කිසිදා නොසිඳෙන ගල් පාත්‍රා…
රජවරු රැසකගේ ඉදිකිරීම්…
රාක්ෂයන්ට වැඳුම් පිදුම් කළ රාක්ෂ ග්‍රෝත්‍රිකයන් වසන්නාවූ රාස්සගල මහවනයට ක්‍රිස්තුපූර්ව 01 වැනි සියවසේදී මිහිඳු මහ රහතන්වහන්සේ ඇතුළු සංඝයාවහන්සේලා වැඩම කර ඇත. දුටුගැමුණු රජුගේ පුත් ලජ්ජිතිස්ස රජතුමා මිහිඳු මහ රහතන්වහන්සේගේ හා ඉට්ටිය තෙරුන්ගේ ධාතු නිදන් කළ සෑයද ඇතුළුව සියලු පහසුකම්වලින් යුත් විහාරාරාම සංකීර්ණයක් මෙම භූමියේ ඉදිකළ බව මෙම භූමියෙන් හමුවූ සෙල්ලිපිවල මෙන්ම මිහින්තලයේ සෙල්ලිපිවලද සඳහන්ය.
පසුකාලීනව කුටකණ්ණතිස්ස රජු, භාතිකතිස්ස රජු, මහසෙන් රජු, බුද්ධදාස රජු හා දප්පුල රජු මෙහි සංස්කරණ කටයුතු සිදුකර ඇත. ගිරිකුම්බිල, අරියාකර, අරිත්තල යන නම්වලින් මෙම ආරාමය කලින් කල හැඳින්වූ බව මහාවංශය, දීපවංශය හා රසවාහිනිය වැනි අනුරාධපුර රාජධානී යුගයේ සිට ලියන ලද පොත පතෙහි සඳහන් වේ.
සෙල්ලිපි, සෙල්පිළිම, සෙල්පොකුණු, සිතුවම් ගුහා ආදී ක්‍රිස්තුපූර්ව පළමුවැනි දෙවැනි සියවස්වලට අයත් බොහෝ නෂ්ටාවශේෂ ප්‍රධාන මිහිඳු ස්තුපයට අමතරව හමුවේ. මෙහි ඇති විශේෂ නිර්මාණයක් වන්නේ භික්ෂුන්වහන්සේලාගේ ජල පහසුව පිණිස ඉදිකළ කිසිදා දිය නොසිඳෙන උල්පැන්ගෙයයි. සම්පූර්ණ ශෛලමය මේ කාමරය තුළ උල්පතකින් ගලා එන ජලය රැස්වීමට ඉදිකළ ගල් පාත්‍රා අදද දැකගත හැකිය.
2012 වර්ෂයේ සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශයේ ආචාර්ය මණ්ඩලය හා දරුවන් සමග පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පුරාණ රාස්සගල හෙවත් වර්තමාන රජගල පුදබිමේ සංරක්ෂණ කටයුතු ඉතා උනන්දුවෙන් හා මහත් පරිශ්‍රමයක් දරා සිදුකරන බව නම් සදහන් කළ යුතුමය.
අඩි 1,038ක් උස රජගල මුදුනත අක්කර 1,080ක් පුරා රජගල ආරාම නටබුන් පවතියි. නැඟෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර – මහඔය මාර්ගයේ අම්පාර නගරයේ සිට කිලෝමීටර් 24ක් පැමිණි විට හමුවන රජගලතැන්න ප්‍රදේශයේ මෙම ස්ථානය හමුවේ.
අපගේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පා වසර 2,224ක් ගෙවී ඇතත් බොහෝ දෙනා මිහිඳු හිමියන්ගේ සෑය පිළිබඳ නොදන්නේය. මිහිදු හිමියන් ලංකාවට නොපැමිණි යේ නම් බුදුදහම මෙන්ම බොහෝ කලා ශිල්ප අප අතර නැත. ඉදින් කළගුණ නොදත් ජාතියක් ලෙස තවදුරටත් වැළලී නොයන්නට කැමැති ලාංකිකයන්ට සෙනෙහසින් අපගේ බොදු උරුමය සොයා යන ලෙස කෙරෙන ආරාධනාවයි.
– කේ.ඒ. මෛත්‍රීපාල











