• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ලංකාව හොයාගත්තෙ රාවණද ටොලමිද

January 23, 2021
in Mahawanshaya
Reading Time: 3 mins read
A A
ලංකාව හොයාගත්තෙ රාවණද ටොලමිද
Share on WhatsAppShare on Facebook

මහ මුහුදින් වට කෙරිච්ච අරුම පුදුම රටක් තියෙනවා.
අඹ ගෙඩියක හැඩය ගත්ත ඒකට මරු නමක් කියනවා.
ඔළුව තදින් නරක් වෙච්ච
මිනිසුන් පිරිසක් හැදිච්ච
අරුම පුදුම රටක් තියෙනවා ඕයි
මහ මුහුදින් වට කෙරිච්ච
අඹ ගෙඩියක හැඩේ වෙච්ච
ඒකට මරු නමක් තියෙනවා ඕයි


දහම්දිව, පින්කෙත, ලෝකෙන් උතුම් රට වැනි නම්වලින් හඳුන්වමින් අතීත ශ්‍රී විභූතිය ගැන බොහෝ පාරම්බෑ රටක් පිළිබඳව ප්‍රසංග වේදිකාවේදී දීපාල් සිල්වා ගායනා කරන්නේ ඒ රටේ මිනිසුන්ගේ ගති ස්වභාවයද සරදමට ලක් කරමිනි. අඹ ගෙඩියක හැඩය ගත් මේ දූපතේ වර්තමානය ගැන දීපාල් සිල්වා එසේ පැවසුවද වසර දහස් ගණනාවකට පෙර ලෝකයේ මිනිසුන් මේ පුංචි රට ලෝක සිතියමේ මහා පරිමාණයෙන් සටහන් කළේ මෙහි විසූවන් පිළිබඳ ඔවුන් අසා දැනගත් කරුණු අනුව යමිනි.

බොහෝ පැරණි පාසල් භූගෝල විද්‍යා ග්‍රන්ථයන්හි ශ්‍රී ලංකාවේ හැඩය දක්වන්නේ අඹ ගෙඩියක් ලෙසිනි. අඹ ගෙඩියක නැට්ට සහිත පැත්ත යටි අතට තැබූ විට පෙනෙන ආකාරයට ලංකාව දිස්වේ යැයි එම ග්‍රන්ථයන් මගින් ඉගැන්වීම සිදුවේ. ශ්‍රී ලංකාව මහ මුහුදෙන් වටවූ අඹ ගෙඩියක හැඩයක් ගත් කුඩා දූපතක් ලෙස පාසල් පොත් හරහා දක්වමින් මෙරට ඉතා කුඩා, නොදියුණු ජාතියක් ජීවත්වන්නේ යැයි අදහසක් ඇති වන පරිදි දූපත් මානසිකත්වයක් දරුවන්ගේ මනසට ඇතුළත් කොට ඇති නිසා තම මව්රට පිළිබඳ හීනමානයක් වත්මන් පරපුර තුළ ඇතිවී ඇතැයිද ඇතැම් විද්වත්හු පෙන්වා දෙති.

කෙසේ නමුත් නූතන භූගෝල විද්‍යාව ඉතා නොදියුණු අවධියකදීම මුහුදෙන් වටවූ මේ සුන්දර රටට හැඩයක් දීමට උත්සාහ කළේ ග්‍රීක ජාතික (ඊජිප්තු) ගණිතඥයකු වූ ක්ලෝඩියස් ටොලමි විසිනි. නූතනයේ අඹ ගෙඩියක හැඩයට ඉතා කුඩාවට දැක්වූවද ක්‍රි.ව. 140 දී පමණ ලෝක සිතියම නිර්මාණය කළ ටොලමි විසින් මෙරට, තම ලෝක සිතියම තුළ ස්ථාන ගත කළේ තම සිතියමේ විශාල ඉඩ ප්‍රමාණයක් මෙරටට වෙන්කර දෙමිනි. එය පුදුමයට හේතුවක් නොවන්නේ කිසිදිනක මෙරටට පය නොතැබූ ටොලමි ලෝක සිතියම නිර්මාණය කළේ වෙළෙඳාම සඳහා ලෝකය පුරා නැව්වලින් ගමන් ගත් නාවිකයන්ගෙන් ලබා ගන්නා දත්ත අනුව වීම නිසාය. එවකට ලොව ප්‍රබල වෙළෙඳ මධ්‍යස්ථානයක් වූ මෙරට ප්‍රමාණය පිළිබඳව, ඉන්දියාවටත් වඩා විශාල තැනක තබමින් ටොලමි නිවැරදි තීරණයක් ලබාදී තිබිණි. ටොලමි ලබා ගත් දත්ත ඇසුරෙන් සම්පූර්ණ ලංකා සිතියමක් නිර්මාණය කළ අතර මෙරට ලොව ප්‍රබල වරායන් රැසක් තිබීම හා ඒවා හරහා විශාල වශයෙන් ජාත්‍යන්තර වෙළෙඳාම සිදුවීම නිසා ලංකාව ඉතා විශාල රටක් ලෙස ටොලමි විසින් හඳුනා ගන්නට ඇත.

ටොලමි මෙරටට හැඩයක් දීමට උත්සාහ කළද මෙරටට නමක් දීමට ගත් උත්සාහයන් පිළිබඳ තොරතුරු හමුවන්නේ ටොලමිට බොහෝ කාලයකට පෙර සිටමය. සාධක සහිත තොරතුරු මෙන්ම ජනප්‍රවාදයන් බොහොමයක්ද ඒවා අතර වෙයි. ගෞතම බුදුන් වහන්සේට පෙර සිටි බුදුන් වහන්සේලාගේ කාලයේ සිටම මෙරට පිළිබඳව ලෝකයා දැන සිටි බවත් ඔවුන් මෙරට විවිධ නම්වලින් හැඳින්වූ බවත් ජනප්‍රවාදයේ දැක්වෙයි. කකුසඳ බුදුන් වහන්සේගේ සිට ගෞතම බුදුන් වහන්සේ දක්වා වූ කාලයන් තුළ මේ රට ඔජදීපය, වරදීපය, මණ්ඩදීපය, යනුවෙන් හැඳින්වූ බව දැක්වේ. එවැනි පුවත් පසුකාලීනව ලියැවුණු රාජාරත්නාකරය වැනි ග්‍රන්ථයන්හි පවා ඇතුළත් වී තිබෙන මුත් එවැනි හැඳින්වීම් පසුකාලීනව ඇති කරගත් විකෘති අදහස් බවට මත ඉදිරිපත් කරන්නෝද වෙති. මෙරට වර්තමානයේ හඳුන්වන “ලංකා” යන නාමයද එවැනි ජනප්‍රවාද හරහා පළමුවෙන් හමුවේ. ප්‍රකට පුරාවෘත්තයක් වූ සංස්කෘත මහා කාව්‍යයක් වන රාමායණයෙහි දැක්වෙන රාවණා නම් ශ්‍රේෂ්ඨ රාක්ෂ ග්‍රෝත්‍රික රජතුමා විසූ “ලංකාපුරය” මේ රට බව මෙරට වැසියන් මෙන්ම විදේශිකයන්ද දැඩිව විශ්වාස කරයි. එමෙන්ම මෙරට විශේෂ භූමි ප්‍රදේශයක් ලෙස ස්කන්ධ පුරාණයෙහිද දක්වා තිබේ. එයට අනුව ස්කන්ධ දෙවියන්ගේ බිරිඳ වූ වල්ලි අම්මා හමුවන්නේ ලංකාවේ ගිනිකොන දිග කෙළවරේදීය. මෙරට ගැන පැහැදිලි නිශ්චිත සඳහන් හමුවන්නේ බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනයත් සමගිනි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් නවවැනි මාසයේ ලක්දිවට වැඩම කොට යක්ෂ ගෝත්‍රිකයන් දමනය කළ බව මහා වංශයෙහි දක්වා තිබේ එහි ඒ පිළිබඳව දැක්වෙන විස්තරයේ මෙරට හැඳින්වීමට “ලංකාදීප”,
ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ සිට මෙරට “සීහලද්වීප” යනුවෙන් හඳුන්වා ඇති බව සීහළවත්ථු ප්‍රකරණයෙන් පැහැදිලි වේ. එහි ඇතැම් බණ කතාවන්හි මෙරට නම්කොට ඇත්තේ “සීහලද්වීප” යනුවෙනි. ත්‍රිපිටකයේ පැහැදිලි කිරීම් සඳහා සිංහල භාෂාවෙන් ලියන ලද හෙළටුවා නම් අටුවා ග්‍රන්ථවලද මෙරට හඳුන්වා ඇත්තේ “හෙළදිව” හෙවත් “සීහලදීප” යනුවෙන් බව 5 වැනි සියවසේ ලියූ බුද්ධඝෝෂ හිමියන්ගේ අටුවා පරිවර්තන අනුව සැලකිය හැකිය.

“සීහලද්වීපවාසීන්ගේ” භාෂාවෙන් ලියා ඇති අටුවා පාලියට පෙරළන්නේ දීපාන්තරවාසී භික්ෂූන්ගේ ප්‍රයෝජනය පිණිස යැයි බුද්ධඝෝෂ හිමියන් සමන්ත පාසාදිකාවේ ආරම්භක ගාථාවල සඳහන් කොට තිබේ. මගධ බසින් වැටෙමින් ආ බුදුකාලි අටුවා, “හෙළදිව” ඇදුරෝ හෙළු බසින් තැබූහ යනුවෙන් ධම්පියා අටුවා ගැටපදයෙහිද දක්වා තිබේ. මෙරට ශාසන ඉතිහාසය දැක්වෙන සමන්තපාසාදිකාවේ ස්ථාන කිහිපයක පමණක් “ලංකාද්වීප” යනුවෙන්ද අනිත් සියලු ස්ථානයන්හි “තම්බපණ්ණි ද්වීප” යනුවෙන්ද මෙරට හඳුන්වා දී තිබේ. ඒ වන විට ලංකාද්වීප යන නාමය භාවිත වෙමින් පවතින්නට ඇති අතර අටුවාවල සඳහන්ව තිබූ “සීහලද්වීප” යන්න බුද්ධඝෝෂ හිමියන් “තම්බපණ්ණි ද්වීප” යනුවෙන් පාලි භාෂාවට පරිවර්තනය කරන ලද්දේ ඒ වන විට එම නම විදේශයන්හි ප්‍රකටව භාවිතා වූ නිසා විය හැකිය.



බුදුන් වහන්සේ වැඩම වන විට “ලංකාදීපය” වූවද විජය ඇතුළු පිරිස ලක්දිවට ගොඩබට ස්ථානයේ පිහිටි වෙරළ තඹ පැහැගැන් වී තිබූ නිසා මේ රට “තම්බපණ්ණි” වී යැයි. “එකල්හි නැවින් ගොඩබටුවා වූ විජය කුමර ආදීහු ක්ලාන්ත වූවෝ අතින් භූමියෙහි ස්පර්ශ කොට හිඳගත්තෝය. යම් හෙයකින් තඹවන් අත්ල ඇතිවී ද එහෙයින් ඒ දේශයද දිවයිනද ඒ නම ඇත්තේ හෝ “තාම්‍රපර්ණි” නම් විය.” යනුවෙන් මහාවංසය සඳහන් කරයි. මහාවංස ටීකාව වූ වංසත්තප්පකාසිනියේද විජය කුමරු “තම්බපර්ණියට” පැමිණි බව දක්වන අතර දීපවංසයෙහි දැක්වෙන්නේ විජය කුමරු “ලක්පොළොවට” පැමිණි බවත් මෙහි බිම ඇන සිටීමේදී දෑත් තඹ පැහැවීම නිසා තම්බපණ්ණි යන නාමය දුන් බවත්ය.”

ඔවුහු පාවී ලක්දිවට පැමිණ ලක්පොළොවෙහි ස්පර්ශය ලැබුවාහුය. මොවුන් මෙහි පැමිණෙන විට පිපාසයෙන් පෙළුණු අතර ක්ලාන්ත බවින්ද යුක්ත විය. පයින් ගමන් කළාවූ ඔවුන්ගෙන් සමහරෙක් දෙඅත් හා දෙදණ බිම ඇනගෙන සිටියෝය. මෙසේ වැතිරී සිටි ඔවුහු එම භූමියෙන් නැගිට්ටෝය. පොළොවේ තිබූ පස් ගෑවීමෙන් ඔවුන්ගේ අත් රත් පැහැයෙන් බබළන්නට විය. ඔවුහු ඒ දෙස බලන්නට වූහ. එම නිසා මෙතැන් සිට ලංකාදීපයට ‘තම්බපණ්ණි‘ යන නාමය ඇති විය.” දීපවංසයෙහි ඇතැම් තැන්වල ලක්දිව හා ලක්බිම යනුවෙන් මෙරට හැඳින්වූ අවස්ථාද හමුවේ.
මහින්දාගමනයට අවුරුදු 10කට පෙර අශෝක රජු විසින් පිහිටු වන ලද ශිලා ලේඛනයක ‘තම්බපණ්ණි‘ යනුවෙන් සඳහන් වන අතර ඒ වනවිටද ‘තම්බපණ්ණි‘ නාමය මෙරට හැඳින්වීම සඳහා ප්‍රකට වී තිබූ බව සැලකිය හැකිය.

මෙරට ග්‍රීසිය, රෝමය ප්‍රමුඛ යුරෝපය හා බොහෝ සබඳතා පැවැත්වූ අතර ග්‍රීකයන් මෙරට හැඳින්වූයේ “තැප්‍රෝබෙන්” නමිනි. මෙරට හැඳින්වීම සඳහා භාවිතා කළ තම්බපණ්ණි යන්න ඇසුරෙන් “තැප්‍රෝබෙන්” යන්න නිර්මාණය වූ බව විශ්වාස කරයි. ඒ අනුව තැප්‍රොබේන් යනු තම්බපණ්ණි යන පාලි හා තාම්රපර්ණි යන සංස්කෘත වචනවල ග්‍රීක ස්වරූපයයි. දැනට මෙරට පිළිබඳ තොරතුරු වාර්තා කර ඇති ආදිම බටහිර ලේඛකයා වන ඇරිස්ටෝටල්ගේ “De Mundo” නම් ග්‍රන්ථයේද “තැප්‍රබේනය” නම් රටට වඩා බිතාන්‍යය තරමක් විශාල බව දක්වයි. ටොලමිගේ ලෝක සිතියමේ ලංකාව හඳුන්වා ඇත්තේද “තැප්‍රොබානා” (TAPROBAN) යනුවෙනි. ප්‍රකට ඉන්දීය පඬිවරයකු වූ කෞටිල්‍යය ලංකාව හඳුන්වා ඇත්තේ “පාර සමුද්‍ර” යනුවෙනි. පලේසිමුන්ඩු යන්න පාර සමුද්‍ර යන්න්නෙහි ග්‍රීක ස්වරූපය වේ. නමුත් පලේසිමුන්ඩු යනුවෙන් ලංකාව හැඳින්වීම මුල් ලේඛකයන්ට සිදුවූ වරදක් බවත් පසු ලේඛකයන් එම වරද ඉදිරියට ගෙන යාම නිසා මෙරට පලේසිමුන්ඩු ලෙසින් දැක්වූ බවටද මතයක් පවතී.

ග්‍රීකයන් මෙන්ම අරාබීන් සමගද මෙරට අනාදිමත් කාලයක් සබඳතා පැවැත් වූ අතර අරාබි සහ පර්සියානු ජාතිකයන් මෙරට “සෙරන්ඩිබ්” යනුවෙන් හැඳින්වීය’ අරාබි ජාතික ඒද්රිස් නම් භූගෝල විද්‍යාඥයා ලංකාව දිවයින් දෙකක් ලෙස හඳුනාගෙන තිබිණි. ඔහු මේ දූපත් දෙකින් එකක් “සෙරෙන්ඩා” නමින් හැඳින්වූ අතර අනිත් දූපත “සෙරෙන් – ඩිබ් (සෙරන්ඩිබ්)” යනුවෙන් හඳුන්වා දෙන ලදී. පසුකාලීනව යූරෝපීයන් මෙරට හැඳින්වීමට යොදාගත් සිලාන්, සෙයිලාන්, සෙයිලඩ්, සිලෝන් ආදී නම් සඳහා ප්‍රභවය වූයේද අරාබීන් මෙරට හැඳින්වීමට භාවිතා කළ “සෙරන්ඩිබ් (Serendib)” යන නාමයයි. සිංහයන්ගේ දිවයින යන අරුතින් “සෙරන්ඩිබ්” යන නම බිහිවී තිබේ. වෙළෙඳාම සඳහා මෙහි පැමිණි අරාබීන තම ආගමේ ඉගැන්වෙන පරාදීසය යැයි විශ්වාස කළහ. මේ නිසා අරාබීන් මෙරට “සෙරන්ඩිබ්” යනුවෙන් හැඳින්වූ අතර ශ්‍රී පාදස්ථානය ආදම්ගේ පාදය ලෙස හැඳින්වීමටද මෙය හේතු විය. පෘතුගීසින් විසින් සෙයිලාන් ලෙසද, ලන්දේසීන් විසින් සීලැන් ලෙසද ඉංග්‍රීසින් විසින් සිලෝන් (Ceylon) ලෙසද මෙරට හැඳින්වීම සිදු කළ අතර එම වචන සෙරන්ඩිබ් යන්න බිඳී ඇති වූ ඒවාය. ක්‍රි.ව. 603 දී චීන ජාතික හියුත්සාංද මෙරට හඳුන්වා දී ඇත්තේ “රත්නදීප” යන නමිනි. මෙරට අතීතයේ සිටම වටිනා මැණික්වලට ලබා තිබූ ප්‍රසිද්ධිය අනුව මෙලෙස නම් කළ බව සැලකිය හැකිය.

මෙරට හැඳින්වීමට විවිධ නම් භාවිතා කිරීම මෙන්ම හැඩයෙන් මෙරට හඳුනා ගැනීමටද විවිධ ජාතීන් උත්සාහ කළහ. එහි පළමු උත්සාහය ගනු ලැබූ ටොලමි තමා විමසා දැන ගත් කරුණු අනුව මෙරට ලෝක සිතියමේ සලකුණු කිරීම මෙන්ම මෙරට වරායන් ගංගා හා වාණිජ මධ්‍යස්ථාන දක්මින් සවිස්තරාත්මක සිතියමක්ද නිර්මාණය කළේය. එවකට ලෝකය තුළ මෙරටට හිමිව තිබූ ස්ථානය පිළිබඳ කදිම අදහසක් මේ සිතියම අනුසාරයෙන් ලබා ගත හැකිය. ටොලමි විසින් අඳිනු ලැබූ සිතියමට වඩා දැන් මෙරට හැඩය වෙනස් වී ඇත්තේ පසුකාලීනව සිදුවූ මුහුදු ගැලීම නිසා මෙරට විශාල භූමියක් මහා සාගරයට යට වීම නිසා යැයි මතයක්ද ඉදිරිපත්වී තිබේ. එැවැනි මුහුදු ගොඩ ගැලීම් පිළිබඳ විස්තර ජනශ්‍රැතියේ මෙන්ම වංශකතාවන්හිද දක්වා තිබේ.

පෘතුග්‍රීසි ජාතික වස්කෝද ගාමා විසින්ද 1497 දී මෙරට හැඩය සිතියමක් හරහා හඳුනා ගැනීමට උත්සාහ කළේය. පසුව 16 වන සියවසේදී සිප්‍රියානෝ සැන්ඬේස් නම් ස්පාඤ්ඤ ජාතිකයා විසින්ද නාවිකයන්ගෙන් ලැබූ තොරතුරු අනුව මෙරට දිගැටි පංචාස්‍රයක් ලෙස දකිමින් සිතියමක් නිර්මාණය කරන ලදී. මෙලෙස නාවිකයන්ගෙන් ලබා ගන්නා තොරතුරුවලින් මෙන්ම පසුකාලීනව මෙරටට ගොඩ බට විදේශිකයන්ද තමන් ඇසූ හා දුටු විස්තර ඇසුරෙන් මෙරට හැඩය නිශ්චය කිරීමට විවිධ උත්සාහයන් ගත් නමුත් වඩාත් සාර්ථක ලෙස නියම භූගෝලීය හැඩයෙන් යුතුව මෙරට සිතුවම් ගත කරන්නේ 1640 දී පමණ ඕලන්ද ජාතිකයන් විසිනි. ලන්දේසීන් විසින් අඳින ලද මෙරට සිතියම මෙරට සැබෑ පෙනුම නිරූපිත පළමු සිතියම සේ සැලකේ.

මෙරට කොටස් යුරෝපීය ජාතිකයන්ට යටත් වන සමය වන විට මෙරට නාමය සිංහල ජනයාගේ දේශය වශයෙන් “සිංහලය” බවට පත්ව තිබුණි. මහනුවර යුගයේදී මෙරට හඳුන්වන්නේ “සිංහලය” නමිනි. පසුකාලීන ඉතිහාසයේ මෙරට ලෝකය පුරා වඩාත් ප්‍රකට වූයේද “සිංහලය” නමිනි. යුරෝපීයන් මෙරට හැඳින්වීමට භාවිතා කළ සීලාන්, සෙයිලාන්, සිලොන් වැනි නම් “සිංහලය” යන්න යුරෝපීයන්ගේ උච්චාරණයෙන් දැක්වීම බවටද මත ඉදිරිපත් වී තිබේ. පසුකාලීනව “සීහල” යන පාලි වචනය බිඳීමෙන් සෑදුණු “ඊළාම්” හා “ඉලංකෙයි” වැනි වදන් දෙමළ ජනතාව විසින් මෙරට හැඳින්වීමටද භාවිතා කොට තිබේ.

රත්නදීප, ධර්මද්වීපය, හෙළදීප, හෙළ දෙරණ, හෙළය, සීලදීප වැනි නම්වලින් මෙන්ම පාරාදීසිය, ඉන්දියන් සාගරයේ මුතු ඇටය, පෙරදිග ධාන්‍යාගාරය වැනි නම්වලින්ද හැඳින්වූ මේ රට බිතාන්‍යයන්ට යටත් වීමෙන් පසු සිලෝන් (Ceylon) නමින් නිල වශයෙන් හැඳින්වීම සිදුවිය. පසුව 1948 දී බි්‍රතාන්‍යන්ගෙන් නිදහස ලබා, 1972 දී සම්පුර්ණයෙන්ම ජනරජයක් වූ පසු වර්තමානයේ භාවිතා වන නාමය වන “ශ්‍රී ලංකාව” යන්න බවට පත්විය. “ශ්‍රී” අකුර මෙරට රාජකීය අනන්‍යතාව ලෙස බොහෝ ස්ථානවල භාවිතා වූ අතර අනුරාධපුර සමයේ සිට භාවිතා වූ “ලංකා” යන වදනට “ශ්‍රී” එක්කොට ගැනීමෙන් නිර්මාණය කොට ගත් “ශ්‍රී ලංකාව” නමින් අදටත් මෙරට හැඳින්වීම සිදුවෙයි. නමුත් “ශ්‍රී” යන්න මෙන්ම “ලංකා” යන්නද ඉන්දියාවෙන් ආනයනය කළ වදන් බව කියන්නෝද සිටින අතර ඔවුන්ගේ අදහස මෙරට ලොව පුරා වඩාත් ප්‍රකට වූ “සිංහලය” යන්නෙන් මෙරට හැඳින්විය යුතු බවයි.

වසර දහස් ගණනක් තිස්සේ විවිධ ජාතීන් විවිධ අයුරින් හඳුනාගත්, විවිධ අයුරින් නම් කළ අපගේ සොඳුරු මව්රට වර්තමානයේ “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය” ලෙස නිල වශයෙනුත් “ශ්‍රී ලංකාව” ලෙස පොදුවේත් ලොව සියලු දෙනා භාවිතා කරයි. නමුත් අතීතයේ විවිධ ජාතීන් මෙරට හැඳින්වීමට විවිධ නම් භාවිතා කළත් ඒ සෑම නමට තිබූ ගෞරවය හා පිළිගැනීම, ලෝකයාම පොදුවේ පිළිගන්නා “ශ්‍රී ලංකාව” යන නාමයට ලබා ගැනීමට නොහැකි වී තිබේ. ඒ මෙරට වාසය කරන අපගේම ක්‍රියාවන් නිසාය. එබැවින්,

ඔළුව හොඳට සකස් වෙච්ච
විනීත පිරිසක් හැදිච්ච
අරුම පුදුම රටක් තියෙනවා.
මිණි කැටයක රුව රැඳිච්ච
නීල හරිත ගුණ පිරිච්ච
ඒකට ගරු නමක් තියෙනවා.

යනුවෙන් ලෝකයා පවසන තත්ත්වයට ගෙන ඒමට අප කටයුතු කළ යුතුය. එවිට එදා මෙරට වැසියන්ට තිබූ තැනම මේ මව්රටේ නූතන පරපුරටද හිමිවෙනු ඇත.

SendShareShare
Previous Post

කවුරු ගොසිප් ගැහුවත් මට අදාළ නෑ

Next Post

ලංකාවට ණය නැති සුදු මහත්තුරු

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.