හාත්පස ඇත්තේ නිල්ල පිරුණු ගහකොළය. සීරුවට හමාගෙන යන මඳ සුළඟට මුසුව ඒ ගහකොළ තාලයකට මෙන් චලනය වෙයි. විටෙක අමුතු ගුප්ත බවකුත් තවත් විටෙක සිසිල් සුවදායී බවකුත් පරිසරයට මුසුකරන මේ ස්වභාවික සිද්ධි මාලාවන් අතරින් නිහඬව නිසලව ගලාබසින සන්දරවල ඇළ කිසිවකුට නොකී කිසිවකු නොදන්නා මහා රහසක් සඟවාගෙන සැඟවී ඉන්නවාක් මෙන් බැලූ බැල්මටම පෙනෙයි. තම රහස තමාගේ වරදකින්ම කාට හෝ හෙළිවෙතැයි බියේ සැඟවෙන වැරැදිකරුවකු සේ සැඟවී ඉන්නට මාන බලන සන්දර ඇළ පිහිටා ඇත්තේ දකුණේ සුන්දර ප්‍රදේශයක් වන බද්දේගමය.
ඉතා මනරම් භූමිභාගයක පිහිටි ගිරිශිඛරයක් මත ඉදිවූ හැඩිදෙමළ කන්ද නම් ඓතිහාසික රජමහා විහාරයේ පින්බර බැල්ම වැටෙන ඉසව්වේ සීරුවට ගලාබසින මෙම ඇළ හා බැඳුණු කතා පුවත් අතර සුවිශේෂ කතා පුවතක් ජනප්‍රවාදයේ ඉතා ප්‍රචලිතය. එදා මෙන්ම අදද බද්දේගම හෝ එම ප්‍රදේශයට පැමිණි අයකු රන් තෝඩු දැමූ අමුතු මාළුවකු දුටුවා යැයි පැවැසුවහොත් එම ප්‍රදේශයේ කිසිවකු පුදුම වන්නේ නැත. ඔවුන් එකහෙළා ප්‍රශ්න කරන්නේ “සන්දරවලේ නේද ?” යනුවෙනි. ඒ තරමටම සන්දර වලේ කඩුක්කන් ආඳා බද්දේගම ජනයා අතර ප්‍රසිද්ධය.
මෙරට රාජ්‍යත්වය දැරූ ශ්‍රේෂ්ඨ රජකු වන දුටුගැමුණු රජුගේ පිය රජු වන කාවන්තිස්ස රජු මෙම ඇළ කරවූ බවත්, එමගින් ගෙන එන ජලය ඊට යාබදව ඇති කිඹි ඇළ නම් ඇළට සම්බන්ධ කර කෙත්වතු අස්වද්දා ප්‍රදේශයේ ජනතාව බතින් ස්වයංපෝෂිත කරවූ බවත් පැවැසෙයි.
මෙම ඇළ හා සම්බන්ධ කඩුක්කන් ආඳා හා බැඳුණු කතාද කිහිපයක් වෙයි. ඒ අතරින් විශේෂ තැනක් ගන්නේ දුටුගැමුණු රජු හා බැඳුණු කතාවකි.
එවකට දුටුගැමුණු රජු රුහුණේ සිට අනුරාධපුරයට සංක්‍රමණය වූවාට පසු එළාර රජුගේ ප්‍රබල සෙනවියකු වන සන්දර නමැත්තා තම අතවැසියකුත් සමග රුහුණට පලා එන්නේ ජීවිතය ආරක්ෂා කරගන්නා අදහසිනි. ඔහු දකුණු රටේ බද්දේගම සිය වාසය සඳහා තෝරාගන්නා අතර පසුකාලීනව දෙමළ ජනයා මෙම ප්‍රදේශයට පැමිණීම හේතු කොටගෙන එම ප්‍රදේශයේ පිහිටි විහාරය දෙමළ ජනයාගේ කොල්ලකෑමට ලක්ව තිබේ. එසේ කොල්ලකෑමට ලක්වන විහාර ගැන පුවත දුටුගැමුණු රජුගේ කනවැකීමත් සමගම කෝපයට පත් රජු සිය සේනාව සමග පැමිණ බද්දේගම ප්‍රදේශය වටලා තිබේ.
දුටුගැමුණු රජු පැමිණි වග දැනගත් සන්දර නම් සෙනවියා සිය ජීවිතයට තිබූ ආශාව අතහැර රන් රිදී මුතු මැණික් සහිත සිය වස්තුවද රැගෙන එම ප්‍රදේශයේ තිබූ ඇළට පැන දිවි තොරකරගෙන තිබේ. මරණයෙන් පසුව ඔහු තම වස්තුවට ආශාවෙන් ඇළේම ආඳකු වී ඉපදී ඇති බවත්, කනට තෝඩු දමාගෙන සිටින අමුතු ආඳකු ලෙස පෙනී සිටින බවත්, විටින් විට උඩට මතුවී හිස කොටස පෙනෙන්නට සිටින බවටත් ජනප්‍රවාදයේ තිබේ.
පසුකාලීනව මෙම ඇළෙහි මසුන් මැරීමට ගිය කිහිප දෙනකුම මෙම ආඳාව දැක ඇති අතර, කෙසේ හෝ ආඳාව අල්ලාගන්නා අදහසින් සූක්ෂ්මව සැඟවී සිට ආඳාගේ හිස කඳින් වෙන්වන ආකාරයට කඩුවකින් කොටා තිබේ. එහිදී හිස කොටස වහා දිය යට නොපෙනී ගිය බවත්, කඳ කොටස පමණක් ඉහළට මතුවූ බවත් පැවැසෙයි. එසේ ආඳාගේ කඳ කොටස ආහාරයට ගත් මසුන් මරන්නන් අකාලයේ විනාශ වූ බවද ජන විශ්වාසයයි. එමෙන්ම ඇතැම් මසුන් මරන්නන්ගේ බිලී කොකුවල දැවටී රන් රිදී ආභරණ මතුව ඇති බවත්, ඒවා අලෙවි කර මුදල් උපයාගත් සියලු දෙනාම අකාලයේ විනාශ වූ බවටත් ජනතාව අතර විශ්වාසයක් පවතී.
සන්දරවල සම්බන්ධ තවත් විශේෂ විශ්වාසයක්ද ජනතාව තුළ තිබේ. එනම් සන්දර දිවි නසාගත් ස්ථානයේ ජලය හිඳෙන තුරු ඉසින්නට උත්සාහ කළහොත් ඊට පසු දිනෙම දෙගොඩතලා වතුර ගලා යන්නට වැසි ලැබෙන බවකි. මේ නිසාම දැඩි නියං කාලවලදී ප්‍රදේශයේ ජනයා සන්දරවල ඉසින්නට උත්සාහ කරති. එවිට නිසි පරිදි වැසි ලැබෙන බව අදත් එම ප්‍රදේශයේ ජනතාව අත්දැකීමෙන් විශ්වාස කරති. අතීතයේ අවස්ථා කිහිපයකදීම සන්දරවල මිනිස් බිලි ගෙන ඇති බවත්, සන්දර සෙනවියාගේ ශාපය තවමත් එහි තිබෙන බවත් ජනතාව අතර ඇත්තේ ප්‍රබල විශ්වාසයකි.
එම්.ජේ.ආර්. තිලෝචනා











