ රංගනයක් තිරය මත මැවෙන්නට මම ඉහත කීවා සේ දක්ෂ නළුවකු වාගේම හොඳ අධක්ෂණයක්ද අවශ්‍යයි.
ඔබ බොහෝ විට චරිත තෝරා බේරා ගැනීමකට මැදිවෙනවා නේද?
අනිවාර්යයෙන්ම මම මට ලැබෙන චරිතය ගැන ඉතා විමසිලිමත් වෙනවා.
ඒ කියන්නේ ඔබ මෙගා ටෙලි කලාව අනුමත කරන්නේ නැහැ කියන එකද?
එයට මම මෙහෙම උත්තරයක් දෙන්නම්. මෙගා ටෙලිනාට්‍ය සමඟ මගේ අමනාපයක් නැහැ. මම එයට අකැමැතිය කියන්නෙත් නැහැ. හැබැයි මෙගා ටෙලි කලාව අද ගමන් කරන්නාවූ මාර්ගය සහ එහි ක්‍රමවේදය නම් අනිවාර්යයෙන්ම වෙනස් විය යුතුයි. සරලව කෙටියෙන් කියනවා නම් සීමාවක් නැතිව අදීයන දිගු නාට්‍ය මාලාව කොටස් 50කටවත් සීමා විය යුතුයි. වැඩි යමක් ප්‍රේක්ෂකයනට දිය යුතු අන්දමේ ටෙලි නිර්මාණයක් සඳහා කොටස් 50කට වැඩි ගණනක් ලබාගැනීම සඳහා විශේෂ අවසරයක් ලබාගතයුතු ක්‍රමවේදයක්ද මෙයට ඇතුළත් කළ යුතුයි. අනෙක් කාරණය තරගයකට මෙන් සෑම රූපවාහිනී සේවයකම වැල නොකැඩී ඇදීයන ඉන්දීය ටෙලි විලාසිතාවටද යම් සීමාවක් පනවන්නේ නම් එයද හොඳ ටෙලි කලාවකට අවැසි පසුබිමකට මඟක් වේවි.
මේ සඳහා යම් නීති පද්ධතියක් අවශ්‍ය බවද ඔබ කියන්නේ?
නීති පද්ධති අවැසි නැහැ. කලාව වැනි සංවේදී මාධ්‍යයකට නීති දමන්නට බැහැ. කළ යුත්තේ අවශ්‍යතාව තේරුම් ගැනීමයි. ඒ අනුව කටයුතු කිරීමයි. විශේෂයෙන්ම ලංකාවේ කලාකරුවන්ට යමක් කරන්නට තිබෙන අවස්ථාව ඉන්දියානු කලාකරුවන්ට දෙන එක නවත්වන්න ඕනෑ. නැත්නම් එයට සීමාවක් පණවන්න ඕනෑ.
මෙයට වගකිව යුත්තන් කවුද රොෂාන්?
රජයට මෙහි ප්‍රධාන වගකීමක් තිබෙනවා. එයට පාට අදාළ නැහැ. පවතින රජය කවුරු හෝ වේවා එය ඔවුන්ගේ වගකීමයි. රූපවාහිනී සේවාවල ඉහළ තනතුරු දරන අයද මේ ගැන විමසිලිමත් විය යුතුයි. තවත් කාරණයක් ඉතා කාරුණිකව කියා සිටිනවා. ඒ තමයි විවිධ පාට අනුව පක්ෂ අනුව දේශපාලනයට බැස සිටින අපේ සහෝදර කලාකරුවන්ටද මෙහි වගකීමක් තිබෙන බව. මේ කතා කරන්නේ ද්වේශයෙන් හෝ අමනාපයෙන් නොවේ. යම් වගකීමක් කිසිවකුට තිබෙන්නේද? ඔවුන් මේ ගැන සැලකිලිමත් වීමෙන් යහපතක් උදාවේය යන හැඟීම මතයි මේ කතා කරන්නේ. මොකද කලාව කියන්නේ මිනිසා සඳහාම වෙන්වූවක්. ඒ නිසා ඒ වෙනුවෙන් හොඳ යමක් කිරීම තුළින් මිනිසාට මෙන්ම කලාවටද යහපතක් සිදුවන බව කිව යුතුයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











