ජීවිතයේ ලැබිය හැකි එකම සැපත නිරෝගීකම බව රහසක් නොවේ. එනම් හොඳ සෞබ්‍ය සම්පන්න ලෙසින් ජීවත් වීමයි. රටක සමාජයක ජීවත්වීමේදී එම රටේ සමාජයේ දියුණුවට පුද්ගලයාගේ නිරෝගීකමද බලපායි. එදා මිනිසුන් අවුරුදු සිය ගණනින් ජීවත් වුවද අද මිනිසුන්ට එය සිහිනයකි. ඊට හේතුව අද සමාජයේ නිරෝගී මිනිස් පරම්පරාවක් නොසිටීමයි. අතීතයේදී නිරෝගී මිනිස් පරම්පරාවක් සිටි අතර ඊට පැහැදිලිම සාක්ෂිය වන්නේ එවකට ඔවුන් අතින් ඉදිවූ වෙහෙර විහාර වැව් අමුණු සහ ඇල මාර්ගයි. එදා එම මිනිසුන් නිරෝගීව සිටීමේ රහස වන්නේ අපේ පැරණි සිංහල වෙදකමයි. පසුව ලක්දිවට බුදුදහම පැමිණීමත් සමඟ එහි ප්‍රතිඵලයක් ලෙස ආයුර්වේද වෛද්‍ය ක්‍රමය රටේ ප්‍රචලිත විය.
අපේ රටේ අපේ සමාජයේ පැරණි වෛද්‍ය ශාස්ත්‍රය හඳුන්වන්නේ සිංහල වෙදකම හෙවත් හෙළ වෙදකම යනුවෙනි. මෙම වෙදකම අපට වෙනත් කිසිදු රටකින් හඳුන්වාදෙන ලද්දක් නොවන අතර එය අප රටේදීම ආරම්භ වූ දෙයකි. ඇතැම් තැන්හි සඳහන් වන්නේ අප රටේ සිටි ඉපැරණි යක්ෂ ගෝත්‍රිකයින් විසින් සිංහල වෙදකම ආරම්භ කළ බවයි. මේ අතර මෙම වෙදකම කොටස් දෙකකි. එකක් ආයුර්වේද වෙදකමයි. අනෙක වන්නේ හෙළ වෙදකමයි. මෙහිදී හෙළ වෙදකම යනු ආයුර්වේදයට වඩා ප්‍රබල මෙන්ම 100%ක් දේශීය වූ වෙදකමකි. නමුත් කාලයත් සමඟ එම වෙදකම් දෙක තුළ සුළු සුළු සමානකම් දක්නට ලැබෙයි. මේ අතරම එම සිංහල වෙදකමේ අංග කිහිපයකි.
අතීතයේ අපේ රටේ වූ පැරණි වෙදකම පිළිබඳව සාක්ෂි රැසක්ම හමුවී ඇත. විශේෂයෙන්ම පැරණිතම සෙල්ලිපි තුළ එදා වෛද්‍යවරුන් පිළිබඳව සඳහන් කර තිබේ. එවැනි සෙල්ලිපිවල ඔවුන් හඳුන්වා තිබෙන්නේ “වෛජන” යනුවෙනි. එවකට අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය ප්‍රදේශයෙන් හමුවූ එක්තරා සෙල්ලිපියක් කොටවා ඇත්තේ මිත්‍ර නම් වෛද්‍යවරයෙකි. මේ අතර පණ්ඩුකාභය රාජ්‍ය සමයේ “සිව්කාශාලා” නම් ඉතාම සුවිශේෂී ගොඩනැඟිලි විශේෂයක් තිබුණු බව සඳහන් වෙයි. ඒ බව මහාවංශයේ මෙන්ම මහාවංශ ටීකාවේද සඳහන් කර ඇත. එහිදී සිව්කාශාලා යනුවෙන් අදහස් කර තිබෙන්නේ මාතෘ නිවාසයි. එනම් කාන්තාවන්ට දරුවන් ලැබීමට පහසුකම් සලසාදෙන ස්ථානයි. තවද අතීත කාලයේදී සතුන්ටද රෝහල් ඉදිකර තිබුණු බව පැවසෙයි. විශේෂයෙන්ම අලියන්ට මෙන්ම අශ්වයින්ට එසේ රෝහල් ඉදිකර තිබූ බව සඳහන් වෙයි. මේ අතර අනුරාධපුරයෙන් හමුවූ එක්තරා සෙල්ලිපියක සඳහන් වී ඇත්තේ “මියගිය එළුවන් සහ කුකුළන් රැගෙන ආ යුතුයි” යනුවෙනි. එසේ ගෙන ආ යුත්තේ ඇයිද යන්න පැහැදිලි නැතත් ඇතැමුන් පවසන්නේ එවැනි වූ සත්ව මළ සිරුරු යොදා ගනිමින් වෛද්‍ය විද්‍යාව උගන්වා ඇති බවයි.
ශ්‍රී ලංකාවේ මුලින්ම ආරෝග්‍යශාලාවක් ඉදිකිරීම පිළිබඳව සඳහන් වන්නේ ක්‍රි.පූ. 4 වෙනි සියවස තුළදී පණ්ඩුකාභය රාජ්‍ය සමයේය. ඒ බව අද මහාවංශයේ සඳහන් වී ඇති අතරම එසේ ආරෝග්‍යශාලා ඉදිකිරීම පිළිබඳ අදහස පැහැදිලිවම බෞද්ධ සංකල්පයක් බව පැහැදිලිය. මේ අතර මිහින්තලේ ආරාම සංකීර්ණයේ තිබී හමුවූ ආරෝග්‍යශාලාවේ නටබුන්වලට අනුව එය ලෝකයේ ඉදිකළ ප්‍රථම විධිමත් ආරෝග්‍යශාලාව බව ඇතැමුන්ගේ විශ්වාසයයි. මේ අතර අපේ රටේ රාජ්‍ය කළ රජවරුන්ද වෙදකම වෙනුවෙන් බොහෝ කටයුතු සිදුකර තිබේ. එහිදී රටේ ප්‍රධාන පුරවැසියා වූ රජුගේ රජ මාලිගාව සමීපයේ “බෙහෙත් ගේ” නමින් සුවිශේෂ සහ ස්ථිර වෛද්‍යාගාරයක් පිහිටුවා තිබුණු බව සඳහන් වෙයි. තවද ඒ සියල්ල එදා රෝගීන්ට නැවතී ප්‍රතිකාර ලැබීමට තරම් සුදුසු පරිදි සැලසුම් කර තිබුණු බවටද පැවසෙයි. එවන් වෛද්‍යාගාර වැඩි වශයෙන්ම තිබූ බව සඳහන් වන්නේ අනුරාධපුර රාජධානිය තුළ වීම තවත් විශේෂත්වයකි.
එදා වෙදකමේ අනිවාර්යම අංගයක් වූ බෙහෙත් ඔරුව ගැනද යමක් කිව යුතුය. එය එදා පැරණි වෛද්‍ය ක්‍රමයේ අපූර්ව නිර්මාණයකි. එවැනි බෙහෙත් ඔරුවක් මුල් වරට සොයා ගත්තේ ඉතිහාසඥ එච්.සී.පී. බෙල් මහතාය. ඒ වර්ෂ 1886 දී ථූපාරාම විහාර භූමිය ආශ්‍රිත නටබුන්වලිනි. ඖෂධීය දියර බෙහෙත් ඔරුවක බහා ඒ මත රෝගී පුද්ගලයා ගිල්වා කරන ප්‍රතිකාරය සඳහා මෙම බෙහෙත් ඔරුව භාවිතා කර තිබේ. එය පැරණි වෛද්‍ය ශාස්ත්‍රයේ හැඳින්වෙන්නේ “අවගාහන කායික චිකිත්සාව” යනුවෙනි. එවකට අනුරාධපුරයේ මෙන්ම මිහින්තලේ, මැදිරිගිරිය සහ දීඝවාපිය යන ප්‍රදේශයන් තුළින් එම බෙහෙත් ඔරු හමුවී තිබේ. මේ අතර එසේ හමුවූ බෙහෙත් ඔරු සියල්ල නවවෙනි සියවස දක්වා ඈතකට දිවෙයි. තවද බුද්ධඝෝෂ හිමියන් පස්වෙනි සියවසේදී සිංහලයෙන් පාලි බසට පරිවර්තනය කරන ලද අටුවා ග්‍රන්ථයක උණු දිය පුරවන ලද භාජනයක රෝගියෙකු බහා එම උණු දියෙන් තවා කරන චිකිත්සා ක්‍රමයක් ගැන සඳහන් වේ. එය “නිමර්ජන චිකිත්සාව” යනුවෙන් සඳහන් වෙන අතර ක්‍රි.පූ. 5 වෙනි සියවසේදී ඒ ක්‍රමය භාවිතා කර තිබේ. බෙහෙත් ඔරුව සාදන්නේ තනි ගල් කුට්ටියකින් ඒ මිනිස් ශරීරයේ හැඩයට අනුරූප වන පරිදි හෑරීමෙනි. බොහෝ විට චර්ම රෝග, අර්ශස් මෙන්ම වාත රක්තය සහ උණ වැනි රෝගී තත්ත්වයන් බෙහෙත් ඔරුව භාවිතයෙන් සුවකර තිබේ.
අනුරාධපුරය සහ පොළොන්නරුව යන රාජධානි සමයන්හි මෙරට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඉතා දියුණු මට්ටමක පැවතියද පසුව පොළොන්නරු රාජධානිය බිඳවැටීමත් සමඟම එය පසුබෑමකට ලක්විය. නැවත කෝට්ටේ යුගයේදී එය යම් පමණින් හෝ යළිත් නඟාසිටුවීමට උත්සාහ ගත්තේ නරේන්ද්‍රසිංහ රජු විසිනි. එතුමාගේ ආරාධනාවලට අනුව වැලිවිට සරණංකර සංඝරාජ හිමිපාණන් විසින් “භේසජ්ජ මඤ්ජුසා” නම් පාලි වෛද්‍ය ග්‍රන්ථය සිංහලයට පරිවර්තනය කර ඇත. එහෙත් කාලයත් සමඟ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය වර්ෂ 1505 දී පමණ මෙරටට බලපෑ පෘතුගීසි ආක්‍රමණයත් සමඟ අභියෝගයට ලක්විය. කෙසේ වුවද මෙරටට ලන්දේසීන් පැමිණීමත් සමඟ ඔවුන් මෙරට වැසියාට සෞඛ්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් උනන්දු වූ බව පැවසෙයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය එන්නේද ඒ හරහාය. 1858 වර්ෂයේදී මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පිහිටු වූ බි්‍රතාන්‍ය පාලකයන් එම බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය රජයේ වෛද්‍ය ක්‍රමය ලෙස පසුකාලීනව දියුණු කරන්නට විය. එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලාංකිකයා අතින්ම එදා සිංහල ආයුර්වේද වෙදකම අභාවයට ගමන් කිරීමයි.
රුවන් එස්. සෙනවිරත්න











