ගින්නක් ඇවිළී නිවී ගිය පසු අළු යට සමහර විට ගිනි පුපුරු තිබේ. එම ගිනි පුපුරු ක්‍රමයෙන් වර්ධනය වී අළු අතරින් මතුවීමට ඇති ඉඩකඩ වැඩිය. මා දැන් ලියමින් සිටින්නේද එවන් කතාවකි. මේ කතාවේ අළු අයිති අතීතයටය. එහෙත් එම අතීතයේ සිට අළු යට ක්‍රමයෙන් වර්ධනය වූ ගිනි පුපුරක් පසුගියදා එක්වරම ඇමෙරිකාවෙන් මතුවිය. ඒ අද වෙන විට එරට මතුවී ඇති වර්ගවාදය හේතුවෙනි. මේ කතාවේ එන ප්‍රධාන චරිතය ඔටා බෙන්ගාය. එම නම කටට අපූරුය. එහි මොකක්දෝ යම් අමුත්තක් තිබේ. එහෙත් එය විටෙක ලෝකයම කම්පා කළ තව විටෙක ලෝකයම හැඬවූ නමකි. මෙම ඔටා බෙන්ගා අයිති කළු මිනිසුන් සිටින අප්‍රිකාවට වුවද ඔහුගේ කතාව එදා ලියවෙන්නේ සුදු මිනිසුන් සිටින ඇමෙරිකාවේය. එහෙත් අද මෙන්ම එදාද වර්ගවාදය පැවති බවත් ඒ හරහා ශිෂ්ට යැයි කියාගන්නා මිනිසුන්ගේ ලෝකය කොතරම් කුරිරුදැයි යන්නත් ඔටා බෙන්ගාගේ කතාවෙන් කියවන ඔබට තේරුම් යනු ඇත. ඉතින් මෙතැන් පටන් ලියවෙන්නේ ඔටා බෙන්ගාගේ එම කතාවයි.
සැබෑවටම ඔටා බෙන්ගා යනු එවකට බෙල්ජියම යටතේ පාලනය වූ කොංගෝ ප්‍රදේශයේ “කසායි” නම් ගංගාව අසබඩ වනාන්තරය තම නිවහන කරගෙන ජීවත් වූ කුඩා දරුවෙකි. ඔටා බෙන්ගා ඉපදුණේ වර්ෂ 1883 කාලය තුළ කොංගෝවේය. ඔහු කොංගෝවේ පිග්මි ගෝත්‍රයක් වූ “මිබුටි” නම් ගෝත්‍රයට අයිති විය. එවකට ජීවත් වූ සෑම අප්‍රිකානු ගෝත්‍රිකයෙකු මෙන්ම ඔටා බෙන්ගාද ගෙවා තිබෙන්නේ අසීරු දිවියකි. මෙම බෙන්ගා ජීවත් වූ ප්‍රදේශය ආශ්‍රිතව එදා සිවිල් යුද්ධය බහුලව සිදුවිය. ඒ අස්සේ අප්‍රිකානු මිනිසුන් අල්ලාගෙන වහල් සේවයට විකුණන මිනිසුන්ද එහි විය. එම හේතු නිසාම බෙන්ගා ගෙවා දමමින් තිබුණේ තම ජීවිතයේ අඳුරු කාල පරාසයකි.
මුලින් කී ආකාරයට එකල කොංගෝව පැවතියේ බෙල්ජියමේ පාලනය යටතේය. එවකට සිටියා කියන බෙල්ජියානු රජතුමා වූ දෙවෙනි ලියෝපෝල්ඩ් විසින් මිබුටි ගෝත්‍රිකයන් විසූ ප්‍රදේශයට බෙල්ජියානු හමුදාව එවා ඇති අතර ඒ බෙල්ජියානු හමුදා කඳවුරක් එරටේ පිහිටුවීම සඳහා භූමියක් අල්ලා ගැනීමටය. එහිදී එම බෙල්ජියානු හමුදාව ඔවුන් තෝරාගත් භූමියේ පදිංචිව සිටි ස්වදේශික ජනතාව මරා දැමූ අතර කාන්තාවන් සියල්ල දූෂණය කර ගෙල සිඳ දැමූ බව පැවසෙයි. එම අවස්ථාවේ ඔටා බෙන්ගා වනාන්තරය තුළ සිටි නිසා එයින් බේරී තිබුණි. එහෙත් ඔටා බෙන්ගාද ඇතුළුව දිවි ගලවාගත් ගෝත්‍රිකයන්ව වහල් වෙළෙඳුන් විසින් එදා වහලුන් ලෙස විකුණා දමන්නට අල්ලාගෙන තිබේ. ඉන් පසුව ඔටා බෙන්ගාවද සතෙකු මෙන් කූඩුවක දමා වහල් වෙළෙඳපොළ වෙත ගෙනගිය බව සඳහන්ය. එදා දෑත් දෙපාවලට දම්වැල් දමා බැඳ දැමූ කළු මිනිසුන් රැසක්ම එම මිනිස් වෙළෙඳපොළේ සිට ඇති අතර සුදු ජාතික මිනිස්සු තමන්ට මිලදී ගන්නට සුදුසු වහලුන් එයින් මිලටගෙන තිබේ. එහිදී ඔටා බෙන්ගාව මිලදී ගෙන තිබෙන්නේ සුදු ජාතිකයෙකු වූ “එස්.පී වර්නර්” නම් ඇමෙරිකානු මිෂනාරිවරයෙකි.
එදා එස්.පී. වර්නර් නම් ඇමෙරිකානු මිෂනාරිවරයා මෙම මිනිස් වහල් වෙළෙඳපොළට පැමිණ තිබුණේ විශේෂ අරමුණක් සඳහාය. ඒ වර්ෂ 1904 දී මිසූරියේ සෙන්ට් ලුවිස්හිදී පැවැත්වෙන ලෝක සල්පිල තුළදී මිනිසුන්ට ප්‍රදර්ශනය කිරීම සඳහා විශේෂ වූ යමක් සොයාගන්නටය. ඔහු ඔටා බෙන්ගා දුටු සැණින්ම තමා සෙවූ විශේෂ දෙය හමුවූ බව හැඟී ගොස් ඇති අතර ඒ අනුව ඔටා බෙන්ගාව මිලටගෙන තිබේ. එදා බෙන්ගා උසින් අඩු මිටි තද කළු පැහැ සමක් තිබූ දරුවෙකු වූ අතර ඔහුගේ ගෝත්‍රයේ චාරිත්‍රයක් ලෙස බෙන්ගාගේ දත් සියුම් පීරකින් ගා තියුණු ලෙස උල් කර තිබුණි. එදා ඔහු බෙන්ගාව මිලටගත් බව සඳහන් වන්නේ ලූණු රාත්තලක් හා රෙදි යාර කිහිපයකටය. පසුව මෙම බෙන්ගාට සිදුවූයේ මුලින් කී මිසූරියේ සෙන්ට් ලුවිස්හි පැවැත්වෙන ලෝක සල්පිලේ මානව විද්‍යා ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන භාණ්ඩයක් වෙන්නටය. එදා ඔහුව එහි තබා තිබුණේ අර්ධ සත්වයෙකු ලෙසිනි. පුරා වසරකට වැඩි කාලයක් එලෙස සිටි බෙන්ගාව ප්‍රදර්ශනය නිම වූ පසු සැමුවෙල් වර්නර් විසින් යළිත් උපන් තැන වූ අප්‍රිකාව වෙත ගෙනගොස් තිබේ. එහෙත් ඒ යනවිට ඔහු ජීවත් වූ සුපුරුදු පරිසරය එහි නොවීය. පසුව ඔහු “බට්වා” නම් ගෝත්‍රයක් වෙත ගිය අතර නමුත් තමා තමාගේ ගෝත්‍රයේ විඳි ජීවිතය ඒ ගෝත්‍රයේ නොතිබූ නිසා ඔහු නැවතත් සැමුවෙල් වර්නර් සොයා ගිය බව සඳහන්ය.
ඔටා බෙන්ගා එසේ ගොස් මිෂනාරිවරයා හමුවී රැකියාවක් ඉල්ලා ඇති අතර පසුව මිෂනාරිවරයා ”American Museum of Natural History” නම් විශේෂ කෞතුකාගාරයේ අධ්‍යක්ෂවරයාට කතා කර ඔටා බෙන්ගාව එහි ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙසින් විකුණා දැමූ බව සඳහන්ය. එහෙත් යළිත් ප්‍රදර්ශන භාණ්ඩයක් බවට පත් වූ ඔටා බෙන්ගා දිනෙන් දින නොසන්සුන් වී ඇති අතර තමාව නරඹන්නට එන මිනිසුන්ට පහර දෙන්න පවා උත්සාහ දරා තිබේ. ඒ හේතුව මත ඔටා බෙන්ගා කෞතුකාගාරය තුළින් ඉවත්කර ඇති අතර යළිත් ඔහු අසරණ වූ බව පැවසෙයි. පසුව යළිත් ඔටා බෙන්ගා මිෂනාරිවරයා වෙන සැමුවෙල් වර්නර් හමුවී තිබේ. එහිදී ඔහු බෙන්ගා BRONX නම් සත්වෝද්‍යානය තුළට දමා තිබේ. ඒ සතුන් බලාගැනීමටය. එලෙස දින කීපයක් සිටියදී බෙන්ගාට එහි ජීවත් වූ ”ඩොහොන්ග්” නම් වූ ඔරං ඔටං සත්වයෙකුගේ යාබද තිබූ කූඩුවක් ලැබුණු අතර පසුව ඔහුට එම කූඩුවේ ජීවත්වෙන්නට සිදුවිය. එපමණක් නොව බෙන්ගාට වෙන්කළ කූඩුව ඉදිරිපිට අනෙක් සතුන් උන් කූඩුවල මෙන්ම විස්තර පුවරුවක්ද සවි විය. එහි සඳහන් වූයේ පහත සඳහන් විස්තර ටිකය.
සත්වයා – අප්‍රිකානු පිග්මි (ඔටා බෙන්ගා)
වයස – අවුරුදු 23
උස – අඩි 4 අඟල් 11
බර – රාත්තල් 103
“දකුණු මධ්‍යම අප්‍රිකාවේ කොංගෝ නිදහස් රාජ්‍යයේ කසායි ගංගා නිම්නය අසල වනාන්තරයෙන් සොයා ගන්නා ලදී. ආචාර්ය සැමුවෙල් පී.වර්නර් විසින් මෙම සත්වෝද්‍යානයට ගෙන එන ලදී. සැප්තැම්බර් මාසයේ සිට සෑම දිනම සවස් භාගයේදී මහජන ප්‍රදර්ශනයට තැබේ.”
මේ අනුව එම සත්වෝද්‍යානයේ කූඩු වී දිවි ගෙවන සත්වයෙකු සේ බෙන්ගාටද එහි කූඩුවීමට සිදුවිය. එහි එන යන නරඹන්නන් ඔටා බෙන්ගා දැක සතුටුව ඔටා බෙන්ගාට සත්වයෙකු සේ සලකන්නටද විය. එහෙත් සත්වෝද්‍යානයට පැමිණි ඇමෙරිකානු පූජකයෙකු වූ ජේම්ස් ගෝර්ඩන් මෙම අමානුෂික ක්‍රියාවට කෙළින්ම විරෝධය දැක්වීය. ඔහු එදා “අපගේ ජාතියේම තවත් එක් මිනිසෙකු වානරයන් සමඟ ප්‍රදර්ශනයට තබා තිබීම ගැන අපේ ජාතිය මේ වන විට බෙහෙවින්ම කලකිරීමට පත්ව සිටියි. කළු ජාතිකයන් වන අපද මනුෂ්‍ය ආත්මයක් හා හදවතක් ඇති මිනිසුන් ලෙස සැලකීමට තරම් වටිනාකමක් ඇති අය බව මතක් කරදීමට කැමැත්තෙමු” යනුවෙන් පවා පවසන්නට විය. ක්‍රමයෙන් ඔහුගේ ප්‍රකාශය වටා තවත් බොහෝ පූජකවරුන් ගණනක් එකතු විය. අවසානයේදී එහි ප්‍රතිඵලය වූයේ ඔටා බෙන්ගාව ඒ සත්වෝද්‍යානයෙන් නිදහස් කර ජේම්ස් ගෝර්ඩන් පියතුමාගේ බාරයට පත්කිරීමයි. අනතුරුව ඔහු ඉංග්‍රීසි ඉගෙනීමට පටන් ගත්තද අතරමඟදී එයද නවතා දැමූ ඔහු දුම්කොළ කම්හලක රැකියාවට යොමුවිය. ඔහුගේ උවමනාව වූයේ ඉක්මනින් මුදල් සොයාගෙන තම මව්රට වෙත ගොස් තමන්ට හුරුපුරුදු වනාන්තරයට ආපසු යෑමයි.
එහෙත් කාලයත් සමඟ ඇමෙරිකාව තුළ පළමු ලෝක යුද්ධය ඇරඹෙන්නට විය. ඒත් සමඟම මෙම බෙන්ගාගේ මව්රටට යෑමේ සිහිනය බොඳවිය. පසුව තම ජීවිතයේ ඉතුරු කාලයත් ඇමෙරිකාවට වී සිටීමට සිතූ ඔහු ජීවිතය ගැන කලකිරීමෙන් කිසියම් වූ තීරණයක් ගන්නට විය. එදා වර්ෂ 1916 මාර්තු 20 වෙනිදාය. එදින ඔහු තම ගෝත්‍රයේ චාරිත්‍රානුකූලව ගිනි මැලයක් ගසා තමන්ට ඇමෙරිකානු පරිසරයට ගැළපෙන්නට ලබාදී තිබුණු සියලු ඇඳුම් පැලඳුම් හා ඔහුගේ උල් දත් වසන්නට ලබාදී තිබුණු දත් ආවරණද ඒ ගින්නට දමා මුලින්ම පිලිස්සුවේය. පසුව ඔහු විසින් හොරකම් කර සඟවාගෙන සිටි පිස්තෝලයකින් තම පපුවට වෙඩි තබා ගෙන ඔටා බෙන්ගා තමන්ට නුහුරු නුපුරුදු ඇමෙරිකානු බිමේදීම සදහටම සමුගන්නට විය. එලෙස මියයන විට බෙන්ගාගේ වයස අවුරුදු 25ක් වෙන්නට ඇතැයි පැවසෙයි. නමුත් එය නිශ්චිත ලෙසම සඳහන් කළ නොහැක.
රුවන් එස්. සෙනවිරත්න











