දිනය ක්‍රි.පූ. 161ත් 137 අතර දිනයකි. ස්ථානය අනුරාධපුර රාජධානියට අයත් විජිත පුරයයි. දස දෙසින් අහස් කුස පුරා පැහැපත් වලාකුළු පැතිර යමින් තිබිණි. හාත්පස මහා සතුටක සේයාවකින් පිරී යමින් තිබිණි. ජනීජනයාගේ මුහුණු මත සතුටු සිනා සතුටු කඳුළු ජය ඝෝෂා ඉතිරී පැතිරී යමින් තිබිණි. ඇසුවන් දුටුවන් මහ මඟ යන්නවුන් නිවාසවල සිටින්නවුන් ප්‍රීතියෙන් ඉපිල යමින් සිටිනා අයුරු දක්නට ලැබිණි. තැන තැන එක්රැස් වූවන් සතුට පිරි වදන් මුහුණනු පෙනෙන්නට දකින්නට තිබිණි.
විජිතපුරය දෙසින් මහා ඝෝෂාකාරී සටනක හඬ කෙමෙන් නික්ම යමින් තිබිණි. ‘ගැමුණු මහ රජු එළාර පරදා සටන දිනලා’ මේ වචන සෑම මුවකම මිමිනෙමින් තිබිණි. ඒ ඇසිල්ලේ එකී ජයග්‍රහණයේ පණිවුඩය ලක්වාසී සියලු හෙළයන්ගේ සවන්පත් අතර රඳවාලමින් ජය සක් හඬ නිහඬ අහස් කුස පුරා රැව් පිළිරැව් දෙමින් පැතිර යන්නට පටන් ගත්තේය. නිවාසවල කෙත්වතුවල මෙන්ම යුද පෙරමුණේත්, රාජ මාලිගයේත්, විවිධ ඉසව්වලත් සිටි ජනී ජනයා මේ ජය සක් හඬත් සමග, කරමින් සිටි කාර්යය නවතා නැඟී සිටියහ. ඒ බොහෝ මයක් දෑත් නළල මත තබා දොහොත් මුදුන්දී ගෞරවාචාර දක්වා රජුටත් එකී කටයුත්තට දායකත්වය දුන් සියල්ලන්ටත් සිය ආචාරය පුද කළහ.
එළාර රජුගේ දුෂ්ට පාලන ප්‍රතිපත්තිවලින් පීඩාවට පත් ජනී ජනයා සැනසුම් සුසුම් හෙලූහ. බොහොමයක් දෙනා සිය දෛනික කටයුතු නවතා රජු යුදය ජයගෙන ආපසු යන පෙරමඟට දිව ආහ. ජය ඝෝෂා නඟමින් රජුට ආචාර කළහ. සතුට ප්‍රකාශ කළහ. ඇතැම් පිරිස් මහ මඟදීම රජුට වැඳවැටුණහ. ඒ, තමන් පීඩාවට පත් කළ කුරිරු පාලනයෙන් තමන්ව ගලවා ගත්තාට තුති පළ කරමිනි.
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියැවුණු මේ ජයග්‍රහණය තුන් සිංහලයටම දැනුම් දුන් පණිවුඩය මුලින්ම ගුවනට එක් කළේ ගැමුණු රජුගේ සේනාවේ සිටි අතිදක්ෂ දුනුවායෙකි. ඔහු වෙනත් කෙනකු නොව ගැමුණු රජුට මේ මහා යුද්ධය කරන්නට ශක්තිය ධෛර්යය සැපයූ දසමහා යෝධයන් අතර සිටි ථුස්සදේව යෝධයාය. හෙතෙම අතිදක්ෂ දුනුවායකු සේම ජයසක් පිඹීමේ විශිෂ්ටයෙකි. එහෙයින් සටනින් පසුව ඒ සතුටු පුවත රටට දැනුම් දීමට සමත් මහා ජවයකින් ථුස්සදේව යෝධයා ජය සංඛ්‍ය නාද කළ බවයි පැවැසෙන්නේ.
කෙසේ නමුත් මේ මහා සටන දිනා රට එක්සේසත් කරන්නට තමන්ට ශක්තියක් දුන් දසමහා යෝධයන්ට ඉහළම රාජ ගෞරව සහිතව අභිමානයෙන් ජීවත් වීමට හැකි අයුරින් සැලකූ දුටුගැමුණු මහ රජු එම යෝධයන්ට ගම්වර තිළිණ කළ බව ඉතිහාසයේ සඳහන් වෙයි. එහිදී සිය අතිදක්ෂ දුනුවායාට ඇඹිලිපිටිය පල්ලෙබැද්ද ප්‍රදේශයෙන් අක්කර 12,000ක භූමියකින් සමන්විත ගම්වරයක් ලබාදීමට රජු කටයුතු කරනවා. පසුව ථුස්සදේව යෝධයා සිය ඥාති සමූහයා සමගින් එම ගම්වරයේ පදිංචිවී තිබෙනවා.
කාලයාගේ ඇවෑමෙන් ජීවිතයේ ස්වභාවය අවබෝධ කරගන්නා ථුස්සදේව යෝධයා ගිහි දිවියට සමුදී පැවැදිභාවයට පත්වන්නේ තමන්ට රජුගෙන් ලැබුණු ඒ වාසනාවන්ත දක්ෂිණාවෘත හක්ගෙඩිය නිදන් කොට චෛත්‍යයක්ද බඳවමිනුයි.
තමන්ට අභිමානයෙන් ජීවත් වීමට හැකි පරිසරයක් ගොඩනංවා දුන් ථුස්සදේව පිළිබඳ ඉතා පැහැදීමෙන් සිටි ඔහුගේ ඥාති සමූහයා එම චෛත්‍යය වටකොට විහාරාරාම ගොඩනංවන්නත් කටයුතු කළ බව ඉතිහාස කතාවල සඳහන් වෙනවා. එදා ථුස්සදේව යෝධයා චෛත්‍යයක් ඉදිකර ආරම්භ කළ ඒ විහාරය පසුකාලීනව සංඛපාල විහාරය නමින් ප්‍රචලිත වූ බවත් පැවසෙනවා. වත්මන් ප්‍රධාන විහාර භූමියේ පිහිටි ගල් ලෙනක කෙටූ හක් ගෙඩියක සංකේතයකුත් දක්නට ලැබෙනවා.
මෙම විහාරයට සංඛපාල යන නාමය ලැබෙන්නේ ථුස්සදේව යෝධයාගේ ජය සංඛය තැන්පත් කළ චෛත්‍යය මෙය නිසා යන්නත් ජන විශ්සායයි. එමෙන්ම ථුස්සදේව හිමියන් පසු කලෙක රහත් ඵලයට පත්වූ බවද අතීත පුරාවෘත්තවල සඳහන් කරුණකි. පසු කලෙක ථුස්සදේව රහතන්වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඉදිකළැයි කියන දාගැබ දක්නට ලැබෙන්නේ විහාරයට කිලෝමීටර් කිහිපයක් එහා පිහිටි ගල් තලාවකයි. එම ස්ථානය ථුස්සදේව සොහොන නමින්ද ප්‍රචතිලතව තිබෙනවා. කෙසේ නමුත් හෙළ ඉතිහාසයේ අභිමානවත්ම එක්සේසත් කිරීම ලෙසින් සැලකෙන ගැමුණු රජුගේ සමයේ සිදුවූ ඒ මහා ජයග්‍රහණය සනිටුහන් කරමින් අහස් කුසට පැනනැඟි ජයසක් හඬට ජීවය දුන් දක්ෂිණාවෘත හක්ගෙඩිය අදටත් සංඛපාල විහාරයේ සුරැකිව ඇතැයි ජනප්‍රවාදයේ පැවැත එන විශ්වාසයකි.
කුමාර රත්නායක











