• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

එන්න එන්න භයානක ‘පොලිස් පොකුර’ මැද්දේ එන අලුත් පොලිස්පති

November 10, 2020
in CID, Exclusive
Reading Time: 4 mins read
A A
එන්න එන්න භයානක ‘පොලිස් පොකුර’ මැද්දේ එන අලුත් පොලිස්පති
Share on WhatsAppShare on Facebook

මෙරට ජන ජීවිතය මේ වන විටත් කොවිඞ් 19 වෛරසය ගිල ගනිමින් තිබේ. සෞඛ්‍ය අංශ ප්‍රමුඛ රජය වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට නොගන්නා වෙහෙසක් නොමැති තරම්ය. රටේ ජනතාව කොවිඞ් වසංගතයෙන් බේරා ගැනීමට නොපෙනන බලවේගයන්ගේත්, විශ්වාසයන්ගේත් පිහිට පැතීමට පවා රජයේ මැති ඇමතිවරු මුල්වී ඇත්තේ ඒ නිසා විය හැකිය. බෞද්ධ දර්ශනය හිස මත තබාගෙන මිත්‍යා විශ්වාසවලට පයින් ගසා සිටින ඇමතිවරයෙක් පවා මේ මොහොතේ නොපෙනන බලවේගයන්ගේ පිහිට කොවිඞ් 19 මර්දනයට ඉල්ලා සිටින්නේ මේ නිසාය. එසේම බටහිර වෛද්‍ය විද්‍යාවෙන් කොවිඞ් 19 මර්දනය කිරීම කෙසේ වෙතත් පාලනය කිරීමටවත් තවමත් නොහැකි වී ඇති නිසාදෝ බටහිර වෛද්‍යවරුන්ට කොවිඞ් 19 රෝගීන්ට ප්‍රතිකාර සදහා ආයුර්වේද නිෂ්පාදනයක් පවා හඳුන්වා දීමට රජය පියවර ගත්තේය. මේ වන විට කොවිඞ් ආසාදිත රෝගීන් ප්‍රතිකාර ගනු ලබන්නේ බටහිර වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේය. එබැවින් බටහිර වෛද්‍යවරු මේ වන විටත් එකී පැනිය නිල වශයෙන් රෝගීන්ට ලබාදීම ප්‍රතික්ෂේප කර හමාරය. ඒ වෘත්තීය ආචාර ධර්ම පද්ධතියට පටහැනි බව සඳහන් කරමිනි. එය එසේ වූවත් කොවිඞ් 19 වෛරසය ආසාදිතව අයි.ඩී.එච්. ඇතුළු රෝහල් ගණනාවකම ප්‍රතිකාර ලබා සුවය ලැබූ රෝගීන් නම් සදහන් කරන්නේ එම රෝහල්වලදී තමන්ට වැඩිපුරම ලැබුණේ කොත්තමල්ලි පානය කිරීමට බවය. කොත්තමල්ලි යනු බටහිර වෛද්‍ය විද්‍යාවේ ඹෟෂධීය පානයක් නම් නොවේ. එය දේශිය වෛද්‍ය ක්‍රමය මගින් යොදා ගන්නා ඹෟෂධීය පානයකි.

කොවිඞ් 19 වෛරසය ආසාදිත රෝගීන්ට සුවය ලබාදීම සදහා මෙසේ දේශිය වෛද්‍ය ක්‍රම පවා යොදා ගැනීමට මුල්වී ඇත්තේ පාලනයකින් තොරව ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති මෙම වෛරසය පාලනය කිරීමට හැකි ක්‍රමයක් සොයා ගැනීම වෙනුවෙනි. දේශීය හෝ බටහිර හෝ අදෘෂ්‍යමාන බලවේගයකින් හෝ මේ මොහොතේ කොවිඞ් 19 පැතිරයාම පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් සිදුවන්නේ රට අරාජික වීමකි. මේ වන විට මෙරටින් හමුවී ඇති කොවිඞ් 19 ආසාදිතයින් ගණන 12000 ද ඉක්මවා ගොසිනි. මරණ ගණනද 30 ඉක්මවා ගොසිනි. මේ ආසාදිතයින් ගණන පී.සී.ආර්. පරීක්ෂාවෙන් අනාවරණය වූ ප්‍රමාණයන් පමණි. පරීක්ෂාවට ලක්නොවූ මෙම ප්‍රමාණය මෙන් දෙතුන් ගුණයක් හෝ ඊට වැඩි ගණනක් කොවිඞ් 19 ආසාදිතයන් සිටිය හැකිය. ඒ අය නිරාවරණය නොවන්නේ අපේ රටේ ඇති සම්පත් ප්‍රමාණය අනුව දිනකට කළ හැකි පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය සීමා සහිත වන බැවිනි. දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 10000ක්වත් කිරීමේ හැකියාව තිබේ නම් කොවිඞ් ආසාදිත රෝගීන් ප්‍රමාණය සිතා ගැනීමටත් නොහැකි තරමේ ඉහළ අගයක් ගනු ඇත. ඒ බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද මේ වන විටත් අනතුරු හඟවා හමාරය. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ සදහා ලබාගෙන ඇති සාම්පල පවා පරීක්ෂාණාගාරවල ගොඩ ගැසී ඇති බවකි. මෙවන් තත්වයක් මත අතමිට සරු, යමක් කමක් ඇති පුද්ගලයින් සහ පුද්ගලික ආයතන හිමිකරුවන් සිය සේවකයින්ව පුද්ගලික රෝහල්වලට යොමුකරමින් පී.සී.ආර්. පරීක්ෂාවට යොමු කරන බවක් ද පෙනෙන්නට තිබේ. ඇතැම් පුද්ගලික රෝහල් රජයේ රෝහල්වල දිනකට කරන පී.සී.ආර්. ප්‍රමාණය ඉක්මවා කරන බවක්ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි. එහෙත් පුද්ගලික රෝහල්වලින් කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා රජයේ සෞඛ්‍ය අංශ පිළිගැනීමකට ලක්කරන්නේදැයි ඇත්තේ ගැටලුවකි. එය වඩාත් පිළිඹිඹුවන්නේ වත්තල පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවක කළමනාකරණය විසින් තම සේවකයින් පුද්ගලික රෝහලකට යොමුකරමින් කළ පී.සී.ආර්. වාර්තාවන්ට අනුව කොවිඞ් 19 වෛරසය සේවකයින් 41 දෙනෙකුට ආසාදනය වී ඇතැයි තහවුරු වූවත් රජයේ ක්‍රමවේදයට අනුව එම සේවකයින් නැවත පී.සී.ආර්. පරීක්ෂාවකට ලක්කර එහි වාර්තා ලැබෙන තුරු පුද්ගලික රෝහල් වාර්තාව පිළිනොගැනීම ඔස්සේය. මෙසේ පුද්ගලික රෝහලකින් කෙරෙන පී.සී.ආර්. පරීක්ෂාවක් සදහා වරකට වැය වන මුදල රුපියල් 8000කට වැඩිය. මේ වන විට මෙරට පුද්ගලික රෝහල් කිහිපයක්ම ඉහළ ආදායම් ලබන තැනකට පත්ව ඇත්තේ පී.සී.ආර්. පරීක්ෂාවන් ඔස්සේය.

පුද්ගලික රෝහල්වලින් කෙරෙන පී.සී.ආර්. ගැන මෙවන් සටහනක් තබන්නට සිදුවන්නේ මේ වන විට රජයේ මැති ඇමතිවරු, රජයේ ඉහළ තනතුරු දරන්නන් මෙන්ම ආරක්ෂක අංශවල ඉහළ නිලතල දරන්නන් රැසක්ම පුද්ගලික රෝහල්වලින් පී.සී.ආර්. පරීක්ෂාවක් කරගනිමින් සිටින බැවිනි. ඒ අය අතර පොලිසියේ නිලධාරීන් බොහෝය. ඊට මුල්වී ඇත්තේ මෙවර කොවිඞ් 19 දෙවැනි රැල්ලේදී වැඩිම හානියක් වෛරසය එල්ලකර ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියට වන බැවිනි. කොවිඞ් 19 පළමු රැල්ලේදී එකදු පොලිස් නිලධාරියෙක්ට වෛරසය ආසාදනය නොවී රැකගන්නට පොලිස් දෙපාර්තමේන්තුවට හැකියාවක් ලැබුණද මෙවර පොලීසිය කොවිඞ් 19 වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවීය. ඒ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය හරහා ව්‍යාප්ත වූ කොවිඞ් පොකුරෙන් පොලීසියට බේරීමට නොහැකි වූ බැවිනි.

ත්‍රිවිධ හමුදාව මෙන් නොව, පොලීසියේ නිලධාරීන් සිය ආහාර පාන තමන් විසින්ම සලසා ගත යුතුය. බොහෝ නිලධාරීහු සිය ආහාර පාන පොලිස් ස්ථානයේ ඇති භෝජනාගාරයෙන් ලබා ගැනීමට පුරුදුව සිටිති. අඩු මිලකට නිලධාරීන්ට ආහාර ලබාදීම සදහා භෝජනාගාර පාලක පොලිස් නිලධාරීහු තොග වෙළෙඳ සැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමට පුරුදුව සිටිති. කොළඹ සහ ඒ අවට සෑම පොලිස් ස්ථානයකම භෝජනාගාර පාලක පොලිස් නිලධාරීන් මාළු අවශ්‍යතාවන් සපුරා ගන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයෙනි. එසේම එළවළු අවශ්‍යතාව සපුරා ගන්නේ මැනිං වෙළෙඳ සංකීර්ණයෙනි. ඒ කීයක් හරි අඩුවෙන් මාළු සහ එළවළු ලබාගෙන නිලධාරීන්ගේ ආහාර වියදම අඩුකරලීම සදහාය.

පොලිස් භෝජනාගාරවලට එකරව මාළු කිලෝ සිය ගණනක් රැගෙනවිත් ගොඩ ගසන්නේ නැත. දෛනිකව පෑලියගොඩට ගොස් එදිනෙදා අඩු මිලට ඇති මාළු මිලදී ගැනීම සිදුකරති. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කොවිඞ් පොකුර මතුවන විට කොළඹ සහ ඒ අවට පොලිස් ස්ථානවල භෝජනාගාර පාලකවරුන් මෙන්ම පොලිස් නිවස්නවල කළමනාකරුවන් රැසකටම කොවිඞ් වෛරසය ආසාදනය වී තිබුණේය. ඒ අතර නිලධාරීන් 1700ක් පමණ සේවයේ නිරතව සිටින බම්බලපිටිය පොලිස් කේෂ්ත්‍රබලකා මූලස්ථානයේ භෝජනාගාර පාලකවරයාද කේෂේත්‍ර බළකා මූලස්ථානයට අනුයුත්තව කොළඹ කොටුවේ පිහිටි පොලිස් පරීක්ෂකවරුන්ගේ නිවස්නයේ කළමනාකරුද සිටියේය. කේෂේත්‍ර බළකා මූලස්ථානයේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයසිරි කොඩිතුවක්කුත්, නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වාත් පෑලියගොඩ කොවිඞ් පොකුර මතුවීමත් සමග මුලින්ම කරන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ගොස් මාළු මිලදී ගැනීම්වල නිරත වූ නිලධාරීන් හඳුනා ගෙන ඒ අය සෙසු නිලධාරීන්ගෙන් වෙන්කර තැබීමය. එම නිලධාරීන්ව පී.සී.ආර්. පරීක්ෂාවකට යොමු කෙරෙන්නේ දින කිහිපයකට පසුවය. එම පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන්නට තවත් දින කිහිපයක්ම ගත විය. ඊට අනුව පෑලියගොඩින් මාළු ගන්නට ගිය දෙදෙනෙකුටම කොවිඞ්ය. අනතුරුව ඒ අයගේ ආශ්‍රිතයින් 56 දෙනෙක් පී.සී.ආර්. පරීක්ෂාවකට ලක්කළේය. ඒ කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොතිබුණේ වාසනාවකටය. 1700ක් නිලධාරීන් සේවයේ නිරත ක්ෂේත්‍ර බළකා මූලස්ථාන කොවිඞ් වෛරසයෙන් එසේ රැකෙන්නේ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයසිරි කොඩිතුවක්කු යන නිලධාරීන් දෙදෙනා අවශ්‍ය මොහොතේ දුරදිග බලාගත් මත්ස්‍ය වෙළද සංකීර්ණයට ආගිය නිලධාරීන් සෙසු නිලධාරීන්ගෙන් හුදෙකලා කිරීම නිසාය. එසේ නොවන්නට අද පොලීසියේ ලොකුම කොවිඞ් පොකුර නිර්මාණය වී තිබෙන්නේ කේෂත්‍ර බළකා මූලස්ථානයේය.

පොලිස් කේෂත්‍ර බළකා මූලස්ථානයේ බලධාරීන් එසේ ක්‍රියාකළාට කොළඹ ඇතුම් පොලිස් ලොක්කන්ගේ ක්‍රියා කලාප හේතුවෙන් මේ වන විට කොවිඞ් පතුරුවන කේන්ද්‍රස්තාන බවට ඇතැම් පොලිස් ස්ථාන පත්ව තිබෙන බව සෞඛ්‍ය අංශ පවා මේ වන විට හඳුනාගෙන හමාරය. ඒ අතර බොරැල්ල පොලිස් ස්ථානය ඉදිරියෙන්ම සිටී. මේ වන විට බොරැල්ල පොලීසියේ නිලධාරීන්ගෙන් වැඩි පිරිසකට කොවිඞ් 19 වෛරසය ආසාදනය වී හමාරය. එම ගණන 65 ඉක්මවා ගොසිනි. මේ තත්වයට හේතුව පෑලියගොඩින් කොවිඞ් පොකුර මතුවන මුල් අවස්ථාවේදීම බොරැල්ල පොලීසියේ නිලධාරීන්ව පී.සී.ආර්. පරීක්ෂාවකට යොමු නොකිරීමය. පෑලියගොඩ කොවිඞ් පොකුරට නිරාවරණය වූ’නිලධාරීන් ගැන කොළඹ ඇතැම් පොලිස් ලොක්කන්ට මතකයට නැගෙන්නේ පොලිස් නිලධාරීන් බුරුතු පිටින් කොවිඞ් ආසාදනයට ලක්ව ඇතැයි පී.සී.ආර්. පරීක්ෂාවන්වලින් මතුවන්නට පටන් ගැනීමත් සමගිනි. බොරැල්ල පොලීසියේ නිලධාරීන්ගෙන් පළමුව පී.සී.ආර්. පරීක්ෂාවට ලක්කරනුයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ගොස් මාළු මිලදී ගැනීම්වල නිරතවූ භෝජනාගාර නිලධාරියාය. ඔහුට කොවිඞ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි එම පරීක්ෂණ වාර්තාවෙන් තහවුරුවන විට බොරැල්ල පොලීසියේ වැඩි දෙනෙක් එම ආසාදිතයාට නිරාවරණය වී තිබුණේ අනතුරක පෙරනිමිති පෙන්වමිනි. ඒ යැයි කියා සතියක් ඉක්ම යන තුරුම එම ආසාදිතයාගේ සමීපතයින් වෙන්කරමින් පී.සී.ආර්. පරීක්ෂාවකට යොමු කළ බවක් නම් දැනගන්නට නැත. ඒ අය රැඳී සිටියේ සෙසු නිලධාරීන් සමග එකම බැරැක්කයකය. එසේම පොලීසියේ දෙසීයකට ආසන්න නිලධාරීන් පිරිසකට පරිහරණය කිරීමට ඇත්තේ වැසිකිළි හතර පහක් පමණි. එම වැසිකිළිද පොදු වැසිකිළිවලට නොදැවෙනිය. එසේම මුහුණකට සොදා ගැනීමටත්, දිය නෑමටත් ඇත්තේ ඉතා සීමිත ඉඩකඩක පිහිටි නාන කාමර පේළියකි. මෙය බොරැල්ල පොලිස් ස්ථානයට පමණක් පොදු සාධකයක් නොව රටේම පොලීසිවල තිත්ත ඇත්ත මේකය. ඇතැම් පොලිස් බැරැක්ක කුකුළු කූඩුවලටත් අන්තය.

කොවිඞ් 19 වෛරසය ආසාදිත භෝජනාගාර පාලකට නිරාවරණය වූ සමීපතයින් සෙසු නිලධාරීන් සමග එකම බැරැක්කයේ රැඳී සිටියා පමණක් නොව, එකම වැසිකිළි නාන කාමර පවා භාවිතා කළහ. එසේම පොලීසිය ඇතුළු එම සමීපතයින් රාජකාරිවල නිරතව සිටින විට ඔවුන් සමග එකම බැරැක්කයේ රැඳී සිටි නිලධාරීන් මාර්ග බාධක, පැමිණිලි විභාග කිරීම් , රථවාහන පාලන කටයුතු ආදී රාජකාරිවල නිරත වන්නට සිදුවන්නේ පොලිස් බලධාරීන්ගෙන් බේරිල්ලක් නොමැතිකම නිසාය. පොලීසිය කොවිඞ් 19 වෛරසය සමාජය පුරා පතුරුවන වාහකයෙක් බවට පත්වන්නේ ඇතැම් ඉහළ නිලධාරීන්ගේ මෙවන් අමනෝඥ තීන්දු තීරණ නිසාය. උණ රෝගය නොමැති නම් රාජකාරි අනිවාර්ය බවටත් උණ රෝගය ඇති නම් රෝහල්ගතවන ලෙසටත් කොළඹ පොලීසිවලට ඉහළ නිලධාරියෙකුගෙන් ලද නියෝගයද එවන් නියෝගයකි. උණ රෝගය නොමැති වෛරසය ආසාදිතයින් මේ වන විට සමාජයෙන් මතුවන බවත් ඔහු නොදැන සිටීම එවන් නියෝගයක් ලබාදීමට මුල්වූවේද, නැති නම් ඔහු ඒ බව දැන ගෙන සත්‍ය සැඟවීම අරමුණුකර ගනිමින් එවන් නියෝගයක් පොලීසියට නිකුත් කළේද යන්න ගැන දන්නේ ඔහු පමණි. බොරැල්ල පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටිම නිලධාරීන්ගෙන් 13 දෙනෙක් පළමු වටයේදී පී.සී.ආර්. පරීක්ෂාවට යොමු කරන විට ඒ අය අතරින් නිලධාරීන් 07 දෙනෙක්ද, දෙවැනි වටයේදී පී.සී.ආර්. පරීක්ෂාවට යොමු කළ නිලධාරීන් 10 දෙනෙක්ගෙන් 08 දෙනක්ද , තෙවැනි වටයේදී පී.සී.ආර්. පරීක්ෂාවට ලක්කළ නිලධාරීන් 51 දෙනෙකුගෙන් 41 දෙනෙක්ද , සිව් වැනි වටයේදී පී.සී.ආර්. පරීක්ෂාවට ලක්කල නිලධාරීන් 10 දෙනෙකුගෙන් 06 දෙනෙක්ද වශයෙන් පොකුරු වශයෙන් කොවිඞ් ආසාදිතයින් මතුවන්නට ගන්නේද ඒ අතරතුරදීය.

පොලීසියේ කොවිඞ් පොකුරේ වැඩිම ආසාදිතයින් ගණනක් හමුවී ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේය. එම පොකුර නිර්මාණය වන්නේද පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතවය. විශේෂ කාර්ය බළකා පොකුර ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සදහා විශේෂ කාර්ය බළකා කදවුරු 03 ක් වසා දැමීමටද එහි අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර පියවර ගත්තේය. එසේම තම නිලධාරීන්ගේ ආරක්ෂාව සහ පහසුකම් ගැන විශේෂ අවධානය යොමුකරමින් ඒ අයට අවශ්‍ය පහසුකම්ද නොපැකිලව ලබාදීමට ඔහු පියවර ගෙන තිබුණේය. එසේම නිලධාරීන් කොවිඞ් වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සදහා ඒ අයව කඳවුරුවලින් බැහැර කුඩා කණ්ඩායම් වශයෙන් රඳවා තැබීමටද වරුණ ජයසුන්දර පියවර ගෙන තිබුණේ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම ආදර්ශයක් ගෙන දෙමිනි. කෙසේ වෙතත් මේ වන විට විශේෂ කාර්ය බළකායේ කොවිඞ් පොකුර 80 ඉක්මවා ගොසිනි.

රටේ නීතිය හා සාමය පවත්වාගෙන යන්නේ පොලීසියයි. පොලීසිය අකර්මර්ණය වීමෙන් සිදුවන්නේ නීතිය හා සාමය බිඳ වැටීමය. මේ තරමටවත් රට රැකී ඇත්තේ පොලීසිය නිසාය. මේ වන විටත් පොලීසියේ තුන් හාරදහසක්ම සිටින්නේ නිරෝධායනය වෙමිනි. තවදුරටත් පොලීසිය තුළ කොවිඞ් පැතිර ගියහොත් රටට සිදුවන දෙය සිතා ගන්නටත් බැරිවනු ඇත. කොවිඞ් වෛරස ව්‍යාප්තිය ඔස්සේ පවා පොලීසිය දැඩි දුෂ්කරතා මධ්‍යයේත් රාජකාරි පැහැර හැරීමකින් තොරව පවත්වාගෙන යන්නේ එබැවිනි. කොවිඞ් වෛරසයෙන් පොලිස් නිලධාරීන් ආරක්ෂා කර ගැනීමට පොලිස් මූලස්ථානය පැත්තෙන් නිලධාරීන්ගේ සුබ සිද්ධිය සදහා ද විශාල වැඩ කොටසක්ද මේ වන විට ගනිමින් සිටී. වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් එම කටයුත්ත පවරා ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේටය. ඒ අතර බස්නාහිර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාද පළාතේ ජනජීවිතය යථා තත්වයට පත්කරලීමට දේශපාලන නායකත්වය සමග එක්ව කරන කටයුත්ත සුළුපටු නොවන බව පැහැදිලිය.

පොලිස් පොකුර 300යේ සීමාව ඉක්මවා යමින් ඇත්තේ ද ඒ අතරය. වැඩිම ආසාදිතයින් පිරිසක් සිටින්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේත්, බොරැල්ල පොලිස් ස්ථානයේත්, කොළඹ අපරාධ කොට්ඨාසයේත්ය. කොළඹ අපරාධ කොට්ඨාසයේ පොකුරද 50 ඉක්මවූවකි. එම පොකුරේ එක් නිලධාරියෙක් පාස්කු ඉරිදා ප්‍රහාරය සොයා බලන ජනාධිපති කොමිසමේ විමර්ශන අංශයට අනුයුක්තව සේවයේ නිරතව සිටීම හේතුවෙන් පාස්කු කොමිසමේ කටයුතුද මේ වන විට ඇත්තේ ඇනහිටය. ඒ පාස්කු කොමිසමේ කාලය ලබන මාසයේ අවසන් වීමට තිබියදීය.

අලුත් පොලිස්පති කව්ද?

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති කොමිසම පත් කරනුයේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසිනි. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුවද එම කොමිසම පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් සපයමින් එහි කාලය අවස්ථා දෙකකදීම දීර්ඝ කළේය. වසරකට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක මෙම කොමිසම මෙරට ඉතිහාසයේ දීර්ඝ කාලයක් තිස්සේ සාක්ෂි විභාග කළ කොමිසම බවටද ඉතිහාසගතව හමාරය. කොමිසමේ විමර්ශන අංශය මේ වන විට සාක්ෂි 1500 කට වැඩි ප්‍රමාණයක් සටහන් කරගෙන ඇතත් මෙතෙක් කොමිසම හමුවේ සාක්ෂි විමසීමට ලක්ව ඇත්තේ එම සාක්ෂිවලින් කොටසත් පමණි. ආගමික නායකයින්, හිටපු ජනාධිපති, අගමැති, මැති ඇමතිවරු ඇතුළු දේශපාලනඥයින් බොහෝ දෙනෙකුගෙන්ම මෙන්ම රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන් , හමුදා නිලධාරීන් , බුද්ධි අංශ ප්‍රධානීන් මෙන්ම සිවිල් පුද්ගලයින්ද කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේය. ඒ අය ඉතා වැදගත් සාක්ෂීකරුවෝය. එම සාක්ෂිකරුන්ට නොදැවෙනි වැදගත්ම සාක්ෂි ගොන්නක්ම කොමිසම හමුවේ විභාග වීමට ඉතිරිය. මේ අතර ශ්‍රී ලංකා පොලීසියේ නව පොලිස්පතිවරයාව මෙම සතිය තුළ පත්කෙරනු ඇති බවට පොලීසිය තුළ දැඩි විශ්වාසයත් හටගෙන තිබේ. ඒ නව පොලිස්පතිවරයෙක් පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය හරස් ව ඇතැයි පසුගිය කාලය පුරාවටම දේශපාලනඥයන්ගේ මුව රැඳී තිබුණු බැවිනි. දැන් 19 හමාරය. ක්‍රියාත්මක වන්නේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. පොලිස්පති පත්කිරීමේ බාධා දැන් අහවරය. පාර්ලිමේන්තු සභාව පවා ඉකුත් 04 වෙනිදා කථානායක නිල නිවසේදී රැස්විය. ඒ අනුව දැන් ජනාධිපතිවරයාට ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියේ පුරප්පාඩුව ඇති පොලිස්පති ධුරයට නාමයක් ඉදිරිපත් කිරීමය. ශ්‍රී ලංකා පොලීසියේ 35 වැනි පොලිස්පතිවරයා වන්නේ එම නිලධාරියාය. ශ්‍රී ලංකා පොලීසියේ පොලිස්පති ධුරය පුරප්පාඩු වන්නේ 34 වැනි පොලිස්පතිවරයාව සිටි පූජිත් ජයසුන්දර සිය වයස අවුරුදු 60 සම්පූර්ණ වීමත් සමග ඉකුත් මාර්තු 20 වෙනිදා පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගැනීමත් සමගිනි. ඔහු විශ්‍රාම ගන්නා විට ඔහුගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් සිව් දෙනෙක්ද, පොලිස්පතිවරයා ලෙස ඔහු භාවිතා කළ මෝටර් රථයද විශ්‍රාම වැටුපද හිමි විය. ශ්‍රී ලංකා පොලීසියේ පොලිස්පති ධුරය පුරප්පාඩු වී මේ වන විට මාස 07කට වැඩිය. මේ කාලය තුළ එම ධුරයේ වැඩ ආවරණය කරන්නේ මේ වන විට පොලිස් සේවයේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නය. ඔහු ශ්‍රී ලංකා පොලීසියේ සිටින නිහඬ චරිතයකි. වැඞ්ඩෙකි. එහෙත් ඔහුට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් පහළ සිටින කිහිප දෙනෙක්ම පුරප්පාඩුව පවතින පොලිස්පති පුටුවට ඇස ගසාගෙන සිටිති. ඒ අතර සී.ඩී.ට හිතවත්කම් පාමින් ඔහුව දේශපාලනික වශයෙන් කපාගෙන ඉහළට එන්නට වෙර දරණ නිලධාරීන්ද නැතුවාම නොවේ. එම චරිත කවුරුන්දැයි පොලීසියේ නිලධාරීන් අතර ප්‍රසිද්ධ රහසකි. කෙසේ වෙතත් සී.ඩී. වික්‍රමරත්න මේ වන විට පොලිස් ඉතිහාසයට එක්වූ නිලධාරියෙක් බවට පත්ව හමාරය. ඒ දීර්ඝ කාලයක් වැඩ බලන පොලිස්පතිධුරය හොබවාය. ඔහු පොලිස්පතිධුරයේ වැඩ ආවරණය කරන්නේ පූජිත් ජයසුන්දර විශ්‍රාම ගත් ඉකුත් මාර්තු 20 වෙනිදා සිට නොව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවුවේ ඉකුත් වසරේ අප්‍රේල් මාසයේ සිටය. ඒ අනුව සී.ඩී. වික්‍රමරත්න මේ වන විට පොලිස්පති ධුරයේ වසර එකහාමරකට අධික කාලයක් තිස්සේ වැඩ ආවරණය කරමින් සිටී. ඒ කිසිදු චෝදනාවකට ලක්නොවීය. මේ කාලය තුළ පොලීසියේ පරිපාලන බිඳවැටීම් හෝ පොලීසියේ කඩා වැටීමක්ද වාර්තා නොවීය. මෙවන් තත්වයක් මත සී.ඩී. හැරුණු කොට වෙනත් නිලධාරියෙකුට පොලිස්පති ධුරය හිමිවනු ඇතැයි විශ්වාස කළ නොහැකිය. සී.ඩී. වික්‍රමරත්නට මෙම තනතුරු හිමිවුවහොත් ඔහුට 2023 දක්වාම එහි රැදී සිටීමට හැකියාවක් ඇත්තේය. ඒ පොලිස් සේවයෙන් විශ්‍රාම යන්නට නියමිතව ඇත්තේ 2023 දී බැවිනි.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

දැන් තියෙන්නේ උභතෝකෝටික තත්ත්වයක්: සියල්ල තීන්දු වන්නේ ජනතා හැසිරීම මත

Next Post

පැන් කළ අතෑරීම ගැන ගම්මන්පිල දුන් උත්තරේ (රාජ්‍ය රහස්)

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.