පසුගිය සති දෙකේදී අපි කතා කළ සිංහරාජ වනාන්තරය තරමටම ජෛව විවිධත්වයෙන් අනූන තවත් ජාතික වනෝද්‍යානයක් පිළිබඳ තමයි අද කැලෑ කොලමෙන් කතා කරන්නේ. ඒ තමයි කන්නෙලිය.
කන්නෙලිය සම්බන්ධයෙන් කතා කිරීමේදී විශේෂත්වයක් තියෙනවා. මේ වනෝද්‍යානය දේශීය සංචාරකයන්ට වඩා විදේශීය සංචාරකයන් සහ විදේශීය පරිසරවේදීන් අතර ජනප්‍රිය වීම තමයි ඊට හේතුව. 2004 වසරේදී යුනෙස්කෝ සංවිධානය විසින් ජාත්‍යන්තර ජෛව ගෝල රක්ෂිතයක් ලෙස මෙය නම් කර තිබෙනවා. කන්නෙලිය, දෙදියගල සහ නාකියාදෙණිය යන රක්ෂිත තුනම එකතු කර ඇති එම ජෛව ගෝල රක්ෂිතය ණෘභ ලෙස හඳුන්වනවා.
සිංහරාජය හැරුණම ලංකාවේ විශාලම රක්ෂිත වනාන්තරය ලෙස සිංහරාජය හඳුන්වන්න පුළුවන්. කන්නෙලිය පිහිටලා තියෙන්නේ ගාල්ල නගරයේ සිට කිලෝමීටර් 40ක් පමණ දුරින්. දකුණු පළාතේ ප්‍රධාන ගංගා ද්විත්වය විදියට සැලකෙන නිල්වලා ගඟේ සහ ගිං ගඟේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය ලෙස කන්නෙලිය සැලකෙනවා.
කෙසේ නමුත් 1960 මුල් භාගයේ සිට 1970 දශකයේ අගභාගය දක්වා තුනී ලෑලි සංස්ථාවට දැව ලබා ගැනීම සඳහා මේ වනාන්තරය භාවිතා කරලා තියෙනවා. ඒක ඉතාම කනගාටුදායක කාරණයක්. ඒ නිසා කන්නෙලියේ විශාල වන විනාශයක් සිදු වෙලා තියෙනවා. ඒ හින්දම අදටත් කන්නෙලියේ ප්‍රාථමික වනාන්තරයක් දැක ගන්න නැහැ. ද්වීතීයක වනාන්තරයක් පමණයි එහි දැක ගන්න තියෙන්නේ. ඒ කියන්නේ අලුතෙන් වැඩෙන ශාක. කොහොම වුණත් වසර 30කට ආසන්න කාලයක් තිස්සේ දැව කැපීම නතර වෙලා තියෙන හින්දා ඉතා හොඳින් වැඩුණු ශාක කන්නෙලියේදී දැක ගන්න පුළුවන්. මේ දැඩි ශාක ස්ථරය හින්දා හොඳින් ඉරු එළිය වැටුණු දවසක වුවත් ඉතාම අඳුරු ස්වභාවයක් තමයි කන්නෙලියේ දැක ගන්න තියෙන්නේ. හරියට කවුරුත් දන්න මන්දාරම් නුවර වගේ.

ගාල්ලට උතුරින් සහ නැඟෙනහිර දෙසින් පිහිටි කන්නෙලියට අයත් සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර 5305ක්. ඒ අතරින් හෙක්ටයාර 5108ක් ගන වනාන්තරය ලෙසත් ඉතිරි හෙක්ටයාර 168 එළිමහන් ප්‍රදේශ ලෙසත් පවතිනවා.
කන්නෙලිය වශයෙන් තනිව සැලකීමේදී තත්ත්වය එසේ වුවත්, කලින් සඳහන් කළ වනාන්තර තුනම එකතුව පද්ධතියක් ලෙස සැලකීමේදී එය ඉතාම විශාල ප්‍රදේශයක්. කන්නෙලිය, දෙදියගල සහ නාකියාදෙණිය යන වනාන්තර පද්ධතියම එකට සැලකූ විට එහි සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර 1200කට ආසන්න වෙනවා.
පහතරට නිවර්තන වර්ෂා වනාන්තරයක් ලෙස සැලකෙන කන්නෙලියට වාර්ෂිකව මිලි මීටර් 4445ක පමණ වර්ෂාපතනයක් ලැබෙනවා. නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රීය වන මැයි සිට සැප්තැම්බර් දක්වා කාලයේදී තමයි ඉතා විශාල වර්ෂාපතනයක් කන්නෙලියට වැටෙන්නේ. ඒ වගේම කන්නෙලිය කියන්නෙත් වියලි කාලයක් නොමැති වසරේ සෑම දිනකම වර්ෂාව ලැබෙන වනාන්තරයක්. මෙහි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 27ක අගයක් ගන්නවා.
එකිනෙකට සමාන්තර කඳු වැටි නිම්න රවුමක් හරහා යා වුණු මේ සුවිශේෂී වනාන්තර පද්ධතිය මුහුදු මට්ටමේ සිට මීටර් 60 සිට 425 දක්වා උසින් යුතුව පිහිටා තියෙනවා. ඒ වගේම මෙහි ඉන්දු, මලයාලම් වනාන්තර පද්ධතියේ දක්නට ලැබෙන ලක්ෂණ දැක ගත හැකි වීමත් විශේෂ කාරණයක්.
සිංහරාජය හා සමාන ජෛව විවිධත්වයකින් යුතු කන්නෙලිය වනාන්තරයෙන් ආරම්භ වන දිය දහරා ප්‍රමාණය 110කට ආසන්නයි. ඒ හේතුවෙන් මුළු දකුණු පළාතේ සෑම ජල ප්‍රවාහයකම ප්‍රධාන මූලාශ්‍රයක් විදියට කන්නෙලිය කටයුතු කරනවා.

මේක ජෛව විවිධත්වය අතින් අතිශය සංවේදී කලාපයක්. සිහංරාජය හැරුණම ලංකාවේ කුඩා ප්‍රදේශයක් තුළ වැඩිම ජෛව විවිධත්වයක් දැකිය හැකි ප්‍රදේශය ලෙසත් මේ කන්නෙලිය සැලකෙනවා. දැනට සිදු කර ඇති පරීක්ෂණ මඟින් ශාක, පැළෑටි සහ පඳුරු විශේෂ 301ක් කන්නෙලියෙන් වාර්තා වෙලා තියෙනවා. ඒ අතරින් 50%කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ආවේණික ශාක වීමත් විශේෂත්වයක්. ඒ වගේම කන්නෙලියෙන් වාර්තා වී ඇති ශාක විශේෂ අතරින් 26ක් දේශීයව වඳවී යාමේ තර්ජනයට ලක් වී තිබීමත්, විශේෂ 16ක් ජාත්‍යන්තර වඳවී යාමේ තර්ජනයට ලක් වී තිබීමත් මත කන්නෙලියට හිමිවන වටිනාකම තවත් වැඩි වෙලා තියෙනවා.
කන්නෙලිය වනාන්තරය පුරා දේශීය ඖෂධ රාශියක් දැක ගන්න පුළුවන්. බෙරලිය, වෙනිවැල්, කුඩා හැඩයා, මහ හැඩයා, සඳරාජ, වන රාජ සහ දුම්මල වැනි ශාක ඒ අතරින් ප්‍රධානයි. ඊට අමතරව මැන්ඩෝරා, හැඩවක, හල්, දියපර, ගොඩපර, ආරිද්ද, කැකුණ, නවද, දොරණ, බූ හොර, නා, දියනා, දවට, උබ්බේරිය, මිල්ල සහ බැදිදෙල් වැනි ශාක කන්නෙලියට ආවේණික ශාක ලෙස හඳුන්වන්න පුළුවන්.
ඒ වගේම ජෛව විවිධත්වයෙන් අනූන මේ වනාන්තරය රැක ගැනීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී අගය කළ යුතුයි. පොලිතින් සහ ප්ලාස්ටික්වලින් තොර කලාපයක් ලෙස කන්නෙලිය පවත්වා ගෙන යාමට එම නිලධාරීන් ගන්නා ක්‍රියාමාර්ග බොහොමයි. ඒ වගේම අවට ප්‍රදේශවාසීන් යොදා ගනිමින් යුනෙස්කෝ සංචිත සංකල්පයත් කන්නෙලියේ ක්‍රියාත්මකයි. තමන්ට කන්නෙලියෙන් ලැබෙන අතිරේක වාසි පිළිබඳවත්, ඒ හේතුවෙන් කන්නෙලිය රැක ගත යුතු බවට හැඟීමකුත් ඒ ජනතාව තුළ ඇති වෙලා තියෙනවා.
මීට අමතරව සත්ව ප්‍රජාව සහ කන්නෙලිය සම්බන්ධයෙන් කතා කිරීමට ඇති තවත් වැදගත් තොරතුරු බොහොමයි. කන්නෙලිය ස්වභාව රක්ෂිතය සඳහා ලබන සතියේ කැලෑ කොලමෙනුත් ඉඩ වෙන් කරන්න අපි තීරණය කළේ ඒ නිසාමයි.
සමන් හල්ලොලුව










