මම එදා ඉඳන් සතුටින් හිටියේ…
නාට්‍ය දෙකකින්ම ආරාධනා ලැබුණා…
විවිධ චරිත නිරූපණය කළ මංජුල මොරගහත් දැන් දරු සුරතල් බලන බව ආරංචි වුණා. ඉතින් ඔහුගේ සතුට උතුරා යන සොඳුරු මොහොතක ඔහු සමඟ ඒ සතුට අපි බෙදා ගැනීමට ඔහුට කතා කළා. ඒ වගේම ඒ සොඳුරු කැදැල්ලට ‘හාට්’ අපේ කණ්ඩායමේ සුබපැතුම් එකතු කරන්නටද අපි අමත කළේ නැහැ.
මංජුලගේ කැදැල්ලට රෝස පැටික්කියක් ආව බව ආරංචියි. කොහොමද ඒ දැනෙන සතුට?
මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ කියලා දැනගත්තුදා පටන් මම හිටියේ පුදුමාකාර සතුටකින්. ඉතින් මම එදා ඉඳලා මගේ බිරියව වෙනදාටත් වඩා හොඳට බලාගත්තේ මේ රෝස පැටික්කිගේ මුහුණ දකින්න තමයි.
ඒ කියන්නේ කලින් තියාම දැනගෙනද හිටියේ දුවෙක් ලැබෙන බව?
අපෝ නැහැ. අපි එහෙම විශේෂ හොයා බැලීමක් කළේ නැහැ. දුවෙක් වුණත්, පුතෙක් වුණත් අපි දෙන්නගේ දරුවෙක් නිසා. නොවැම්බර් 27දා තමයි දුව අපි ළඟට ආවේ.
සුන්දර කැදැල්ලට අලුතින් ආපු සුරතලීට ලස්සන නමක් එහෙම දැම්මද?
අසිලියා මමොෂි කියලා තමයි අපි නම දැම්මෙ.
පවුලකට ඉස්සෙල්ලාම දුවෙක් ලැබෙනවා කියන්නේ මුළු නිවෙසටම වාසනාව ගේනවා කියල කතාවක් තියෙනවා. ඒ වාසනාව මංජුලටත් උදාවෙයි?
දුවෙක් ලැබෙනවා කියන්නේ ඒ නිවෙසම මල් යහනාවක් වගේ තමයි. මගේ ජීවිතයටත් ඒ වාසනාව උදා වුණා. දැනටම ටෙලිනාට්‍ය දෙකකින් ආරාධනා ලැබුණා. තවත් නිර්මාණ කිහිපයක් සම්බන්ධව කතාබහ කරගෙන යනවා.
කොල්ලා කාලේ දාපු සෙල්ලම් දැන් බැරිවෙයි නේද, මංජුල වගකීම් රැසක තාත්තෙක් වෙලා හමාරයි?
මම ඉතින් එදා ඉඳලා සතුටින්, විනෝදයෙන් තමයි ජීවත් වුණේ. අපි දෙන්නගේ දරුවත් අපිට දුවෙක් වගේම යෙහෙළියක් විදියට අපිත් එක්ක ගැවසෙමින් ජීවත් වීමට හොඳ පසුබිමක් හදනවා. සදාචාරසම්පන්න, ගුණදහමින් පිරිපුන් දරුවෙක් කිරීමට තමයි උත්සාහ කරන්නේ. මව, පියා කියලා ලොකු ගැප් එකක් තියන්නෙ නැතුව විවෘතව අපට ඕනෑම දෙයක් කියන්න පුළුවන් විදියට දුවට නිදහස් පවුල් පරිසරයක් හදනවා. එතකොට දුවත් අපි සමඟ යහළුවෝ වගේ ඉඳීවි.
ඉතින් මංජුලගේ නිර්මාණ වැඩකටයුතු කොහොමද?
‘සිරස’ රූපවාහිනී නාලිකාවේ මම සම්බන්ධ වුණු ‘දාම්’ ටෙලිනාට්‍ය විකාශය වෙනවා. මම එහි නිරූපණය කරන්නේ විශේෂ පොලිස් නිලධාරියෙක්ගේ චරිතයක්. සිවිල් ඇඳුමින් තමයි මම ‘දාම්’ තුළ මගේ රාජකාරි කටයුතු සිදුකරන්නේ. එයට අමතරව ‘කඩදාසි ඔරු’ කියලා අලුත් ටෙලිනාට්‍යයක රූපගත කිරීම් පසුගිය දවස්වල සිදුකළා. පුත්තලමේ ඇතුළු ප්‍රදේශ කිහිපයක කැලෑ ඇතුළේ තමයි වැඩ කළේ. හරිම බයෙන් තමයි රූපගත කිරීම්වලට සම්බන්ධවෙලා වැඩ කළේ කැලෑ අලි නිසා.
මංජුල මුද්‍රිත මාධ්‍ය සමඟ ලොකු ගනුදෙනුවක් නැති බව පෙනී යනවා?
අනේ එහෙම ප්‍රශ්නයක් නැහැ. මම ඕනෑම මාධ්‍යයකට විවෘත කෙනෙක්. මාව අවශ්‍ය නම් මට කතාබහ කරයි. පුවත්පත්වලින් 2005 වර්ෂවල මට ලොකු සහායක් ලබාදුන්නා. ඒ තියෙන සහෝදරත්වය කවදාවත් කිසිම මාධ්‍යයක් සමඟ නැතිවෙන්නේ නැහැ.
ඔබ දැන් ටෙලිනාට්‍ය රඟපෑමට අමතරව අධ්‍යක්‍ෂණය පැත්තට යොමුවෙලා කොහොමද ඔබට දැනුණු ඒ වෙනස?
රඟපාන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නෙවේ අධ්‍යක්‍ෂණය කියන්නේ. මම වෙළෙඳ දැන්වීම් කිහිපයක් නිර්මාණය කළා. මේ දවස්වල රූපවාහිනී නාලිකාවල විකාශ වෙනවා. එයට අමතරව ටෙලිනාට්‍යයක් අධ්‍යක්‍ෂණය කළා. එය ගැන පසුව කියන්නම්.
අනෙකුත් ශිල්පීන් වගේ ඔබේ නිර්මාණවල ඔබත් රඟපානවද?
මම කරපු ටෙලිනාට්‍යයේ මම ප්‍රධාන චරිතයක් රඟපෑවේ නැහැ. මට ගැළපෙන සුළු චරිතයක් රඟපෑවා. මට රඟපාන්න මම නිර්මාණ හදන්නේ නැහැ. එහෙම කරන්න ගියොත් කරන්න ගත්තු වැඬේවත් හරියට කරගන්න බැරි වෙනවා.
M.M. 20 TVZ’ මොකක්ද මේ ඔබේ වෙනස්ම වැඬේ?
මගේ ‘යූ-ටියුබ්’ චැනල් එක තමයි ඒ. මම ඒ හරහා විශේෂ නිර්මාණ කිහිපයක් කිරීමට සැලැසුම් කරගෙන යනවා. දැනට පවතින ප්‍රතිචාර නම් හොඳයි.
වසන්ත විතාරණගේ











