අවුරුදු පහක් වයසැති රජ කෙනකු පහළ වීම එක්තරා ආකාරයකට මවිතයට කරුණක්. ඒ වගේම කෙනකුට යම් සැකයක් සංකාවක් ඇතිකරන කාරණාවක්. ඇත්තටම අවුරුදු පහක දැවකුට රටක් පාලනය කරන්න පුළුවන්ද කියන එකත් තරමක සැක සහිත කාරණාවක්. හැබැයි රාජ්‍යත්වයේ උරුමය ඇත්නම් මොන වයසේ වුණත් ඔවුන්ගේ හිමිකම ලැබීමත් පැරැණි රාජ්‍යත්වයේ එක්තරා ක්‍රමවේදයක්. යම් ලෙසකට සිටින රජු මියගියහොත් එම කිරුළ ඊළඟ උරුමකරුට හිමිවීම සාමාන්‍ය සම්ප්‍රදායක්. මේ කරුණු කාරණා නිසාම වයස අවුරුදු පහේදී රජ කිරුළ හිමිවූවකු ගැන අහන්න ලැබෙන්නේ ප්‍රෞඪ ඉතිහාසයක් උරුම අපේ රටෙන්ම වීමත් විශේෂත්වයක්.
මේ විදියට වයස අවුරුදු පහේ රජු ගැන අහන්න ලැබෙන්නේ සීතාවක රාජධානියෙන්. ඔහු නමින් නිකපිටියේ බණ්ඩාර. ඒ කියන්නේ එවක සිටි රජුගේ වැඩිමහල් සහෝදරිය වන මත්තමගොඩ මහ බිසෝ බණ්ඩාරගේ පොඩි පුතා. ඒ සිදුවීම වෙන්නෙ නිකම්ම නෙවෙයි. මහා සැලසුමක ප්‍රතිඵලයක් විදියට.
සීතාවක රාජසිංහ රජුගේ පාලන කාලයේ ඉන්දියාවේ පෙරුමාල්වරු සත්කට්ටුවක් ලංකාවට ආවා. මෙයින් එක් අයකු තමයි අරිට්ඨකිවෙන්ඩු කියන පෙරුමාල්වරයා. ඔහු තරමක් කපටි පුද්ගලයෙක්. ඒ නිසාම ඉතා කෙටි කාලයකින් රජු සමග හිතවත් වීමට ඔහුට හැකියාව ලැබෙනවා.
අන්තිමේ මේ අරිට්ඨකිවෙන්ඩු පෙරුමාල් ‘මාන්නප්පෙරුම මොහොට්ටි’ කියන සිංහල නමින් ලංකාව තුළ පෙනී සිටින්නේ රජුගේ ආශීර්වාදයත් ඇතිවමයි. ඒ වගේම ඉතා දක්ෂ රණශූරයකු වෙච්ච ඔහු රජතුමාව තම ආගම වුණු ශිව ආගමට හරවා ගන්නත් කටයුතු කරනවා.
හැබැයි ඔය අතරේ රාජසිංහ රජු මියයනවා. මරණයට හේතුව විෂ උණ කටුවක් කකුලේ ඇනීම කියලත් කතාවක් පැතිර යනවා. හැබැයි ඇත්තටම සිදුව ඇත්තේ රජුගෙන් පසු රජ කිරුළේ උරුමය තිබූ රජුගේ මුණුබුරකු වන රාජසූරිය කියන කුමාරයා දොඩම්පෙ ගණිතයත් එක්ක එකතු වෙලා තුවාලයට විෂ බඳිමින් කළ කුමන්ත්‍රණය නිසා රජුගේ මරණය සිදුවීම බවත් පසුව හෙළිවී තිබෙනවා. කෙසේ නමුත් රජුගේ මරණයෙන් පසු රාජසූරියට රජකම හිමි වුවත් මේ පත්වීමට අරිට්ඨකිවෙන්ඩු හෙවත් මාන්නප්පෙරුම සිත යටින් අකැමැති වෙනවා. ඔහුට අවශ්‍ය වුණේම රාජකීය බලතල තමාට නිසි පරිදි හැසිරවීමට හැකි අයකුට රජකම ලබාදීමයි.
ඒ අදහස ක්‍රියාත්මක කරන්නට මඟක් සොයමින් සිටි මාන්නප්පෙරුමට ආරංචි වෙනවා රාජසූරිය රජු දොඩම්පෙ ගණිතයාගේ දුවක් බලන්න මානියංගම පැත්තෙ තැනකට රෑට රෑට යනවාය කියලා. මේ ආරංචියෙන් සතුටට පත්වෙච්ච මාන්නප්පෙරුම, රජුගේ වැඩිමල් සොහොයුරිය වන මත්තමගොඩ මහ බිසෝ බණ්ඩාර සමග එකතුව කුමන්ත්‍රණය කර රාජසූරිය රජුව මරාදමා මහ බිසෝ බණ්ඩාරගේ පොඩි පුතා වෙච්ච පස් හැවිරිදි නිකපිටියේ බණ්ඩාරට රජකම ලබාදීමට කටයුතු කරනවා.
එතැන් පටන් රට පාලනය කිරීමේ නාමික බලතල නිකපිටියේ බණ්ඩාරට ලැබුණත් සියල්ල සිදුකළේ මාන්නප්පෙරුමගේ අනුදැනුම අනුවයි. ඒ අනුව ඔහු නිල නොලත් පාලකයා බවටත් පත්වුණා. ඒත් වැඩි කාලයක් යන්න කලින් මේ පුවත දැනගන්නා පෘතුගීසීන් සීතාවක රාජධානිය අරාජික වී ඇතැයි සිතා දියෝගුද සිල්වා සමග හමුදාවක් එවනවා සීතාවක අල්ලා ගන්න. හැබැයි මාන්නප්පෙරුම සටනේ මෙන්ම උපායෙහි දක්ෂයකු නිසා පෘතුගීසීන්ට එළව එළවා පහරදීලා සීතාවක බේරාගන්නවා. ඒ අනුව ඔහු සීතාවකට අවශ්‍යම පුද්ගලයකු බවට පත්වෙනවා.
මේ අතරේ රජකම ගැන ආසාවක් ඇතිවන මාන්නප්පෙරුම ඊට සුදුසු උපායක් ලෙස මහබිසෝ බණ්ඩාරගේ දියණිය විවාහ කරගන්න යෝජනාවක් ගේනවා. එක්වරම එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් නොවූ නිසාම මහබිසෝ බණ්ඩාර මේ යෝජනාව දොළොස් හමුදාව භාර අතපත්තු ආරච්චිට දැනුම් දෙනවා. අතපත්තු ආරච්චිත් උපායෙහි සමතෙක්. ඔහු කැලෑපත්තරයක් ගහලා මාන්නප්පෙරුමව අපහසුතාවට පත්කරන්නේ ජනයා ලවා එහි කවි ගායනා කරවලයි.
ඒ අනුව ජනතාව අතර ප්‍රචලිත වූ ‘අතුරු මිතුරු දඹදිවතුරු රාජකපුරු සෙට්ටියා’ යන කවිය අදටත් සමාජය තුළ අසන්නට ලැබෙන කවියකි.
කෙසේ නමුත් ලැජ්ජාව නිසාම මාන්නප්පෙරුම පෘතුගීසි සමග එකතුව ජයවීර බණ්ඩාර නමින් කුලවැද්දුම් ලබා පෘතුගීසි සමග ඇවිත් සීතාවක යටත් කරගන්නවා. හැබැයි රාජ්‍යත්වය ගැන කුමන්ත්‍රණයක් නිසාම අවසානයේ පෘතුගීසින් අතින්ම මියයන්නත් ජයවීර බණ්ඩාරට සිදුවෙනවා.
කුමාර රත්නායක











