මේනකා මධුවන්ති කියන්නේ කෙටි කාලයක් ඇතුළත බොහෝ දෙනාගේ ආදරය දිනා ගත්ත රංගන ශිල්පිනියක්. ඇය රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍ය වගේම චිත්‍රපටත් අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණා. නමුත් මේ වෙද්දි ඇය සම්පූර්ණයෙන්ම රංගනයෙන් සමු අරගෙන. ඒකට හේතුව දැන ගන්න වගේම ඇගේ අලුත් විස්තර දැන ගන්නත් එක්ක අපි ඇයට කතා කළා.
මේනකා කලා කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා කියලා ආරංචියක් ආවා. ඒක ඇත්තද?
ඔව්. මම සැලුන් එකක් පටන් ගත්තා. ඒකට මුල්තැන දීලා ඒක දියුණු කරගන්න ඕනෑ කියලා මට හිතුණා. ඒ හින්දා රඟපාන එක නැවැත්තුවා.
මේ තීරණය අරගෙන දැන් කොච්චර කල්ද?
දැන් අවුරුදු එකහමාරක් දෙකක් වෙනවා.
බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියකට මේ වගේ රංගනයෙන් ඈත් වෙලා ඉන්න පුළුවන්ද?
මෙහෙමයි. රංගන ශිල්පිනියක් විදියට කාලයක් කලා කටයුතුවල නිරත වුණා. ඊට පස්සේ ඒක ඇති කියලා මට හිතුණා. අනෙත් එක රූපලාවණ්‍ය ගැන මගේ ලොකු ආශාවක් තිබුණා. මම ඒක ගැන හැදෑරුවා. ඉතිං ඒ පැත්තට යොමු වෙන්න ඕනෑ කියලා මට හිතුණා.
>එකපාරටම රංගන කටයුතුවලින් ඈත් වෙද්දී කනගාටුවක් දැනුණේ නැද්ද?
අපි මිනිස්සු විදියට එහෙම කනගාටුවක් දැනුණේ නැහැ කිව්වොත් ඒක වැරැදියි. අපි කලාවේ නිරතවෙලා ඉඳිද්දී කාලය යනවා තේරෙන්නේ නැහැ. ඇත්තටම අපේ සමහර ප්‍රවීණයන් දිහා බලද්දී වයසට ගියාම ඒ අයට මොකුත්ම නැති තත්ත්වයක් දකින්න තියෙන්නේ. හැබැයි අපේම කියලා ව්‍යාපාරයක් දියුණු කර ගත්තොත් කවදා හරි ඒක අපිට ඉතිරි වෙනවා.
ඒකෙන් කියවෙන්නේ ලංකාවේ කලාකරුවන්ගේ අනාගතය අවිනිශ්චිතයි කියන එක නේද?
ඇත්තටම ඔව්. ලංකාවේ කලාකරුවන්ට නිසි පිළිගැනීමක් නැහැනේ. වයසට ගියාම මොකුත්ම නැතිව දුක් විඳින කලාකරුවෝ රාශියක් අපේ රටේ ඉන්නවනේ. මේ වගේ තීරණයක් ගන්න ඒකත් හේතුවක් වුණා කිව්වොත් හරි.
අපි ඔබේ කලා කටයුතු ගැන පොඞ්ඩක් මතකය අවදි කරමු. ටෙලිනාට්‍ය සහ චිත්‍රපට අතුරින් වැඩිම ප්‍රතිචාර ලැබුණේ මොනවටද?
සඳුන් රාජකරුණාගේ ඡායා ටෙලිනාට්‍යයෙන් තමයි බොහෝ අය මාව හඳුනා ගත්තේ. ඒකට ලැබුණු ප්‍රතිචාර තවමත් ඒ විදියටම තියෙනවා. ඒ වගේම හර්ෂ උඩකන්දගේ කොළඹ සන්නිය රිටර්න්ස් චිත්‍රපටයටත් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා.
කලා ලෝකයට අවතීර්ණ වුණු විදිය ගැනත් පොඞ්ඩක් මතක් කරමු නේද?
සිරස ඩාන්සින් ස්ටාර් වැඩසටහන හරහා තමයි මට ඒ අවස්ථාව උදා වුණේ. එතැනින් පස්සේ තමයි රංගන ශිල්පිනියක් විදියට කටයුතු කරන්න අවස්ථාව හිමි වුණේ.
මේනකා මේ වෙද්දී නර්තනයටත් නැවතීමේ තිත තියලද?
ඔව්. ජීවිතයේ එක එක දේවල් කරන්න ඕනෑ කාලයක් තියෙනවනේ. නර්තනයත් එහෙමයි. ඒ කාලෙදි ඒවා කෙරුවා. ඒ කාලේ දැන් ඉවරයි කියලයි මම හිතන්නේ.
රංගනය සහ ව්‍යාපාර කියන දෙකම සමබරව පවත්වාගෙන යන ශිල්පිනියන් ගැන උදාහරණ අපේ රටේ තියෙනවා. මේනකාත් ඒ වගේ අනාගතයේදී කලාව එක්ක නැවත එකතු වේවිද?
මම හිතන්නේ නැහැ. කලින් කිව්වා වගේ මට ඒක ඇති කියලා හිතලා තමයි මම මේ වැඬේ පටන් ගත්තේ. දැන් මම ඒකට හරිම ආසයි. මගේ ජීවිතේ ඉතිරි කාලේ රූපලාවණ්‍ය ශිල්පයත් එක්ක ගෙවිලා යාවි කියලයි මම හිතන්නේ.
අවසන් වශයෙන් ඔබට ආදරය කරන රසික රසිකාවියන්ට මොකක්ද කියන්න තියෙන්නේ?
මං රඟපාන එක නැවැත්තුවා කියලා දැන ගත්ත ගමන් බොහෝ දෙනෙක් එහෙම කරන්න එපා කියලා මගෙන් ඉල්ලුවා. කලාව එක්ක හිටිය කාලෙදි ඒ අයට මතක හිටින දෙයක් කෙරුව හින්දයි ඒ ආදරය තවමත් අපිට ලැබෙන්නේ. ඒ ගැන ඇත්තටම හරිම සතුටුයි.
චන්දන පොන්නම්පෙරුම











