බ්‍රැන්ඩික්ස් සමාගම මෙරට ආර්ථිකයට ලබාදුන් සුවිශේෂී දායකත්වය වෙනුවෙන් යළිත් වරක් ‘වසරේ අපනයනකරු’ ලෙස ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. 23 වැනි වරට පැවැති මෙම සම්මාන උළෙල අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
සියලුම අපනයන කාණ්ඩ අතරින් ජාතික ආර්ථිකයට වැඩිම දායකත්වයක් ලබාදුන් සමාගම බවට පත්වීම නිසා බ්‍රැන්ඩික්ස් වෙත මෙම සම්මානය හිමි විය. මීට අමතරව ‘ගෝලීය වශයෙන් ක්‍රියාකාරී උපරිම විදේශ විනිමය ඉපැයුම්කරු’, ‘ශුද්ධ විදේශ විනිමය ඉපැයුම්කරු’, ‘අපනයන ක්ෂේත්‍රයේ රැකියා උත්පාදක’, අපනයන සැපයුම් දාමයට ප්‍රාදේශීය මට්ටමින් ඉහළම දායකත්වයක් ලබාදෙන සමාගම’ සහ ‘ඇඟලුම් ක්ෂේත්‍රයේ විශිෂ්ටතම අපනයනකරු’ ලෙසද සම්මාන හිමිකර ගැනීමට බ්‍රැන්ඩික්ස් සමත් විය.
“අපනයන සංවර්ධන මණ්ඩලය මඟින් බ්‍රැන්ඩික්ස් වෙත පිරිනැමූ මෙම සම්මාන අපට විශාල ගෞරවයක්. එමෙන්ම ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් බ්‍රැන්ඩික්ස් සමාගම මේ තත්ත්වයට රැගෙන ඒම සඳහා අඩිතාලම දැමූ මාටින් ට්‍රස්ට් මහතා මේ මොහොතේදී ගෞරවයෙන් සිහිපත් කළ යුතු වනවා. අපගේ මේ අති සාර්ථක ගමනේ මූලාරම්භය වූයේ ඔහුගේ මගපෙන්වීමයි. ඒ වගේම අද දවසේ අප සමග අත්වැල් බැඳගෙන සිටින 60,000කට අධික පිරිස අපගේ ජයග්‍රහණයන්ට නොමඳ ශක්තියක් සපයනවා.” බ්‍රැන්ඩික්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අශ්රොෆ් ඔමාර් මහතා පැවැසීය.
‘වසරේ අපනයනකරු’ සම්මානය බ්‍රැන්ඩික්ස් වෙත හිමිවූ 6 වැනි අවස්ථාව මෙයවේ. අනෙකුත් සම්මානද මීට පෙර කිහිප වතාවක් සමාගම වෙත හිමිවී තිබේ. ගෞරවය, විශ්වසනීයත්වය, කණ්ඩායම් හැඟීම හා විශිෂ්ටත්වය යන ගුණාංග මූලික කරගනිමින් සමාගම දිගින් දිගටම සාර්ථකත්වය කරා ගමන් ගනිමින් සිටී.