මූල්‍ය අවදානම් කළමනාකරණ ක්ෂේත්රයේ විශේෂඥවරියකවන අරුණි ගුණතිලක මහත්මිය විධායක නොවන ස්වාධීන අධ්යක්ෂවරියක ලෙස සිය අධ්යක්ෂ මණ්ඩලයට එක්වූ බව සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගම දන්වා සිටී.
වසර 25කට අධික වෘත්තීය අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන ගුණතිලක මහත්මිය බැංකුකරණ ක්ෂේත්රයේ දෙස්-විදෙස් දැවැන්ත ආයතන රැසක සේවය කර ඇත. ආයතනික බැංකුකරණ, ණය අවදානම්, මෙහෙයුම් අවදානම් සහ අනුකූලතා ක්ෂේත්රවල තමන් සතු අත්දැකීම් ආශ්රයෙන් ඇය සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගමේ පරිවර්තනීය ගමන්මග සඳහා ස්වාධීනව මගපෙන්වනු ඇත.
Tea Small Holder Factories සහ සන්ෂයින් හෝල්ඩින්ග්ස් යන සමාගම්වල අධ්යක්ෂ මණ්ඩල සාමාජිකාවකද වන එතුමිය මහජන බැංකුවේ ආයතනික බැංකුකරණ ප්‍රධානී ලෙස මහා පරිමාණ දේශීය සමාගම්, රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සමාගම් කළමනාකරණය කළාය.
මහජන බැංකුවේ සේවයට එක්වීමට පෙර ගුණතිලක මහත්මිය, සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඞ් චාටර්ඞ් බැංකුවේ වාණිජ බැංකුකරණ ණය අංශයේ ප්‍රධානී ලෙස සහ සුළු හා මධ්‍ය පරිමාණ ණය අංශයේ ප්‍රධානී මෙන්ම මෙරට ස්ටෑන්ඩර්ඞ් චාටර්ඞ් බැංකුවේ ප්‍රධාන අවදානම් නිලධාරිනී සහ ආයතනික බැංකුකරණ ණය ප්‍රධානී වැනි ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක් හොබවා ඇත. තවද, ඇය ජාත්‍යන්තරව සිල්ලර සහ ආයතනික කේන්ද්‍රීය බැංකුවල අභ්‍යන්තර විගණන තනතුරු රැසක් ද දරා ඇත.











