පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට 2015 වසරට පෙර පඩි ගෙවූ ජාලය ඇතුළු අතිශයින් වැදගත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් පොලිසිය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ රාජ්‍ය බුද්ධි අංශ, මෙම ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසමට කරුණු ඉදිරිපත් කර නොමැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ කතෝලික සභාවේ පියතුමන්ලා සහ කන්‍යා සොයුරියන් පිරිසක් හමුවී කරුණු දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“කොමිසමට තීන්දුවක් දෙන්න පුළුවන් සාක්ෂි සීඅයිඩී එක, බුද්ධි අංශ ඉදිරිපත් කළොත් පමණයි. එතකොට මේ 2015ට කලින් පඩි ගෙවපු ජාලය ගැන පොලිසිය බුද්ධි අංශය සීඅයිඩී එක ඉදිරිපත් කෙරුවෙ නෑ. අවශ්‍යම සාක්ෂිය ඒකයි. ඒ පඩි ගෙවීම ගැන කමිෂන් එකට ඉදිරිපත් කෙරුවා නම් අනිවාර්යයෙන්ම කමිෂන් එක ඒක පස්සෙ එළවනවා.
ඒවගේම සාරා ඉන්දියාවට පැනලා ගිය හැටි. අපි තාම සාරාව ලංකාවට ගේන්න කියලා ඉල්ලීමක් කරලා නෑ.
අනිත් කරුණ අර ට්‍රොපිකල් ඉන් එකට බෝම්බ ගහපු ඒ බෝම්බකරුගේ භාර්යාවගේ ප්‍රකාශය ආණ්ඩුවට විශාල ප්‍රශ්නයක් වෙලා තියනවා. ඒ ප්‍රකාශය ගැන පැහැදිලි චිත්‍රයක් අපට නෑ. ඒවගේම කමිෂන් එක ඉදිරියේ දුන්න සාක්ෂි, ඒ වෙළුම්වලින් 10% – 15%ක් පමණයි අපට දීලා තියෙන්න පාර්ලිමේන්තුවටත්, 80%ක් පමණ තවමත් රජය බාරයේ තියනවා. ඉතින් ඇත්ත වශයෙන්ම කතෝලික ජනතාව වගේම විශාල උනන්දුවක් දක්වනවා මේකෙ අගමුල හොයාගන්න”








