‘කවර්’ සංකල්පයට මම කැමැති නෑ…
කහමල් සැලිලා, බොල්පිනි වැටිලා, වස්දොස් යවලා, සිහින පාරාදීසයේ, සමනල පාලම අද්දර, මාලතී නුඹයි…
ටිකක් අමුතුයි වගේ නේද?
මේ සින්දු කෑලි කෑලි දාලා ගොතපු එකක් වුණාට මේ කාලයක් තිස්සේ අපේ හිත් පිස්සුවට්ටපු ලක්ෂ්මන් හිල්මිගෙ හිට්වුණු සින්දු ටිකක්. කොහොම වුණත් ගායකයෙක් වශයෙන් පමණක් නොව තනු නිර්මාණකරුවෙක් ලෙස නමක් දිනා සිටින ලක්ෂ්මන් හිල්මිගෙන් පසුගිය දිනවල අපිට දකින්න ලැබුණෙ දැඩි නිහඬ බවක්. ඒ නිහැඩියාව බිඳිමින් ලක්ෂ්මන් ‘හාට්’ එකත් එක්ක කතාබහකට එකතුවුණේ මේ විදිහට.
ඔබගේ දැඩි නිහැඬියාවක් මේ දවස්වල දකින්න ලැබෙනව?
මම හිතන්නෙ මේ දවස්වල අපේ ක්ෂේත්‍රයේ ඉන්න හැමෝම වගේ ඉන්නෙ දැඩි නිහැඬියාවක. පසුගිය අවුරුද්දෙ පාස්කු ප්‍රහාරයෙන් ඇතිවෙච්ච කඩාවැටීම මේ වනතුරු ඉවර වෙලා නැහැ. වෙනත් ක්ෂේත්‍රවල අයට තමන්ගෙ රැකියාවන් ඔන්ලයින් වැනි ක්‍රම ඔස්සේ කරගන්න පුළුවන්කම තිබුණත් අපේ ක්‍ෂේත්‍රයට එහෙම හැකියාවක් නැහැ. ඉතින් මම හිතන්නෙ මේ ව්‍යසනයෙන් වැඩිපුරම බලපෑමක් ඇතිවුණේ සංගීත කෂේත්‍රයට.
ප්‍රසංග වේදිකාවට මේ තත්ත්වය බලපෑවට අලුත් නිර්මාණ කිරීම සඳහා මේ තත්ත්වය බාධාවක් නෙවෙයි නේද?
ඒකට ඇත්තටම හේතුව මේකයි. දැන් අවුරුදු ගානක ඉඳල අපේ කාලෙ කලාකරුවන්ගෙ නිර්මාණවලට ලොකු ඉල්ලුමක් තිබුණෙ නෑ. අපි ක්ෂේත්‍රයට එන කාලෙ මාධ්‍යවලින් අපිට ලොකු සපෝට් එකක් ලැබුණ. නමුත් මෑත කාලයෙ සමහර මාධ්‍යවලිනුත් අපිට කිසිම සහයෝගයක් ලැබුණෙ නෑ. මම ගොඩක් දුරට උත්සාහ කරන්නෙ හරවත් දෙයක් ජනතාවට දෙන්න. ඉතින් මාධ්‍යයෙනුත් සපෝට් එකක් නැති නිසා මම අලුත් නිර්මාණ කරන්න වැඩිපුර උනන්දු වුණේ නෑ.
ඔබ කියන්නෙ මාධ්‍ය ප්‍රවීණ කලාකරුවන්ව අමතක කරල කියලද?
නෑ. එහෙම දෙයක් නෙමෙයි මම අදහස් කළේ. මෙතන වෙලා තියෙන ප්‍රධානම දේ තමයි ප්‍රවීණ අයගෙ හොඳ නිර්මාණ එළිදක්වන්න ඔවුන්ට අවස්ථාවක් නොලැබීම. කාලෙන් කාලෙට එන රැලි නිසාත්, බිස්නස් නිසාත් තමයි මේ තත්ත්වය අද තිවෙලා තියෙන්නෙ.
එදා රෙකෝඞ්බාර්වලින් අමාරුවෙන් කැසට් පටයක් අරන් ඇහුවට අද සමාජ මාධ්‍ය ඇතුළු නොයෙක් මාධ්‍ය ඔස්සේ ඕන තරම් සින්දු ඇහීමේ හැකියාව හා නිර්මාණකරුවන්ට ඒවා රසිකයන්ට වෙත ගෙනයෑමේ හැකියාව තියෙනව. එදයි, අදයි වෙනස ගැන මොකද හිතෙන්නෙ?
මම හිතන්නෙ ෆේස්බුක්, යූටියුබ් විවුස් මත කලාකරුවෙක්ට පවතින්න බෑ. ගායකයෙක් නම් මිනිස්සු අතරට ගිහිල්ල සින්දු කියල, ඔවුන් එක්ක ගැවසිලා, ඔවුන්ගෙ හදවත දිනාගන්න ඕනෙ. අද තාක්ෂණයත් එක්ක නිර්මාණ මුළු ලෝකෙටම දෙන්න අවස්ථාව නිර්මාණකරුවන්ට ලැබිල තියෙනව තමයි. ඒක මම නැහැ කියන්නෙ නැහැ. නමුත් අපි ආපු කාලෙ අපේ කැසට් රෙකෝඞ්බාර්වල, හන්දි ගානෙ ඇහෙන්න ගත්ත. ගායකයෙක් කැසට් පටයක් නිකුත් කරාම ඒක කිසිදු බේදයක් නැතිව ලංකාව පුරාම පැතිරිලා ගියා. අපිට කලින් හිටපු ජ්‍යෙෂ්ඨ ශිල්පීන් අරගෙන ආපු දේම තමයි අපිත් ඉස්සරහට ගෙනගියේ. අපි එන කාලෙ තිබ්බෙ කැසට් රැල්ල, ඊට පස්සෙ සී.ඩී. රැල්ල ආව. දැන් ෆේස්බුක්, යූටියුබ්වලට ඒ ඉල්ලුම ඇතිවෙලා තියෙනව. නමුත් අපි සීඩී එකක් එළියට දාපුවම ඒකෙන් සින්දු හතරක් පහක් ඉතාමත් ජනප්‍රිය වුණා. අනිත් සින්දු ජනප්‍රිය නොවුණට ඒවත් මිනිස්සු අතරට ගියා. නමුත් මේ සමාජ මාධ්‍ය ප්‍රචලිත වීමත් එක්ක ඒ තත්ත්වය අද වෙනස් වෙලා තියෙනව.
තරුණ ශිල්පීන් ජ්‍යෙෂ්ඨ ශිල්පීන්ගෙ ගීත අනුකරණය කිරීම ගැන ඔබේ අදහස මොකක්ද?
දැන් ඔය ගොඩක් ප්‍රචලිත වෙලා තියෙන ‘කවර්’ කියන සංකල්පයට මම කොහෙත්ම කැමැති නෑ. ඕව යූටියුබ් එකේ මුලද් හෙවීමේ පරමාර්ථයෙන් කරන දේවල්. ඒකෙන් වෙන්නෙ මුල් ගායකයගෙ අනන්‍යතාවය වෙනස් වෙන එක. ඔවුන්ගෙ අවසරයක් නැතිව එහෙම කරන්න කාටවත් අයිතියක් නෑ. නිර්මාණයක් කියන්නෙ හරියට තමන්ගෙ ළමයෙක් වගේ. ඒව වෙනස් කරල ගායනා කිරීම මුල් ගායකයට කරන ලොකු අසාධාරණයක්. මම ජීවත් වනතුරු මගේ නිර්මාණවලට නම් කාටවත් අත තියන්න දෙන්නෙ නෑ. මම කියන්නෙ අලුත් අය අලුත් දේවල් කරන්න ඕනෙ. පරණ දේවල් ආයෙත් ආයෙත් කරන එකේ තේරුමක් නැහැ.
නමුත් නවක ශිල්පිනියක් ඔබේ ගීත ගයනා කරනව අපි දැක්ක?
එතන වුණේ වෙනස් වැඩක්. මගේ රසිකයන් ෆේස්බුක් ඔස්සේ ගොඩක් ඉල්ලීම් කරනව මගෙත් එක්ක සින්දුවක් කියන්න, අපිත් එක්ක සින්දුවක් කියන්න එන්න කියල. විශාල වශයෙන් ඔය විදිහට එක එක වයස්වල අය ඉල්ලීම් කරනව. ඉතින් ඒ විදිහට කරපු ඉල්ලීමක් අනුව තමයි ඒ ශිල්පිනිය මගේ ගීත ගායනා කළේ. ඒ විදිහට තව හොඳ කෙනෙක් මගෙන් ඉල්ලීමක් කළත් මම ඒක සලකා බලනව.
ඔබේ ඉදිරි සංගීතමය වැඩ කටයුතු ගැන කතා කළොත්?
ඇත්තටම මගේ ලොකු හීනයක් තියෙනව නැවැතත් ගීත කීපයක් එකතු කරල සීඩී එකක් කරන්න. නමුත් දැන් තියෙන තත්ත්වයත් එක්ක එහෙම කාලයක් කවද එයිද දන්නෙ නෑ. කොහොම වුණත් මම මේ ක්ෂේත්‍රයෙන් අයින් වෙනකොට මගේ ජනප්‍රිය ගීත එකතු කරල සීඩී එකක් කරල, මගේම ෂෝ එකකුත් කරල ඉවත් වෙන්න තමයි හිතාගෙන ඉන්නෙ.
ඉන්දික වික්‍රමරත්න











