පසුගිය වසරේ පැවති දුෂ්කරතා මධ්‍යයේ වුවද ශක්තිමත් හා ස්ථාවර කාර්යසාධනයක් වාර්තා කිරීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුවට හැකි විය. කොවිඩ්-19 ව්‍යාප්තියේ බලපෑම මත පැන නැගුණු අවිනිශ්චිතතාවය හේතුවෙන් බැංකුව, අපගේ ගනුදෙනුකරුවන් හා මෙරට ආර්ථිකය බොහෝ ගැටලුවලට මුහුණ පෑ පසුබිමක අප විසින් අපගේ මූල්‍ය ස්ථාවරත්වය කෙරෙහි යොමු කරන ලද අඛණ්ඩ අවධානය, නොසැලී ශක්තිමත්ව ඉදිරියට යමින් විශිෂ්ට කාර්යසාධනයක් ළඟා කර ගැනීමට අපට උපකාර විය.
ශ්‍රී ලංකාවේ විශාලතම නිවාස ණය සපයන්නන්ගෙන් කෙනෙකු ලෙස බැංකුව සිය දහස් ගණන් ගනුදෙනුකරුවන් හට ආර්ථික සුරක්ෂිතතාව හා සංචලතාව සඳහා මග විවර කරදෙමින් ජාතික නිවාස හිමිකාරීත්වය පුළුල් කිරීමට පහසුකම් සලසයි. බදු, අයබදු, ගාස්තු හා ලාභාංශ ලෙස මහා භාණ්ඩාගාරයට දක්වන දායකත්වය හා මෙරට දෙවන විශාලතම රාජ්‍ය සුරැකුම් හිමිකරු යන සාධකවලට අමතරව ජාතික ඉතිරිකිරීමේ බැංකුව රජයේ දිගුකාලීන යටිතල පහසුකම් හා සමාජ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති සඳහාද ඉහළ දායකත්වයක් සපයයි.











