මේක තමා උඹේ පාර ඒ පාරෙ පලයන්…
වේදිකාවේ හඬ අවදි කරමින් තම සහජ හැකියාවන් වේදිකාවේ ප්‍රතිනිර්මාණය කරමින් සම්මාන පිට සම්මාන දිනාගත් සුවිශේෂී නවක රංගන ශිල්පියෙක් තමයි රන්දික ගුණතිලක කියන්නේ. ඔහු මේ වන විට ටෙලිනාට්‍ය
රැසකට වගේම සිනමා නිර්මාණ රැසකටද ඔහුගේ දායකත්වය ලබාදී නිහඬව සිටින කාලවකවානුවක ඔහු සමඟ කෙටි කතාබහක යෙදෙන්නට හිතුවා.
“අඩෝ” ඉතින් කොහොමද?
හොඳයි. හොඳයි.
මේ දවස්වල කොහොමද ජීවිතේ?
පසුගිය කාලසීමාවේ ටිකක් කාර්යබහුල වෙලා තමයි හිටියේ. ටෙලිනාට්‍ය, චිත්‍රපට එක්කම දවස ගෙවුණා. ඒ ගෙවුණ ජීවිතයත් එක්ක දැන් ගෙදරට වෙලා ඉන්නවා. අනික දැන් කොහෙවත් ඇවිදින්නත් බැහැ කොරෝනා ප්‍රශ්න නිසා. ඒ සියල්ලන්ගෙන්ම ආරක්ෂා වීමත් එක්ක අත්‍යවශ්‍ය දෙයකට පමණයි එළියට යන්නේ.
මුලින්ම ‘අඩෝ’ ටෙලිනාට්‍යයෙන් කතාව පටන්ගමු?
වේදිකා නාට්‍යයක පුහුණුවීම් කරන අතරතුර සුපුන් රත්නායක මට කතා කළා මචං මගේ ‘අඩෝ’ ටෙලි නාට්‍යයේ චරිතයක් තියෙනවා කරන්න කියලා. හිතුවටත් වඩා මම නිරූපණය කළ ඩිල් චරිතයට නොසිතූ ප්‍රතිචාර ලැබුණා. ඒ තරමට ‘අඩෝ’ ටෙලිනාට්‍යයට ගොඩදෙනෙක් ආදරය කළා. රයිගම් ටෙලි සම්මාන උළෙල නැඟී එන නළුවාට ඩිල් චරිතය වෙනුවෙන් මට සම්මාන ලැබුණා.
මේ දවස්වල ‘පොදු’ ටෙලිනාට්‍යයේ සුවිශේෂී රංගනයක් අපි ඔබගේ දකිනවා?
‘පොදු’ ටෙලිනාට්‍ය වෙනස්ම ටෙලිනාට්‍යය කලාවක්. මම කැමැති එය මිනි සීරීස් කතාවක් විදිහට හඳුන්වනවාට. ශර්මිලා ධර්මරාෂ තමයි එය අධ්‍යක්ෂණය කරන්නේ. මම මෙයට පෙර මෙවැනි චරිතයක් කරලා නැහැ. ඒ චරිතයට මාව තෝරාගැනීම සඳහා මම සියලුදෙනාට ස්තුතිය පුද කරනවා. ‘පොදු’ ටෙලිනාට්‍යයේ මම ආදි ලෙසට තමයි රඟපාන්නේ. මට එය තුළ අවදීන් තුනක රංගනයක් තමයි නිරූපණ කිරීමට සිදුවන්නේ. ආදිගේ පාසල් කාලය, විශ්වවිද්‍යාල අවධිය වගේම ආදි රැකියාවන් කරන අවධිය ඔය විදියට තමයි ආදි ‘පොදු’ නිර්මාණයේ වැඩ කරන්නේ. ඔය අතර අඩදබර එක්ක ආදි ජීවත් වෙනවා. ආදි වෙනුවෙන් මගේ බාහිර ස්වරූපය පවා වෙනස් කිරීමට සිදුවුණා.
රන්දික නළුවෙක් වුණේ අහම්බෙන් නේද?
ඇත්තටම ඔව්. කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ මම උසස් අධ්‍යාපනය හැදෑරුවා. ඔය කාලයේ මම ලොජික් විෂය තමයි හැදෑරුවේ. ඉතින් පසුකාලීනව ලොජික්වලට අකමැති නිසා මම කළේ පාසලේ පුස්තකාලයට වෙලා ඉන්න එක. ඔය අතර තමයි ඩ්‍රාමා සර්ගේ ඉල්ලීම පරිදි ඩ්‍රාමා ඉගෙන ගත්තේ. උපාලි සපුතන්ත්‍රි සර්ගේ මඟපෙන්වීම යටතේ මම විශ්වවිද්‍යාලයට ගියා ඩ්‍රාමා සඳහා. ඉතින් ඔය විදියට නොසිතූ මොහොතක මම නළුවෙක් වෙලා ඉවරයි.
ඒ තබපු පියවරෙන් පියවර ඇගැයීමට ලක්වුණා නේද?
2014 යෞවන නාට්‍ය උළෙලේ හොඳම නළුවාට සම්මාන ලැබුණා. මට මගේ දක්ෂතාව දැකපු මගේ හිතවතුන් කිව්වේ මේ තමා උඹේ පාර. ඒ පැත්තෙන්ම ඉදිරියට යන්න කියලා. ඔය විදියට මම වේදිකාවේ සම්මාන දිනා ගත්තා අඛණ්ඩව වේදිකා නාට්‍යවල විවිධ චරිත නිරූපණය කරලා.
වේදිකාවෙන් සිනමා තරුවක් බවට පත්වී හමාරයි. මොකද හිතෙන්නේ?
සතුටක් තමයි. හැබැයි නිකම් සතුටක් නෙමේ. සම්මාන එක්ක ආපු ගමනක තමයි මම ඉන්නේ. හැබැයි වේදිකාවේ කරපු රඟපෑම කැමරාවක් ඉදිරියේ අපට කරන්න බැහැ. ඒ මාධ්‍යයන් දෙක හොඳට තේරුම්ගෙන තමයි වැඩ කිරීමට සිදුවන්නේ. වේදිකාව මට රංග තක්සලාවක් වුණා. ඒ ලබපු අධ්‍යාපනය මට යම් ශක්තියක් වුණා කියන්න මම කැමැතියි.
වේදිකාවට සම්බන්ධ වෙන්න බැරි තරමට ඔබ කැමරාවට හිරවෙලා වගෙයි?
තිබෙන වැඩ කටයුතුත් එක්ක වේදිකාව වෙනුවෙන් මට ලොකු කාලයක් කැප කරන්න අපහසුයි. හැබැයි මම වේදිකාව අමතක කරලා නැහැ. එයින් ලබන තෘප්තිය කැමරාවක් ඉදිරියේ ලබන්න බැහැ.
ඉස්කෝලෙ ඉඳන් රන්දික ආදරය හොයන්න පෙරුම්පිරුවා නේද?
මම නවය වසරේ ඉඳලා ආදර හොයන්න පටන් ගත්තා. හැබැයි ඉතින් තවම ආදරයක් නැහැ. තවමත් ආදරය හොයනවා. මම ඉතින් දැන් මටම ආදරය කරනවා.
ජනප්‍රිය රංගන ශිල්පිනියක් සමඟ බැඳුණු ආදර කතාව වසංකරනවාද?
එහෙම ආදරයක් තියෙන්න එපැයි කියන්න. හැබැයි මම මේ ක්ෂේත්‍රයේ රංගන ශිල්පීන් සියලුදෙනාට ආදරය කරනවා. ඔවුන් මට ආදරය කරනවා සේම මමත් ඒ සියලුමදෙනාට ආදරය කරනවා. මම කලින් කියූ පරිදි මට ආදරය කරන්න තව කවුරුත් අවශ්‍ය නැහැ දැන්ම.
ඔබ දැන් වෘත්තීය රංගන ශිල්පියෙක් ලෙසට තමයි කටයුතු කරන්නේ. සෑහීමකට පත්විය හැකිද?
මොකද බැරි. මේ ක්ෂේත්‍රය අනිකුත් වෘත්තීන් වගේම වෘත්තියක්. කරන දේ හරියට කළොත් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වෘත්තිය එක්ක ඉදිරියට යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. රංගන වෘත්තිය කියන්නේ උතුම් වෘත්තියක්. ඒක රැකගැනීම අපි සියලුදෙනාගේ වගකීමක්.
වසන්ත විතාරණගේ











