දේශීය සංගීත ක්ෂේත්‍රය පෝෂණය කිරීම වෙනුවෙන් කැපවීම් කළ, එමගින් ලාංකීය ගීත රසිකයින්ගේ උසස් රසවින්දනය උදෙසා සුවිශේෂී කාර්යභාරයක් කළ අපගේ ගායක ගායිකාවන්, ගේය පද රචකයන් සහ සංගීත නිර්මාණ ශිල්පීන් ඇතුළු ගීත නිර්මාණ ශිල්පීන්ගෙන් සැදුම්ලත් ‘ඔස්කා’ සංවිධානය, ඩයලොග් ආයතනය සමඟ එක්ව වාර්ෂිකව ඉදිරිපත් කරනු ලබන ‘ඩයලොග් රිද්ම රැයක්’ ප්‍රසංගය මෙවර ‘Best Of ඩයලොග් රිද්ම රැයක්’ නමින් පසුගිය 26 වන දින රාත්‍රී ස්වර්ණවාහිනී නාලිකාව තුළින් විකාශනය විය. වර්තමානයේ පවතින කොවිඞ් 19 තත්ත්වය යටතේ පෙර ලෙස සජීව අයුරින් මෙය සංවිධාන කිරීමට නොහැකි බැවින් පසුගිය වසර පහක කාලය තුළ ඩයලොග් ආයතනයේ අනුග්‍රහයෙන් පවත්වනු ලැබූ සියලූම රිද්ම රැයක් ප්‍රසංගයන්ගේ ආකර්ෂණීය ප්‍රාසාංගික අංග ඇසුරින් මෙම සුවිශේෂී ප්‍රසංගය නිර්මාණය කිරීමට යොමුවිය.
ගීතයේ නැවුම් රස සිය ප්‍රේක්ෂකයන්ට අත්විඳීමට අවස්ථාව ලබාදෙමින්, ගායනය සමඟ මුසුවූ ප්‍රාසාංගිකත්වය ඔස්සේ ගායන ශිල්පීන් වෙත මෙන්ම ප්‍රේක්ෂකයන් වෙත නවතම අත්දැකීමක් ලබාදෙමින් සංවිධාන වූ ‘ඩයලොග් රිද්ම රැයක්’ ප්‍රසංගය යනු ලාංකීය ගීත ප්‍රාසාංගික කලාවේ සුවිශේෂී අනන්‍යතාවයක් හිමිකරගත් වැඩසටහනකි. විශේෂයෙන් වාර්ෂික ප්‍රාසාංගික ගීතමය වැඩසටහන් නාමාවලියේ ප්‍රමුඛම ස්ථානය හිමිකරගත් මෙම ‘ඩයලොග් රිද්ම රැයක්’ ප්‍රාසාංගික වැඩසටහන සෑම වසරකම ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයන් දිනාගත් රූපවාහිනී ගීතමය ප්‍රාසාංගික වැඩසටහනද වේ.











