පත්තිනි මෑණියන් කියූ සැණින් කා තුළත් ඇතිවනුයේ අප්‍රමාණ භක්තියකි, ගෞරවයකි. එහෙයින් ඇගේ පිහිට අපේක්ෂා කරන්නෝ බොහෝ වෙති. මතු බුදුබව පතනා දේවතාවියක ලෙස සැලකෙන පත්තිනි මෑණියන් පතිවෘත ධර්මය රකිනා දේවතාවියක ලෙස ඉන් ලැබෙන මහඟු බලයෙන් ලෝ සතට සෙත සලසන බවටත් ජනතාව තුළ විශ්වාසයක් වෙයි.
පත්තිනි දේවියගේ උපත පිළිබඳ විස්තර කෙරෙන ප්‍රධාන මූලාශ්‍රය වන්නේ ඉලංකො ආඩිකල් නම් ප්‍රසිද්ධ කවියා විසින් රචනා කරන ලද සීලජපදිකගරම් නමැති ද්‍රවිඩ කාව්‍යයි. තුන්වන සංගම් යුගයට අයත් යැයි සැලකෙන එම කාව්‍යයේ සීලප්පදිකාරම් යන්නෙහි සිංහල තේරුම සලඹේ කතාව යන්නයි.
මෙම කතා පුවතට අනුව චෝල දේශයේ පිහිටි කාචේරි පටුනේ පදිංචිව සිටි කන්නගී නම් කාන්තාවක පතිවෘතා දහම රකිමින් ඉතා දැහැමි දිවි පෙවෙතක් ගතකර තිබේ. ඔය කාලයේ සොලී රාජධානියේ කාචේරි පට්නම් නගරයෙහි ඉතා ධනවත් වෙළෙන්දකුගේ පුත්‍රයකු වාසය කර ඇති අතර ඔහු නමින් කෝවලන් ලෙස හඳුන්වා ඇත. පසු කලෙක කෝවලන් සහ කන්නගී විවාහ ගිවිසගෙන ඇති අතර ඔවුන්ගේ සතුටුදායක පවුල් ජීවිතය අඳුරට වැටෙන්නට පටන්ගෙන ඇත්තේ මාධවී නම් නගර සෝභනියක හේතුවෙනි. මාධවීගේ රූප ශෝභාව දැක වශී වූ කෝවලන් සිය සන්තක ධනය ඇය වෙනුවෙන් විනාශ කර ගන්නේ රාගයෙන් අන්ධ වූවකු ලෙසිනි.
එහෙත් වැඩි කාලයක් කෝවලන්ට මාධවීගේ ව්‍යාජ ආදරයේ සුව විඳින්නට ඉඩක් නොලැබුණේ තමා සතු ධනය අවසානය ඉතා ඉක්මනින් සිදුවීම නිසාය. පසුව ඔහු මාධවී අතහැර යළිත් කන්නගී සොයාගෙන ආවේ හිස් අතිනි. දයානුකම්පා සහගත කන්නගී සිය සැමියා පිළිගෙන යළි ඔහුගේ දිවිය දියුණු කරන්නට කටයුතු කළාය.
කෝවලන්ට යළිත් මුදල් ලැබෙන වෙළෙඳාමක් අරඹන්නට හැකි නම් හොඳ යැයි පහදා දුන් කන්නගී සිය පා පළඳනා රන් සලඹ දෙකෙන් එකක් ඔහුට ලබාදෙන්නේ එය අලෙවි කර මුදල් ලබාගෙන ව්‍යාපාරය අරඹන ලෙස දැනුම් දෙමිනි. තම බිරියගේ රන් සලඹද රැගෙන නගරයේ තරහලු වීදියට ගොස් එහිදී රාජකීය රන්කරු දුටු කෝවලන් (පළඟ) සලඹ ඔහුට පෙන්වීමට කටයුතු කළේය.
මේ කාලයේ එරට රාත්‍රියේ බිසවගේ පා සලඹ සොරාගෙන එය වසන් කිරීමට මඟක් සොයමිනුයි රාජකීය රන්කරුවා සිටියේ. ඔහු මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට සුදුසු උපායක් සිතුවේය. අවසානයේ කෝවලන්ව සිය නිවෙසේ නතර කළ රන්කරුවා මුසාවක් දොඩා රාජ මාලිගයට ගොස් තමා සලඹ සොරා අල්ලා ගත්තා යැයි පැවසුවේය.
අවසානයේ රජයේ සේනාවන් පැමණ කෝවලන්ව අල්ලා ගත් අතර රන්කරුවා කෝවලන් ගෙනා සලඹ සඟවාගෙන රජුගෙන් සොරකම් කළ සලඹ සේනාවන්ට ලබා දුන්නේය. කිසිදු වග විභාගයකින් තොරව කෝවලන් මරා දැමීමට රජු අණ කළේය. කපටි රන්කරුවා ඉතා සූක්ෂ්මව තම අරමුණ ඉටුකරගෙන කෝවලන්ගෙ රන් සලඹ විකුණා ධනවතකු විය.
සිය සැමියාගේ අතුරුදන් වීමෙන් කලබලයට පත් කන්නගී ඔහු සොයාගෙන තරහලු වීදියට ගියද ඇයට දැනගන්නට ලැබුණේ සිය සැමියා මරා දමා ඇති පුවතයි. එයින් ශෝකයට පත් ඇය ඔහුගේ මෘත ශරීරය සොයාගෙන දිව ගියාය. වීදි පුරා දිවගිය ඇය පසුව කෝවලන්ගේ සිරුර සොයාගත්තාය. එම සිරුර බදා වැලඳගෙන හඬා වැටුණාය.
අවසානයේ සිත ශක්තිමත් කරත් කන්නගී නිර්භීත ගැහැනියක සේ පඬි රජුගේ මාලිගයට ගියාය. මේ ආරංචිය දැනගත් නගර වැසියෝ රාජ මාලිගය අසලට එක්රොක්ව වික්ෂිප්තව බලාගෙන සිටියහ. කන්නගි රටටත්, රජුටත් ශාප කර තමන්ගේ වම් පයෝධර කපා නගරයට විසි කළාය. දුටු දුටුවන් විස්මයට පත්කරලමින් එයින් නැගි ගින්නෙන් විහාරාරාමත්, භික්ෂුන් වහන්සේලාත් ගුණ යහපත් මිනිසුන් හැර අන් සියල්ල ගිනිබත් වූහ.
වේදනාවෙන් සහ ශෝකයෙන් බරව සිටි ඈ සියල්ල අතහැර වනගතව තපස් දිවියක් ඇරඹුවාය. එතැන් සිට දින 14ක් ගිය තැන මෙලොව හැර ගිය කන්නගී පත්තිනි නමින් දෙව්ලොව උපන්නාය. තම අනින් වූ වරද පසු කලෙක තේරුම් ගන්නා පඬි රජුද එම ශෝකයෙන්ම මරණයට පත්වුවද කන්නගී සිය පියයුර කපා විසිකර කළ මහා ශාපය නගරය පුරා පැතිරී තිබීම හේතුවෙන් නගර ආරක්ෂක දේවතාවිය පත්තිනි දේවියගෙන් කළ ඉල්ලීමකට අනුව එම ශාපය ඉවත් කළ බවත් විවිධ ජනප්‍රවාදයන්හි සඳහන් වෙයි.
මේ නිසාම අදද අසරණ කාන්තාවන්ටත් ළදරුවන්ටත් පත්තිනි දේවිය ඕනෑම අවස්ථාවක පිහිටට එන බවටයි ජනතාව විශ්වාසය තබා ඇත්තේ.
කුමාර රත්නායක











