නියමිත කාලයෙන් පසු තනතුර වෙනස් වෙයි…
දෙවියන් මෙන්ම බ්‍රහ්මයන්ද යටත් විය යුතුමය…
චාතුර්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මානරතිය, පරනිම්මිත වසවර්තිය යන දිව්‍ය ලෝක හයට සක්දෙවිඳු අධිපතිත්වය දැරුවද, ශක්‍ර දේවේන්ද්‍රයන් වැඩවාසය කරන්නේ චාතුර්මහාරාජිකය හා තාවතිංසය යන දිව්‍ය ලෝක දෙක තුළ පමණි.
දෙවිවරු ඕපපාතිකව බිහිවේ. එසේ පහළවන දෙවිවරු කර ඇති පින් බලයෙන් ඔවුනට දිව්‍ය වස්ත්‍ර හා දිව්‍ය ආභරණ පහළවේ. අතීත සසර තුළ කර ඇති පින් මහිමයෙන් දිව්‍ය තේජසින් විරාජමානව වාසය කරයි.
අතීත සසර තූළ කර ඇති පින් ප්‍රමාණය මත දෙවියන් හීන, මධ්‍යම, ප්‍රනීත ලෙස කොටස් තුනකට වර්ග වේ. ඒ අනුව ශක්‍රයා ප්‍රනීත දේව ගණයට වැටේ. එසේ වන්නේ සක්දෙවිඳු අතීත සසරෙහි අසාමාන්‍ය ලෙස බොහේ දාන, ශීල, භාවනා යන පුණ්‍ය ක්‍රියා කළ අයකු වීම නිසාය. ප්‍රනීත දෙවියකු වන ශක්‍රයාගේ ශරීරය වටා විශාල රශ්මි මාලාවක් හෙවත් අන් කිසිදු දෙවියකුට නොමැති විශාල ආලෝකයක් පවතී. එපමණක් නොව සක්දෙවිඳුන්ගේ අණට දෙවියන් මෙන්ම බ්‍රහ්මයන්ද යටත් වේ.
සක්දෙවි යනු පදවියකි. කිසිදා වෙනස් නොවන තනතුරකි. නමුත් කාලයෙන් කාලයට මෙම පදවියේ සිටින දෙවියන් වෙනස් වෙයි. සක්දෙව් පදවියට එක් වන්නේ මතු සසර තුළ බුදුබව ලබන උත්තමයකු හෝ පසේබුදු පදවිය ලබන උත්තමයකු පමණි. එවන් විශ්වය පාලනය කිරීමට දැනුම මෙන්ම පින් බලය ඇති අය මෙම පදවියට පත්වේ. නමුත් සෑම සක් දෙවියකුගේම බලය එක සමාන නොවේ. ඔවුන් තුළ ඇති පින, ශීලය ප්‍රමාණය මත බලය අඩු වැඩි වේ.
විවිධ රටවල විවිධ ජාතීන් ශක්‍රයා විවිධ නම්වලින් හඳුන්වයි. ශක්‍රයා හඳුන්වන පර්යාය පද අතර ඉන්දු, සුරරද, සුරපති, සක්දෙවි, ඉඳුරු, සුරනිඳු, මහේන්ද්‍ර, සක්ඉඳු, විදුරවි, දික්පති, සුරගුරු, ශක්‍ර, වප්පානි යන නම් ප්‍රධාන තැනක් ගනී. ඊට අමතරව අනු, තෝර්, අමුන්, සියුස්, ජුපිටර්, වජ්‍රසාත්ව, පුරන්දර, දසැස්, සුරපති යන නම්ද සක්දෙවිඳුන්ට පර්යාය පද ලෙස භාවිත වේ.
සක්දෙව් පදවිය ලැබීමට නම් බොහෝ සෙයින් පින් රැස්කළ යුතු වේ. ඒ අතර සිල්වත්ව දන් පින් කළ යුතුය. අවංක විය යුතුය. සත්‍යවාදී විය යුතුය. කේළාම්, පරුෂ වචන භාවිත නොකළ යුතුයි. මවුපියන්ට ආහාරයෙන් සැලකීම මෙන්ම මෘදු වචන කතා කිරීම හා වැඩිහිටියන්ට ගරුකිරීම අනිවාර්ය වේ.
ශක්‍ර දේවින්ද්‍රයාට සේවය කරනුයේ අල්පේශාක්‍ය දෙවිවරුන්ය. නමුත් ශක්‍ර දේවේන්ද්‍රයාගේ බිරිය වන ඉන්ද්‍රානි දේවිය ප්‍රනීත දේව කුලයට අයත් වේ. සක්දෙවිඳුගේ වාහනය හිස් තුනක් හා දළ හතරක් ඇති ඓරාවණ නම් ධවල හස්තිරාජයාය. නමුත් එම හස්තිරාජයා සත්වයකු නොව පින් අඩු අල්පේශාක්‍ය දිව්‍ය ආත්මයකි. එනම් අල්පේශාක්‍ය දෙවියෙකි. සක්දෙවිඳුගේ රියැදුරු මාතලී දිව්‍යපුත්‍රයා වන අතර, වීනාව වයන්නා පංචසික වේ. මොවුන්ද අල්පේශාක්‍ය දෙවිවරුන්ය.
සක්දෙවිඳුගේ ශක්‍ර භවන මහාමේරු පර්වතයේ අමරාවතී දිව්‍ය ප්‍රාසාදයේ හා වෛජයන්ත ප්‍රාසාදයේ වේ යැයි පුරාණ පොතපතේ සඳහන්ය. සක්දෙවිඳුන්ගේ ආයුධය ප්‍රබල වජ්‍රායුධයයි. වජ්‍රායුධ මුළු විශ්වයටම ඇත්තේ එකකි. මෙම ආයුධය විශ්වකර්ම දිව්‍යපුත්‍රයා මගින් නිර්මාණය කර ඇත. වජ්‍රය යනු මහා බලසම්පන්න ආයුධයකි. වජ්‍රය මගින් සක්දෙවිඳු අකුණු, විදුලි, වැසි, කුණාටු ආදිය ඇතිකරයි. එනිසාම සක්දෙවිඳු වැසි, කුණාටු ඇතිකරන දෙවියන් ලෙස නම්දරා ඇත. මීට අමතරව වජ්‍රය මගින් සක්දෙවිඳු සමාජයේ වෙසෙන අධම නපුරු මිනිසුන්ට මෙන්ම අහිංසකයන්ට බොරු චෝදනා කරන, ගරහන අයටද දඬුවම් කරයි. අකුණු සර වැදී මියයන්නේ මේ භවයේ හෝ පෙර භවයක එවන් පාප ක්‍රියා කළ අය වේ.
අධර්මිෂ්ට අයට ශක්‍රයා දඬුවම් කළද යහපත් ධාර්මික අයට පිහිට වීම සිදුකරයි. මනුෂ්‍යයන්ට ඇතිවන කරදර කම්කටොලු දුරුකර දමයි. එමෙන්ම චක්‍රවර්ති රජ කෙනකු නොමැති කාලයන්හි මනුෂ්‍ය ලෝකය පාලනය කරනුයේද සක්දෙවිඳුන් විසිනි. මන්ද සක්දෙවිඳුන් මනුෂ්‍යයන්ට පිහිටවීමේ සුවිශේෂ ගුණයෙන් යුතු දෙවියකු වන බැවිනි.
සක්දෙවිඳුගේ ආසනය පාණ්ඩුකම්බල ශෛලාසනයයි. මෙය ගල් ආසනයකි. මනුලොව සිල්වත්, ගුණවත් අයකුට අකටයුත්තක් වන විට එය රත්වීම සිදුවේ. එවිට සක්දෙවිඳු එම තැනැත්තාට පිහිටවීම සඳහා මනුලොව පැමිණෙනු ඇත. වජ්‍රය අත නොදරන සෑම අවස්ථාවකදීම සක්දෙවිඳු වජ්‍රය තැන්පත් කරනුයේද පාණ්ඩුකම්බල ශෛලාසනයේ දකුණු බාහුව මතය.
සක්දෙවිඳුට ඇස් 1000ක් ඇත. එම ඇස් තුළින් මනුලොව වගතුග නිතර සොයා බලයි. සක්දෙවිඳු සතර පොහොය එනම් පුර පසළොස්වක, අව අටවක, අමාවක, පුර අටවක පවතින දිනවල මනුලොව වැඩම කරන බව ධර්මයේ සඳහන්ය.
ඒ යාචකයකුගේ වෙස් ගෙනය. එනිසා මාසයේ සතර පොහොය තුළදී තමා ළඟට විත් මුදල් යදින යාචකයන්ට හැකි පමණින් දන් දීම ඉතා උචිතය. මන්ද ඒ ඔබ ළඟට විත් සිඟමන් යදින්නේ යාචක වෙසින් සිටින සක් දෙවිඳු විය හැකි බැවිනි.
සක්දෙවිඳු විවිධ නාමවලින් විවිධ රටවල අදහනු ලබයි. පින් පෙත් අනුමෝදන් කරනු ලබයි. අපද සක්දෙවිඳුන් ඇදහීම, විශ්වාස කිරීම කළ යුතුය. අප සිදුකරන යහපත් ක්‍රියාවලින් ජනිත වන පින් උන්වහන්සේට අනුමෝදන් කළ යුතුය. තවද සක්දෙවිඳුන් බුදුරදුන්ගෙන් බණ අසා සෝවාන් ඵලයට පැමිණි උත්තමයකු බවද අප සිහියේ තබාගත යුතුය.
අද සමාජයේ සක්දෙවිඳුන් සංකල්පයක් යැයි කියමින් උන්වහන්සේට අපහාස, අවමන් කිරීම නිතර දැකිය හැකිය. නමුත් සක්දෙවිඳු සංකල්පයක් නොවන බවත්, උසුළු විසිළු කිරීම මහා පාපකර්මයක් බවත් ඉහත කරුණුවලින් සැවොම වටහා ගත යුතුය.
සක්දෙවිඳුට ඇති මහා පින් මහිමය හේතුකොට ගෙන ශක්‍රයා කිසි දිනෙක මහලු බවට පත් නොවේ. ශක්‍රයාට භාර්යාවන් විශාල ප්‍රමාණයක් සිටියද ප්‍රධාන භාර්යාව වන ඉන්ද්‍රානි දේවියද වයසට යෑම සිදු නොවේ. ශක්‍රයා තමන්ගේම පුණ්‍ය විපාකයෙන් ජීවත් වන දෙවියකු වුවද සම්බුද්ධ ශාසනයේ සිදුවන පුණ්‍යකර්මයන් සැදැහැ සිතින් අනුමෝදන් වේ.
ශක්‍ර දේවත්වයට පත්වන සක්දෙවිඳු තුළ අනිවාර්යයෙන් දැකගත හැකි ගුණාංග හා ලක්ෂණ ගණනාවකි. ශක්‍රදේවේන්ද්‍රයන් කොතරම් උසස් වුවද අනෙක් දෙවිවරුන්ට ගෞරව කිරීම, වැඳීම සිදුකරයි. ශක්‍ර දේවේන්ද්‍රයන් තුළින් පිටවන ආලෝකය හා තේජස අනෙක් දෙවිවරුන්ට වඩා වැඩිය. සක්දෙවිඳු ගන්නා තීරණවලට අනෙක් සියලුම දෙවියන් එකඟ වේ. සක්දෙවිඳු තමා සතු සිල් බිඳගැනීමකින් තොරව රැකගනී. මීට අමතරව දෙව්ලොව සිටින සියලු දෙවිවරුන්ට වඩා සක්දෙවිඳුන්ට පින් වැඩි විය යුතුය.
සක්දෙවිඳු පන්සිය පනස් ජාතකයේ ජනප්‍රිය චරිතයක් වනවා මෙන්ම යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවේ හෙනරාජ තෛලය සඳහා යොදාගන්නේද හෙනරාජ දෙවියන් වන ශක්‍ර දේවේන්ද්‍රයන්ය.
දහසක් නුවන් ඇති, අති ප්‍රබල වජ්‍රය අත දරන පාණ්ඩුකම්බල ශෛලාසනය මත විරාජමානව වැඩහිඳින දෙවියන්ගෙන් මහා දෙවි, මහා තෙද ඇති, මහා බල ඇති, මහා පින් ඇති, සෝවාන් ඵලයේ පිහිටියා වූ ශක්‍ර දේවේන්ද්‍රයන්ට මාගේ නමස්කාරය වේවා…
දහසක් නෙත් තුළින් මනුලොව බලමින්නේ
ඓරාවණ ඇතු පිටයි ඔබ මෙහි පැමිණෙන්නේ
යාචක වෙසින් සිව් පෝයෙදි දිස්වන්නේ
සක්දෙවි ඔබයි හැම හට පිහිටක් වන්නේ
ගුණදම් පිරි අයට ඔබ නිති සලකන්නේ
ගුණමකු අයට අකුණුයි ඔබ ගෙන එන්නේ
තුන් ලොව ඔබේ කිතුගොසමයි පැතිරෙන්නේ
දෙව් බඹු සැවොම ඔබෙ අණමයි පිළිගන්නේ
වජ්‍රය ඔබේ සුරතේ නිති දිස්වන්නේ
විදුලි අකුණු වැසි එයිනුයි ඇති වන්නේ
දෙවියන් අතර මහ දෙවියන් ඔබ වන්නේ
හැම දුක් හමුවෙ ඔබෙ අසුනයි උණු වන්නේ
වෛරය හමුවෙ මනු ලෝකෙම විනාසෙට
දින දින ඇදෙන්නේ මරණය දිහාවට
බේරාගත හැකි කෙනකු නෑ මේ වෙලාවට
දිව නෙත හෙළනු මැන මනුලොව දිහාවට
සක්දෙවිඳුගේ ආනුභාවයෙන්, පිහිටෙන්, අනුකම්පාවෙන් කොරෝනා වෛරසය ලොවෙන් තුරන් වී සැමට නිරෝගී සුව හා චිර ජීවනය ලැබේවායි පතමි.
– ජ්‍යොතිෂවේදී, දේශබන්දු, ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී











