මන්දගාමී සාර්ව ආර්ථික හා වෙළෙඳපොළ තත්ත්වයන් යටතේ 2019 පළමු අර්ධ වර්ෂය තුළදී ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඉහළ කාර්ය සාධනයක් වාර්තා කළ අතර, 2018 වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්‍ෂව 15.5%ක වර්ධනයක් සමගින් රුපියල් බිලියන 4.3ක බදු පෙර ලාභයක් අත්පත් කරගන්නා ලදී. 2018.04.01 දින සිට බල පැවැත්වෙන පරිදි රඳවාගැනීමේ බදු ප්‍රතිලාභ ඉවත් කිරීම හේතු කොටගෙන රුපියල් බිලියන 1.3ක අගයක් ගත් රඳවාගැනීමේ බදු අහිමි වූ තත්ත්වයක් හමුවේ 2018 වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්‍ෂව 2019 වර්ෂයේ පළමු මාස 06 තුළදී බැංකුව විසින් 15.2%ක වර්ධනයක් සමගින් රුපියල් බිලියන 2.3ක බදු පසු ලාභයක් වාර්තා කරන ලදී. එමෙන්ම 2018.10.01 දින සිට බලපැවැත්වුණු ණය ආපසු ගෙවීමේ අයබද්ද ක්‍රියාත්මක කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්‍ෂව 2019 පළමු අර්ධය තුළදී ගෙවීමට සිදුවූ රුපියල් මිලියන 832.7 ක අතිරේක බදු හේතුවෙන් ලාභය මත සෘණාත්මක බලපෑමක් ඇති කෙරිණි. සමාලෝචිත කාලපරිච්ඡේදය තුළ බැංකුව විසින් බදු හා අයබදු මුදල් ලෙස රුපියල් බිලියන 4.8ක දායකත්වයක් රජය වෙත ලබා දී ඇත.
සමස්ත ආදායම 6.2%ක වර්ධනයක් සමගින් රුපියල් බිලියන 59.1ක් දක්වා වර්ධනය වූ අතර සමස්ත මෙහෙයුම් ආදායම 15.3%ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 15.1ක අගයට ළඟා විය. පසුගිය වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදය හා සසඳන විට සමස්ත මෙහෙයුම් ආදායමෙහි 90.9%කට දායක වූ ශුද්ධ පොලී ආදායම 10.9%කින් වර්ධනය වී, රුපියල් බිලියන 13.8ක අගයක් වාර්තා කරන ලදී. 2019 වර්ෂයේ ජුනි මාසය තෙක් සය මාසික කාලපරිච්ඡේදය තුළ ශුද්ධ පොලී ආන්තිකය පසුගිය වර්ෂයේ මීට අනුරූප කාලසීමාව තුළ පැවති 2.39%ක ප්‍රතිශතයට සාපේක්‍ෂව 2.61%ක් තෙක් වැඩිදියුණු විය. පොලී ආදායමේ වර්ධනය, පොලී වියදමේ වර්ධනය ඉක්මවීම මීට හේතු පාදක විය.
තවද, ව්‍යාපාරික ගනුදෙනුවල වර්ධනයෙන් ලත් ප්‍රතිලාභ මත ශුද්ධ ගාස්තු ආදායම රුපියල් මිලියන 499.2ක් දක්වා 30.7%කින් වර්ධනය විය. පසුගිය වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ රුපියල් මිලියන 45.2ක අලාභයට සාපේක්‍ෂව කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් සමාලෝචිත කාලපරිච්ඡේදය තුළ ඉපයූ වෙළෙඳාම් මත ශුද්ධ ලැබීම් අගය රුපියල් මිලියන 663.9ක් විය.