කොළඹ මහාධිකරණය පැනවූ වසර තුනක සිර දඬුවම් හා දඩ නියම වී ඇප මත මුදාහැර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද (19) තීන්දු කළේය.
ඉකුත් 2015 ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම මගින් රජයට අයත් රුපියල් මිලියන 600ක මුදල් අවභාවිත කිරීම හා පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට මොවුන් වරදකරුවන් කර තිබිණී.
තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා පෙත්සම් පිළිබද තීන්දුව ලබා දෙමින් කුමුදුනි වික්රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
තමන්ට දඬුවම් නියම කර ඇති ආකාරයන් නීතියට පටහැනි බවත් තමාව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස්කරන ලෙසත් ඉල්ලමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරු විසින් මෙම අභියාචන පෙත්සම් ගොනු කර තිබිණි.
ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම හරහා රජයට අයත් රුපියල් මිලියන 600 ක මුදල් අවභාවිත කිරීම හා පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට විත්තිකාර අභියාචකයින්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා නඩු විභාගයක් පැවත්විණි.










