අද ද කතාවට කියන්නේ මළපොතේ අකුරක්වත් දන්නෙ නැතැයි යනුවෙනි. මෙය කොතරම් කිව්වද, භාවිතයට ගත්තද මේ ‘මළපොතේ අකුර’ මොකක්දැයි යන්න දන්නා පිරිස අතේ ඇඟිලි ගානටත් අඩු විය හැකිය. මන්ද, එවැන්නක් වර්තමානයේ භාවිත නොකෙරෙන බැවිනි. එහෙත් අතීතයේ ‘මළපොතේ අකුර’ විශාල ලෙස භාවිතයට ගැනුණු බව ජනප්‍රවාද තුළ මනාවට සඳහන් වේ.
ඒ අනුව එකල බොහෝ පිරිසක් අකුරු ශාස්ත්‍රය හරි හැටි නොදැන සිටි හෙයින්. විශේෂයෙන්ම හදිසි පණිවුඩ යැවීමේදී ලියා යැවීමට අවස්ථාවක් නොවීය. මෙහිදී එවන් පණිවුඩ බොහෝමයක් යවා ඇත්තේ මරණ ගැන දැනුම් දීමටය. එහෙත් ලියා යවන පණිවුඩය කියැවීමට දන්නා අය අඩු වීමක් නැතහොත් පණිවුඩ ලිවීම හැකි අය අඩු වීමක් නිසා එකල මරණ පිළිබඳ පණිවුඩ යවා ඇත්තේ සංකේතාත්මක අක්‍ෂරයන් පත්ඉරුවක ලිවීමෙනි. එම සංකේතය දුටු ඕනෑම අයකු මරණයක් බව දැනගෙන ඊට සම්බන්ධ වී තිබේ. එහෙයින් එම සංකේතය ‘මළපොතේ අකුර’ ලෙස හැඳින් වූ බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි.











