පසුගිය සතියේ
අපි ඔබට ‘ධරණි’ ටෙලිනාට්‍ය පටලැවිල්ලක් ගැන කිව්වා. එහි කතා නායිකාව ‘ධරණි’ ලෙසට ඔබ හමුවට එන ඇය ගැන කතා නොකළොත් අඩුවක්. ඒ නිසා ඇය ‘ධරණි’ වුණේ කොහොමද කියා ඇයගෙන්ම දැනගැනීමට අප හිතුවා.
හේෂාණි දැන් දෙදරු මවක් නේද?
හ්ම්… ඔව් නේ… ’ධරණි’ නිසා දෙදරු මවක් වුණා.
ධරණිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ගොඩ දෙනෙක්ගේ ආදරය, අනුකම්පාව තමා ලැබෙන්නේ. ‘ධරණි’ ටෙලිනාට්‍ය විකාශය වෙන්න පටන්ගෙන සති දෙකක පමණ කාලයක් තමයි තවම. මේ ගෙවුණු කාලය තුළ හොඳ ප්‍රතිචාර ලැබුණා.
පෙම්වතියකගේ චරිතය රඟපාන්න සුදුසු කාලවකවානුවක ඇයි ඔබ හා පුරා කියලා අම්මා කෙනෙක්ගේ චරිතයක් නිරූපණය කරන්න හිතුවේ?
මගේ පෙනුම ගැන මම හිතුවේ නැහැ. මට ලැබුණු චරිතය තුළ පෙම්වතියකට වඩා යමක් මට කරන්න තිබෙනවා. ඉතින් ඒ චරිතයට මම ගොඩාක් ආශා කළා. ‘ධරණි’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය මට ලැබීමත් සතුටක්.
මෙය හේෂාණිගේ මුල්ම රංගනය. මෙවැනි සුවිශේෂී චරිතයකට ඔබට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණු හැටි කතා කළොත්?
ඔව්. ‘ධරණි’ ටෙලිනාට්‍යය මගේ පළමු රංගනය තමයි. මම මෙයට පෙර වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වෙලා තමයි කටයුතු කළේ. 2020 දෙරණ අවුරුදු කුමරිය තරගයේ කිරුළ පැලඳුවේ මම. ඉතින් ඒ හරහා තමයි මට ‘ධරණි’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වීමට අවස්ථාව උදා වුණේ.
ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීම සුළුපටු කරුණක් නෙවේ. ඉතින් අත්දැකීම් නැති ඔබට බයක් හිතුණේ නැතිද?
වතුරට බහින්නම වෙනවා පීනන්න පුරුදු වෙන්න. අන්න ඒ වගේ තමා රංගනය කියන දේ. ගොඩාක් කැපකිරීම් කරන්න සිදුවෙනවා චරිතය වෙනුවෙන්. මම ආධුනික රංගන ශිල්පිනියක් නිසා මට ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂකගෙන් වගේම සියලුම ශිල්පීන්ගෙන් ලොකු සහායක් ලැබුණා. වැරැදුණත් ඔවුන් කිසිම කෙනෙක් බැන්නේ නැහැ. ඔවුන් හැමදේම මට කියලා දුන්නා. මට තිබුණු බය තමයි මම චරිතයට සාධාරණයක් කළාද කියන එක. ටෙලිනාට්‍යයේ පළමු කොටස නැරැඹුවාට පස්සේ තමයි මගේ චරිතය ගැන මට ලොකු වැටහීමක් ලැබුණේ. ‘ධරණි’ ටෙලිනාට්‍යයේ පිටපත් රචක නිදුක් මධුෂික අයියා මගේ චරිතය ගැන නිරන්තරයෙන්ම පැහැදිලි කළා. දැන් ලැබෙන ප්‍රතිචාරත් එක්ක මට හිතෙනවා සාධාරණයක් කර ඇති බව. නමුත් තවත් හොඳට ඉදිරියට ‘ධරණි’ වෙනුවෙන් මම කැප වෙනවා.
අවුරුදු කුමාරිකාවක් ලෙසට කිරුළ පැලඳූ ඔබ හිතුවේ නැද්ද මුලින්ම සිනමාවෙන් පටන් ගන්න?
එහෙම ලොකුවට මම හිතුවෙ නැහැ. මට චිත්‍රපටයකින් ආරාධානවක් ආවා. ඒ වන විටත් මම ‘ධරණි’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙලා හිටියේ. ඉතින් ‘ධරණි’ට සාධාරණයක් කරන්නයි මට වුවමනා වුණේ. අනෙක මම සෞන්දර්ය පැත්තෙන් උපාධියක් හදාරනවා. ඉතින් අධ්‍යාපන කටයුතුවලට බාධාවක් කරගන්න කැමැති නැහැ. බලමු ඉදිරියේදී.
ලැබුණු ජනප්‍රියතාවත් එක්ක චරිත තෝරා ගැනීමේදී විශේෂ සැලකිල්ලක් දක්වයි නේද?
එය ගැන නම් විශේෂ සැලකිල්ලක් දක්වනවා. මම කැමැති නැහැ මට කරන්න බැරි දේවල් කරන්න. දක්ෂතාව පෙන්වන්න හොඳ චරිතයක් ලැබුණොත් මම අනිවාර්යයෙන් කරනවා.
හේෂාණි දැන් පෙම්වතියක්ද?
තවම මම පෙම්වතියක් නෙවේ. ඒ පැත්ත ගැන තවම මම හිතලා නැහැ.
පුංචි තිරයට තවත් ‘ධරණි’ කෙනෙක් එන බව ඔබ අහලා ඇති. එය ඔබට අභියෝගයක් වෙයිද?
ඔය කියන දෙයක් ගැන ඇත්තටම මම දන්නේ නැහැ. මම ධරණි කෙනෙක් ඉන්න බව අහලා තිබුණේ ‘රාවණ’ ටෙලිනාට්‍යයේ තමයි.
වසන්ත විතාරණගේ











