මහජන බැංකුව 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා වන මූල්‍ය වාර්තාවන් ප්‍රකාශයට පත් කරමින් ඒකාබද්ධ ශුද්ධ ණය වර්ධනය රු. බිලියන 315.7ක් ලෙස වාර්තා කරයි. මෙය 2019 වසරට සාපේක්ෂව 21.6% වර්ධනයක් නිරූපණය කරන අතර, එම අගය මෙම කාලය තුළ සමස්ත බැංකු ක්ෂේත්‍රය විසින් ප්‍රදානය කරන ලද ශුද්ධ ණයවලින් තුනෙන් එකක් පමණ වේ. ණයවලින් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් රජයට සහ රාජ්‍ය ව්‍යවසායන්ට හිමි විය. 2019 අවසන් වන විට එහි ඒකාබද්ධ වත්කම් රුපියල් බිලියන 2,049.8 සිට 17.1% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 2,400.6ක් කරා ළඟා වූ අතර එහි මුළු තැන්පතු 21.8%කින් වර්ධනය වී රු. බිලියන 1,588.9 සිට රු. බිලියන 1,935.2 දක්වා ළඟා විය. මෙම අගයයන් සියල්ල මහජන බැංකුව විසින් මෙතෙක් වාර්තා කළ ඉහළම අගයයන් වේ. තැන්පතු වර්ධනයෙන් 53.8%ක් ජංගම හා ඉතිරිකිරීමේ ගිණුම්වලින් වාර්තා වී ඇත. මෙමඟින් පෙන්නුම් කරන්නේ ආයතනික සන්නාම ශක්තිය සහ බැංකුව කෙරෙහි තැන්පත්කරුවන්ගේ ඇති විශ්වාසයයි.











