මගේ පණ පුතා…
රඟපාන්න කවද වුණත් පුළුවන්…
මෙගා ටෙලිනාට්‍ය කලාවේ මුල් පුරුකක් වන වසූදා ටෙලිනාට්‍යයේ මොරීන්ගේ චරිතයට ජීවය දෙමින් ටෙලිනාට්‍ය කලාවට අවතීර්ණ වූ ඇය ගයත්‍රි රාජපක්ෂ. ඉන්පසු ඇය ටෙලිනාට්‍ය රැසක රඟපාමින් කාගෙත් සිත් ඇදබැඳ ගත්ත පුංචි සිත්තරාවියක් බවට පත්වුණා. ඒත් ඇය පසුකාලීනව ටෙලිනාට්‍යවල දකින්නට හිටියේ නැහැ. ඉතින් ඇය මේ කොරෝනා වසංගතයත් එක්ක නැවැත ලංකාවෙන් යෑමට බැරිව ඉන්නවා. ඇයගේ ඉදිරි වැඩකටයුතු කොයි වගේද කියලා දැනගැනීමට අපි ඇයට කතා කළේ මේ විදියටයි.
ගයත්‍රි ඉතින් කොහොමද?
කොරෝනා වසංගතයෙන් බේරීගෙන ගෙදරටම වෙලා ඉන්නවා.
කොරෝනාත් අරගෙනද ලංකාවට ආවේ?
අපෝ නැහැ. මම මාර්තු මාසයේ තමයි පුතාත් සමඟ ලංකාවට ආවේ. ඒ ආපු ගමන ඉතින් තවම විදේශ ගතවීමට බැරිවුණා. මේ ප්‍රශ්නත් එක්ක දැනට මට යාගන්න බැරිවෙයි.
කලාවෙන් ඈත්වෙලාද විදේශීය රටක ජීවත් වීමට ගියේ?
අනේ නැහැ. මගේ සැමියාත් ඕමාන්වල ව්‍යාපාර කටයුතු නිසා ගියා. මොකද අපි බැඳලා දෙන්නා රටවල් දෙකක ජීවත් වෙලා වැඩක් නැහැනේ. ඉතින් ඔහුට ශක්තියක් මම. මට ශක්තියක් සැමියා. අපේ පණ පුතා. අපි පවුලක් විදියට ඕමාන්වල ජීවත් වෙනවා. පුතා පෙර පාසල් යන්නෙත් ඕමාන්වල. කලාවට මම හැමදාමත් ආදරෙයි. මම කොහෙ ජීවත් වුණත් අපේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ නරඹනවා.
ඔබ විදේශගත වීමත් එක්ක නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද?
අපෝ ඕන තරම් ආරාධනා ආවා. මම කොහෙ හිටියත් මට නිර්මාණවලින් ආරාධනාවලින් අඩුවක් නැහැ. හැබැයි ඉතින් මට තිබෙන එකම ප්‍රශ්නය නිර්මාණයක් වෙනුවෙන් ලොකු කාලයක් වැය කිරීමට අපහසු ප්‍රශ්නය තමයි. මොකද පුතා වෙනුවෙන් මම උපරිම කාලය යොදවන නිසා.
මේ සිටින කාලසීමාව තුළවත් නිර්මාණයකට සම්බන්ධ වීමට අදහසක් නැතිද?
ටෙලි චිත්‍රපටයකට සම්බන්ධ වීමට ආරාධනාවක් කළා. ඉදිරියෙදි බොහෝදුරට සම්බන්ධ වෙයි. මෙගා ටෙලිනාට්‍යයකට සම්බන්ධ වීමට ආසාවක් තිබුණත් ඒ වෙනුවෙන්ම ලංකාවේ ඉන්න බැහැ පුතාගේ අධ්‍යාපන කටයුතු නිසා.
හැබැයි ඉතින් ගයත්‍රි කට්ට කාල ඇවිත් ඇගයීමකටත් ලක්වෙලා. ඒ සියල්ලම වතුරේ ගියා නේද?
මෙහෙමයි ඉතින්. ඒ හැමදේටම වඩා පවුල් ජීවිතය වටිනවා. මම අවුරුදු හතරකින් විතර රඟපෑවේ නැහැ. අවසාන වරට මම රඟපෑවේ ඔබද මාද විය ටෙලිනාට්‍යයේ. ටෙලිනාට්‍යයේ අවසාන කාලවකවානුවේ මම රූපගත කිරීම්වලට ගියේ පුතාව බඬේ තියාගෙන තමයි. මම ඒ කරපු කැපවීමට අවසානයේ නැඟී එන නිළියට සම්මාන මට හිමිවුණා. මම ඒ ලබපු පළමු සම්මානය. හැබැයි ඒ සියල්ලටම වඩා මට මගේ පුතාව වටින නිසා කලාවට කෙටි කාලයක විරාමයක් තිබ්බා. රඟපාන්න එන්න කවදා වුණත් පුළුවන්. ඒත් එක දෙයක් නිසා තව පැත්තක් අවුල් වෙනවාට මම කැමැති නැහැ. දැන් ඉතින් මට කිසි ප්‍රශ්නයක් නැතුව කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න පුළුවන් පුතා ලොකු නිසා.
අපි එදා දැකපු ගයත්‍රිගේ සුන්දරත්වය එලෙසමද?
අනේ එහෙම කියන්න දන්නැහැ ඉතින්. වෙනසක් නැහැ. වෙනසකට තියෙන්නේ මගේ දිගට තිබුණ කොණ්ඩය අඩු වුණ එක තමයි.
වසන්ත විතාරණගේ











