මගේ හීනෙ හැබෑ වුණා…
රඟපානවට Boy friend කැමැති නෑ…
ටෙලිනාට්‍ය කලාවට අලුත් කලාවක් එකතු කරමින් පැමිණි මිනි සීරියස් ටෙලිනාට්‍යයක් ලෙසට ‘පොදු’ ටෙලිනාට්‍ය හඳුන්වන්නට පුළුවන්. ඉතින් මේ ‘පොදු’ ටෙලිනාට්‍යයේ ජනප්‍රිය ශිල්පීන් සමඟ නවක ශිල්පීන් රැසක් රඟපානවා. ඒ සිහින තරු අතර කාගෙත් ආදරය දිනාගත්ත නිලූ ගැන ගොඩදෙනෙක් හොයන්නට පටන්ගත්තා කවුද මේ කෙල්ල කියලා. හැමදාමත් අලුත් දේවල් ගේන ‘මව්රට’ ජාතික පුවත්පත ඒ කෙල්ල හොයාගත්තේ ඔබට ඇය ගැන කියන්නට. ඇය තමයි ලහිරුණි සල්වතුර.
ලහිරුණි කතාව මුලපුරන්නට කලින් අපි කැමැතියි මුලින් ඔබ ගැන දැනගන්නට?
මම ලහිරුණි සල්වතුර. මගේ ගම්පළාත් මීගොඩ. දැනට වැලිසර තමයි ඉන්නේ. මගේ පවුලේ විස්තර විදියට කෙටියෙන් කිවුවොත් මට තව නංගිලා දෙන්නෙක් ඉන්නවා. අම්මයි, තාත්තයි සමඟ අපේ පවුල සතුටින්, විනෝදයෙන් ජීවිතය ගතකරනවා.
ඒ සතුට දැන් දෙගුණවී කාලය ගෙවී යනවා ඇති නේද?
ඔව්… ඉතින් ජීවිතයේ කවදාවත් නොසිතපු මොහොතක මගේ සිහිනය සැබෑ වුණා. කවදාවත් හිතුවේ නැහැ මේ තරම් ඉක්මනට තාරකාවියන් අතරට මමත් එකතු වෙයි කියලා. මේ සියල්ලටම හේතුව මේ දවස්වල විකාශය වන පොදු ටෙලිනාට්‍ය ‘නිලූ’ට ලැබෙන ප්‍රතිචාරත් එක්ක තමයි.
ඉතින් ඔබව දැන් ගොඩදෙනෙක් දන්නේ ‘නිලූ’ විදියටයි. මේ වරම ලැබුණු විදිය දැනගන්නට කැමැතියි?
මෙහෙමයි, මගේ හොඳම යෙහෙළියක් ඉන්නවා ඔමාලි කියලා. එයා හරහා උදේශ් කුමාර අයියාව දැනහඳුන ගන්න ලැබුණා. උදේශ් අයියාගේ මඟපෙන්වීම යටතේ තමයි මට ‘පොදු’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂිකා ශර්මිලා ධර්මරාෂව දැනහඳුන ගන්න ලැබුණේ. ඉතින් පොදු ටෙලිනාට්‍යයේ සම්මුඛ පරීක්ෂණයට එන්න කියලා මටත් කිවුවා. සති කිහිපයකට පසු මට දුරකතන ඇමැතුමක් දීලා එතුමිය කතා කරලා කිවුවා ‘පොදු’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට මාව තෝරාගත්තා කියලා.
ඉතින් ඊට පස්සේ?
මම හිතුවෙත් මාව තෝරා ගනීවි කියලා. ඒ වදන් පෙළ මට ඇසුණු විට පුදුමාකාර සතුටක් දැනුණේ. විශේෂයෙන්ම ‘දෙරණ’ රූපවාහිනී නාලිකාවේ විකාශය වන ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයක් මට රඟපාන්න ලැබීමත් ලොකු පිනක් කරලා ඇති. මේ තරම් ජනතා ආදරයක් මම අද ලබන්නේ ඒ නිසාමනේ. ඔය විදියට තමයි මම ‘නිලූ’ බවට පත්වුණේ.
එතකොට ගුවන් සේවිකාවක් වීමට සිහින දැකපු ඔබ ඒ සියල්ල අතහැර රඟපෑමට යොමුවෙන්නද හදන්නේ?
මම ගුවන් සේවිකාවක් විදියට අවුරුදු දෙකක් විතර වැඩ කරගෙන ගියා. ඒත් මගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් වන නිසා ටික කාලයකට මම ගුවන් සේවයෙන් ඉවත්වෙලා ඩිග්රියේ වැඩකටයුතු කළා. දැන් මගේ අධ්‍යාපන වැඩකටයුතු ඉවරයි. ගුවන් සේවයට යන්න හිටියත් මේ කොවිඞ් ප්‍රශ්න නිසා මේ කාලවකවානුවේ යෑමට අපහසුයි. රැකියාවක් සොයමින් ඉන්න අතරතුර තමයි මට ‘පොදු’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණේ.
රඟපාන්න යනවාට පෙම්වතාගෙන් විරුද්ධත්වයක් ආවාලු නේද?
ඔව්… ඉතින් මම මේ විස්තර ටික කිවුවාම ඔහුගේ ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් මම හැමදේම තේරුම් කරලා ඔහුට පැවැසුවා. ඉතින් මාව තේරුම් ගෙන මගේ පෙම්වතාගෙන් වගේම පවුලේ අයගෙනුත් අවසර ලැබුණා. විශේෂයනේ මගේ මවුපියන් මට විරුද්ධ වෙන්නැහැ. ඔවුන්ට හොඳ අවබෝධයක් වගේම මම ගැන විශ්වාසයක් තිබෙන නිසා. මට සම්පූර්ණම නිදහස දීලා තියෙන්නේ.
‘පොදු’ ටෙලිනාට්‍යයේ සියලුම ශිල්පීන් මෙහෙයවන්නේ ගැහැනියක්. ඔබට එය ගැන යමක් කිවහැකිද?
අනිවාර්යයෙන්ම, මොකද මේ ක්ෂේත්රයේ නිර්මාණකරණ වැඩවල වැඩිපුරම වැඩකටයුතු කරන්නේ පිරිමි අය තමයි. ඉතින් මගෙත් වාසනාවට එතුමිය සමඟ වැඩකරන්න ලැබීම සතුටක්. මොකද ගැහැනියකට, ගැහැනියක් තේරුම් ගැනීම පහසු නිසා. කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරන්න පුළුවන් වුණා. මම හිතන්නේ ‘පොදු’ ටෙලිනාට්‍යයට සියලුම ශිල්පීන්ගෙන් ලැබුණු සහාය වගේම ගැහැනියක් සියල්ල කරටගෙන වැඩ කිරීම නිසා තමයි මේ නිර්මාණය සාර්ථක වීමේ රහස.
ලැබෙමින් පවතින ජනප්‍රියත්වය නිසා නිර්මාණවලින් අඩුවක් නැතුව ඇති නේද?
ටෙලිනාට්‍ය දෙකකින් ආරාධනා ලැබුණා. මෙගා ටෙලිනාට්‍යවලින් තමයි කතා කළේ. මගේ වැඩකටයුතුවලට බාධාවක් නොවන විදියට වැඩ කරගෙන යනවා. සන්දෙශ් බණ්ඩාර රූප රචනා කරන ලද ‘පාට පාට ආදරේ’ මියුසික් වීඩියෝ එකේ රඟපෑවා. ළඟදීම එය දැකබලා ගන්නට පුළුවන් වෙයි මගේ ආදරණීය රසික රසිකාවියන්ට.
වසන්ත විතාරණගේ











