නිළි වරම ඔළුවෙ තියාගෙන ජීවත්වෙන්නෙ නැහැ…
ගොඩක් සැහැල්ලුවෙන් ඉන්න කැමති…
කොන්දේ රුදාවට වෙදහෙදකම් කරන වෙද හාමිනේ ලෙස ජනප්‍රිය වුණු ඇය රුවි ලක්මාලි නව පරපුරේ රංගන ශිල්පිනියක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඇය පුනරුත්ථාපන කඳවුරකට කොටුවෙලා ගෙවපු ජීවිතය අපට ‘දූවිලි සුළඟ’ තුළින් දැකගන්න පුළුවන්. ඉතින් අප්සාරි ලෙස මේ දිනවල ඔබ අතරට එන ඇය සමග අපි කතා කළා.
🔴 අපි කැමැති ඔබ ගැන මුලින්ම විස්තර ටිකක් දැනගන්න?
මම රුවි ලක්මාලි. මගේ ගම් පළාත බණ්ඩාරවෙල. පවුලේ එකම දරුවා මමයි. හැබැයි මම දැන් විවාහකයි.මගේ සැමියා හකුල් ප්‍රසාද. ඔහු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරනවා. අපි සියලු දෙනාම සතුටින් ජීවත් වෙනවා.
🔴 රුවි මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා තියෙනවද?
අපෝ කවදාවත්ම නැහැ.
🔴 හැබැයි ඔබ ‘දූවිලි සුළඟ’ ටෙලිනාට්‍යයේ නිරූපණය කරන අප්සාරි චරිතය හොඳට රඟපාන බව දකිනවා ?
අප්සාර කියන්නේ හොඳ කෙනෙක්. මත්ද්‍රව්‍යවලට නැඹුරු වුණු කෙනෙක් නෙවෙයි. විටමින් සී කියන කඳවුරේදී අපට බොන්න දෙන්නේ මත්ද්‍රව්‍ය පෙති. අවසානයේ ඒ පෙති ඇඟට විෂ වෙනවා. ඒ නිසාම පුනරුත්ථාපන කඳවුරකට යන්නත් වෙනවා. අප්සාරි චරිතයට සාධාරණයක් කිරීම සඳහා මම සොයා බැලුවා විවිධ තොරතුරු. එවැනි මත්ද්‍රව්‍ය පාවිච්චි කළාම හැසිරෙන්නේ මොන විදියට කියලා මම අන්තර්ජාලය හරහා කරුණු සොයා බලලා තමයි අප්සාරිට සාධාරණයක් කිරීමට උත්සාහ කළේ. අප්සාරි චරිතය මට වෙනස්ම අත්දැකීමක් වුණා. ප්‍රතිචාර ගැන දැන්ම කියන්න බැහැ ටෙලිනාට්‍යය ළඟදි විකාශය වෙන්න පටන්ගන්න නිසා.
🔴 ‘දූවිලි සුළඟ’ට ඔබ හසුවුණේ වර්තමානයේදි නෙවෙයි නේද?
මම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු මුල් කාලවල තමයි මම දූවිලි සුළඟ ටෙලිනාට්‍යයේ රඟපෑවේ. මීට අවුරුදු පහකට විතර කලින්. ටෙලිනාට්‍ය විකාශය වීමට ගොඩක් පරක්කු වුණා. හැබැයි ඒ කොහොම වුණත් මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටනවා දූවිලි සුළඟ ටෙලිනාට්‍යය නරඹන්න කියලා. මොකද වර්තමාන සමාජයට වයස් භේදයකින් තොරව ආදර්ශයක් ගත හැකි නිර්මාණයක් ලෙස එය හඳුන්වන්න පුළුවන්.
🔴 රුවි නිතර දෙවේලේ අපි දකින්නේ වෙළෙඳ දැන්වීම් හරහායි. ටෙලිනාට්‍ය සඳහා ඔබේ දායකත්වය අඩු ඇයි?
එයට විශේෂ හේතු කිහිපයක් තිබෙනවා. මාව මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කිරීමට ලොකුම උවමනාවක් තිබුණේ මගේ අම්මාට. ඉතින් මගේ අධ්‍යාපන කටයුතු එක්ක ලැබෙන හැම නිර්මාණයකටම සම්බන්ධ වුණේ නැහැ. මම ගොඩක් සැහැල්ලුවෙන් ඉන්න කැමැති කෙනෙක්. මෙගා ටෙලිනාට්‍යවලින් මට ආරාධනා ආවා. ඒත් මම සම්බන්ධ වුණේ නැහැ. එක දිගට වැඩකරන්න තිබෙන නිසා. අනෙක මම දැන් බිරියක්. ඉතින් මම පවුල් ජීවිතයට විශේෂත්වයක් දෙනවා. එතන තිබෙන සුන්දරත්වය මට වෙන කිසිම තැනකින් අරගෙන සතුටක් ලබන්න බැහැ.
🔴 ඔබව වෙළෙඳ දැන්වීම් සඳහා තෝරාගැනීමට විශේෂ හේතුවක් තිබෙනවද?
ඒ ගැන මෙහෙමයි කියලා මට කියන්න බැහැ. හැබැයි මම නිරූපණය කරන වෙළෙඳ දැන්වීම්වල මගේ පෙනුම එකිනෙකට වෙනස්. සමහර විට ඒ නිසා වෙන්න ඇති. හැබැයි හිතන තරම් පහසු නැහැ වෙළෙඳ දැන්වීම්වල රඟපාන එක. මොකද තත්පර ගාණක් ඇතුළත රඟපෑමක් එක්ක දෙබස් කිවයුතුයි. ටෙලිනාට්‍යයක නම් කාල වේලාවට රඟපාන්න පහසුව තිබෙනවා.
🔴 ඔබ දැන් කලා ක්ෂේත්‍රයේ පරිපූර්ණ රංගන ශිල්පිනියක් වෙලාද?
අයියෝ කවදාවත් මම හිතලා නැහැ. රඟපාන විෂය කවදාවත් හදාරලා ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. එය පොතපත හරහා ලබන්න පුළුවන් දැනුමක් නෙවෙයි. අපේ අඩුපාඩු හදාගන්නම අපි විවිධ චරිත නිරූපණය කරමින් එය හදාරන්න ඕනෙ. තවම මම එය හදාරමන් හෙමින් යන කෙනෙක්. මම නිළියක් කියලා ඒ වරම ඔළුවේ තියාගෙන ඒ විදියට හැඩගැහෙමින් ජීවත්වන කෙනෙක් නෙවෙයි.
🔴 ඔබ නිරූපණය කළ ‘හරස් පාර’ ටෙලිනාට්‍යයෙන් පසු හිතට කලකිරීමක් ඇතිවුණා කියලා මම පැවැසුවොත් හරිද?
මම ඒ ගැන කතාකරන්න කැමැති නැහැ.මොකද බලාපොරොත්තු දීලා ඒ දේවල් අහිමි වෙනකොට හිතට වේදනාවක් එන එක සාමාන්‍ය දෙයක්. හරස් පාර ටෙලිනාට්‍යයේ මම නිරූපණය කළ චරතයට ගොඩක් ප්‍රතිචාර තිබුණා. නැගීඑන නිළියට මාව නිර්දේශ වුණා. හැබැයි සම්මාන ගැන මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. දැන් මම බලාපොරොත්තු වෙන්නේ ජනතාවගේ ආදරය විතරයි.
🔴 ‘වියලන දළු’ තුළින් ඔබට ජාත්‍යන්තර තරග සඳහා යෑමට වාසනාව උදාවුණා නේද?
විවිධ රටවලට යෑමට මට අවස්ථාව ලැබුණා. ‘වියලන දළු’ චිත්‍රපටය ජාත්‍යන්තරයත් එක්ක තරග කරපු චිත්‍රපටයක්. මම ප්‍රධාන චරිතය තමයි රඟපාන්නේ. ඉදිරියේදී එය ලංකාවේ තිරගත වේවි. ඒ වගේම ‘ආශාවරී’ චිත්‍රපටයත් තිරගත වීමට තිබෙනවා. එතකොට අපි ඒ ගැන කතා කරමු.
🔴 රුවිගේ හිතේ තවත් බලාපොරොත්තු සහ සුන්දර හීනත් තියෙනවද?
මගේ ලොකු ආශාවක් තිබෙනවා හොඳ ආදර්ශවත් වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්න. මේ වන විටත් මගේ ඒ හීනය සැබෑ වෙලා. ඒත් මේ කොවිඩ් ප්‍රශ්නත් එක්ක වේදිකා නාට්‍ය නිර්මාණය නොවන නිසා සියලු වැඩකටයුතු අවහිර වෙලා.
– වසන්ත විතාරණගේ











