2022 වසර ආරම්භ වීමත් සමග ලංකා කේන්දරයේ ග්‍රහ තත්ත්වයට කෙසේ බලපායිද යන ගැන විශේෂ අවධානයක් යොමු කිරීමේදී පෙනී යන්නේ රටේ මෙන්ම ලෝක තත්ත්වයද, පෙර පවතින්නාවූ තත්ත්වයෙන් මුළුමනින්ම වෙනස් වීමට හේතු යෙදෙන බවකි. ඒ අනුව ලෝකය තුළ එතෙක් මෙතෙක් අසන්නට නොලැබුණු ආන්දෝලනාත්මක කතාබහ, අසන්නට ලැබෙන බව පෙන්නුම් කෙරේ. එමඟින් රටවල් ගණනාවක් අපහසුතාවට පත්වන බවකුත් පෙන්නුම් කෙරේ. එසේම මහා පරිමාණ ස්වාභාවික විපතකින් ලෝක ජන ජීවිත අපහසුතාවට පත්කෙරෙනු ඇත. ලෝක ආර්ථිකයේ සැලකිය යුතු වර්ධනයක් සිදුවන වසරක් සේ පෙනී යන 2022 වසර මැදභාගය වන විට විශේෂිත සොයා ගැනීමක් ගැන කතාබහක් ඇති වේ. ගින්නට සම්බන්ධ කාරණයකින් සිදුවන අනතුරක් හේතුවෙන් ප්‍රධාන පෙළේ රටක් දැඩි අපහසුතාවට පත්වීමට ඉඩකඩ තිබේ. ලෝක දේශපාලනයේ ප්‍රසිද්ධ චරිත අප්‍රසාදයට පත්වන කාලයකි.
මෙරට ජනතාව අලුත් දේවල් සොයන්නට පෙලඹෙන බවක් පෙන්නුම් කෙරේ. බොහෝ දේවල් ජනතා අප්‍රසාදයට පත්වනු ඇත. විවිධ ජනප්‍රිය තත්ත්වයන් ලබා තිබූ නිෂ්පාදන හෝ පුද්ගලයන් හිටි හැටියේ ජනතාව අතරින් දුරස්වන එවැනි දේ ජනතාව විසින්ම අත්හරින්නට ඉඩකඩ වැඩි වෙයි.
ඉතිහාසය වැළලී ගිය කතාබස් යළිත් ඉස්මතු වීමට වටපිටාවක් සැකසෙන අතර, එය රට තුළ තිබුණු සාමාන්‍ය ස්වභාවය වෙනස් කරන්නක් බවට පත්වෙන බවක්ද පෙන්නුම් කෙරේ. තරුණ දේශපාලනයේ පිබිදීමක් ඇති වීමෙන් සියලු පක්‍ෂ, සංවිධාන තුළ අමුතු ජවයක් ඇති වෙයි.
වසරේ මැද භාගයේ ස්වාභාවික විපත් ඇති වීමට ඉඩ තිබේ. ජලයෙන් සහ ගින්නෙන් ජනතාව ප්‍රවේශම් විය යුතු වසරකි. ආර්ථික තත්ත්වය ගැන යම් ස්ථාවර බවක් පෙන්නුම් කෙරුණද ජනතාව අතර නොසතුට ඇති වීමට ඉඩකඩ තිබේ. අධ්‍යාපනයට සම්බන්ධ කාරණය සඳහා විශේෂ උනන්දුවක් ඇති කෙරේ. ඉගෙන ගන්නා පිරිස් නව මඟකට යොමුවන කාලයකි. රිය අනතුරු බහුල කෙරෙන වසරක් බැවින් රථවාහන පදවන්නන් ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතුය.
2022 වසරේ අග භාගයේ රජයේ විශේෂ උනන්දුවක් සහ උfiා්ගයක් ඇති වන බව පෙනී යයි. එමඟින් ජනතාවට යම් සහනදායී ලැබීම්වලට හේතු යෙදේ. ආර්ථිකය සමබර තත්ත්වයක පවත්වා ගැනීමට රජයේ උත්සාහය සාර්ථක වෙන කාලයකි. දේශපාලනයේ ප්‍රසිද්ධ චරිත ආන්දෝලනාත්මක කතා කියන්නට පෙලඹෙනු ඇත. ඇතැම් කතා හේතුවෙන් ඔවුන්ම අපහසුතාවට පත්වීමට ඉඩ තිබේ.
රටේ විවිධ ක්‍ෂේත්‍රයන්හි තිබූ තත්ත්වයෙන් ඉහළට එන යුගයක් බිහිවේ. එසේම සෞඛ්‍ය සහ ජනමාධ්‍ය යන අංශවල විශේෂ ප්‍රවර්ධනයක් සිදුවේ. මහා පරිමාණ ප්‍රචාරක වැඩසටහන්, ප්‍රචාරක ආයතන බිහිවන කාලයකි. දිගුකාලීන සංවර්ධන වැඩසටහන් ආරම්භ කෙරෙනු ඇත. ඒවා ගැන ජනතාව තුළ ප්‍රබෝධයක් ඇතිවන බවක්ද පෙනී යයි.
රටේ ඇතැම් ප්‍රශ්න විදේශයන්ගේ මැදිහත් වීමෙන් දුරදිග යන්නට හැකි ග්‍රහ තත්ත්වයක් වසර අවසානයට පෙර පෙන්වන බැවින් තම ප්‍රශ්න රට තුළම විසඳා ගැනීමට පාලක පක්‍ෂ උත්සාහ කිරීම වැදගත් වේ. අතහැර දමා තිබූ යම් යම් නිෂ්පාදන හෝ ඒ හා සමාන ආයතන ගොඩනැඟිලි යන්ත්‍ර-සූත්‍ර යළි පිළිසකර කෙරෙන කාලයක් උදාවෙයි. තරුණ පරපුර අතර තිබූ ප්‍රධාන ප්‍රශ්නයකට රාජ්‍යයෙන් විසඳුම් ලැබෙනු ඇත. එමඟින් යම් ප්‍රබෝධයක් ඇති වේ.
දේශපාලනයේ විශේෂ සිදුවීම්වලට ඉඩ තිබේ. ප්‍රබල චරිත මතුවන සහ බිහිවන කාලයකි. ජනතාව අතර රැලි හැදෙන කාලයකි. ප්‍රතික්‍ෂේප වීම් මෙන්ම පිළිගැනීම්ද සමසමව යෙදෙන කාලයකි.
2022 වසරේ ජනතාව මෙන්ම විවිධ ක්‍ෂේත්‍රයන්හි වගකිවයුතු නිලධාරීන්ද ඉතා බුද්ධිමත්ව කටයුතු කළ යුතු ස්වභාවයක් පෙන්නුම් කෙරේ. එසේ නොවන්නට ඇතැම් සුළු ප්‍රශ්න දුරදිග යන්නට හේතු යෙදෙනු ඇත.
ජ්‍යොතිෂවේදී සත්‍යජිත් සම්පත්











