‘පායා එන්න හිරුසේ’ සිනමා නිර්මාණය හරහා කලා ක්‍ෂේත්‍රයට අවතීර්ණ වූ ඇය මුළු රටම වසඟකර ගනිමින් ජනතාවගේ ආදරය දිනා ගැනීමට ඇයත් පින්වන්තියක් විය. ඉතින් ඇය පසුගිය කාලේ පුංචි තිරයේ ඔබව වසඟයට පත්කරමින් හිටිහැටියේම සිංගප්පූරුවට ගිය බව ඔබ නොදන්නා කරුණක් වන්නට පුළුවන්. ඉතින් ඒ කරුණු කාරණා සියල්ල ඇත්ත ඇතිසැටියෙන් ආ විගස ඇය අපිට කියන්නට පොරොන්දු වුණු අතර, ඒ සියල්ල ඇය හෙළි කළේ ඇය නිරෝධායන වන අතරතුරයි.
උදාරි නැවැත කොටු වුණා නේද?
සියලුම දෙනාගේ ආරක්‍ෂාව වෙනුවෙන් මට නිරෝධායන වීමට සිදුවුණා. පසුගිය සතියේ තමයි මම ලංකාවට ආවේ. තව දින කිහිපයක් මට මෙහෙම කාලය ගතකරන්න සිදුවෙනවා.
රජයේ විශේෂ පහසුකම් නිරෝධායන මධ්‍යස්ථාන තියෙද්දී ඇයි ඔබ තරුපහේ ලැගුම්හලක් තෝරාගත්තේ?
මට එහෙම විශේෂ අවබෝධයක් තිබුණේ නැහැ. මම සිංගප්පූරු ගිහිල්ලත් රටට ඇතුළු වෙන්න කලින් නිරෝධායන වුණා එහිදී. ඉතින් ලංකාවට ආවට පසු ගුවන් තොටුපොළේදීද අපිව නිරෝධායනයට යොමු කරනවා. ඉතින් මගේ පෞද්ගලික ආරක්‍ෂාව මත ඔවුන්ම තීරණය කළා හෝටලයක නවතින්න කියලා. හෝටලයේ නිරෝධායනය වුණත් ත්‍රිවිධ හමුදාවෙන් අපිට සලකනවා. අපේ දුක – සැප හොයා බලනවා.
මුළු ලෝකෙම කොරෝනා වසංගතයට මුහුණපා සිටින කාලවකවානුවක ඔබ ඇයි හදිසියේම විදේශගත වුණේ?
මගේ හස්බන්ඞ් සහ දුව මාර්තු මාසයේ ලංකාවට ආවේ. ඉතින් ඔවුන් ආවට පසු ඔවුන්ට ආපහු යන්න විදියක් තිබුණේ නැහැ. දුව බලාගන්න කෙනාටත් ආපහු යෑමට බැරි වුණු නිසා ඉතින් මට යන්න සිදුවුණා පවුලේ අයත් සමඟ. එහෙම යන්න පුළුවන් වුණෙත් මගේ සැමියා සිංගප්පූරුවේ වෛiවරයෙක් නිසා අපට යෑමට රජයෙන් අවසරයක් ලැබුණු නිසා.
ඉතින් සිංගප්පූරුවට එහෙම යන්න හිතට බයක් දැනුණේ නැද්ද මේ ප්‍රශ්නත් එක්ක?
එහෙම හිතට කිසිම බයක් දැනුණේ නැහැ. හැබැයි බයක් තිබුණේ මගේ මහත්තයා වෛiවරයෙක් නිසා පවුලේ අයත් එක්ක එකට එන්න අවසර දෙයි කියන තිගැස්මක් තිබුණා.
පසුගිය කාලවකවානුවේ පුංචි තිරයේ සුවිශේෂී රංගනයක අපි ඔබව දැක්කා. එය ගැන කතා කළොත්?
‘සංසාරාරණ්‍ය අසබඩ’ ටෙලිනාට්‍යයේ ළමාතැනී ගැන ගොඩදෙනෙක් කතාබහ කළා. එවැනි සුවිශේෂී ටෙලිනාට්‍යයක සුවිශේෂී චරිතයක් මට ලැබීමත් වාසනාවක්. ‘සංසාරාරණ්‍ය අසබඩ’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ සංජය නිර්මාල්ට මම විශේෂ ස්තුතියක් පුදකරනවා ‘මව්රට’ පුවත්පත හරහා මෙය අවස්ථාවක් කරගෙන. ඔහුගෙන් වගේම සියලුම ශිල්පීන්ගෙන් වචනයෙන් කියා නිම කරන්න බැරි සහායක් ලැබුණා.
ඔබ නිරූපණය කළ ළමාතැනී චරිතය හරහා ශෘංගාර රසයක් අපිට දැනුණා. එවැනි නිරූපණයකට මුහුණ දුන්නේ කොහොමද?
ඇත්තටම හොඳ අවබෝධයක් ඇතිව තමයි කටයුතු කළේ. පවුලේ සියලුම දෙනා එකට බලන ටෙලිනාට්‍යයක් නිසා මගේ රංගනයට විශේෂ අවධානයක් යොමු කළා. සයිමන් නවගත්තේගමගේ සුවිශේෂී නවකතාවක් තමයි ‘සංසාරාරණ්‍ය අසබඩ’ නවකතාව. එය රස විඳපු පාඨකයන්ටත්, නවකතාවටත් අසාධාරණයක් නොවන විදියට මට කළ හැකි උපරිම මට්ටමින් මගේ චරිතය නිරූපණය කළා. ටෙලිනාට්‍යයේ කැමරා අධ්‍යක්‍ෂ උපුල් අයියා විවිධ කැමරා කෝණ උපයෝගී කරගෙන පටිගත කළා. ඔවුන් අපට දුන් උපදෙස් හරහා මගේ චරිතය උපරිම මට්ටමට නිරූපණය කළා.
ශෘංගාර රසය ඉස්මතු වන විදියට ගැඹුරින් නිරූපණය කළ පළමු අවස්ථාව මෙය වන්නට ඇති. විචාරකයන් හරහා ඔබට මතභේදයට මුහුණපෑමට සිද්ධ වුණාද?
රාගය ඉස්මතු වන විදියට ගැඹුරින් නිරූපණය කළ පළමු අවස්ථාව තමයි මේ. හැබැයි කිසිම කෙනකුගෙන් මට මතභේද ආවේ නැහැ. අඩු තරමේ කිසිම වෙබ්සයිඞ් එකකින් මඩ ගැහුවේ නැහැ. ඒ තරමට ළමාතැනීට ආදරය කළා. හැම දෙනාගෙන්ම මට අහන්න ලැබුණේ ප්‍රශංසාව තමයි හදවතින්ම.
ඔබව අප පුංචි තිරයේ මුලින්ම දැක්කේ ‘බොඳ මීදුම්’ ටෙලිනාට්‍ය හරහා. තවමත් සංසලා ගැන තමයි කතා කරන්නේ?
‘බොඳ මීදුම්’ ටෙලිනාට්‍යයේ මම රඟපාන කොට මට වයස අවුරුදු 21ක් ඇති. ඒ දඟකාර සංසලාට ඔබ තවමත් ආදරෙයි. ‘පායා එන්න හිරු සේ’ චිත්‍රපටය හරහා තමයි මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වුණේ. ඒ ලැබුණු ආදර ගෞරවය නිසා මට පුංචි තිරයට සම්බන්ධ වීමටත් ආරාධනා ලැබුණා. ඉතින් ඔය කාලවකවානුවේ ජනතා ආදර සම්මානයද මට පළමුවරට ලැබුණා.
සිනමා නිළියක් විදියට ආපු ඔබ ඇයි ටෙලිනාට්‍ය තෝරාගත්තේ?
එයට විශේෂ හේතුවක් තිබෙනවා. ජනතාවගෙන් ලැබුණු ආදර ගෞරවය නිසා තමයි මම අදටත් මෙතැන ඉන්නේ. අපේ රටේ බහුතරයක් ඉන්නවා චිත්‍රපට ශාලාවකට ගිහින් චිත්‍රපටයක් රසවිඳින්න අපහසු අය. ඉතින් ඔවුනුත් කැමැති ඇති අපිව දැකබලා ගන්නට. ඔවුන්ගේ හදවත් තුළත් රැඳෙන්නට ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නට අවශ්‍ය නිසා තමයි මම ටෙලිනාට්‍යවලට සම්බන්ධ වීමට තීරණය කළේ.
ඉදිරියේදී උදාරිගේ සිනමා පෙළහරක් තිබෙනවා නේද රසවිඳීමට?
ඔව්. චිත්‍රපට පහක් විතර තිබෙනවා. එකගෙයි සොකර, මිදුණු විශ්වය, ශ්‍රී සිද්ධා, කවුරුත් දන්නේ නැහැ, දෙවැනි යුද්ධය එකිනෙකට වෙනස් භූමිකා හරහා මාව දැකගන්න ලැබෙයි.
‘මිදුණු විශ්වය’ චිත්‍රපට රූපගත කිරීම් අතරතුර අධ්‍යක්‍ෂ සමඟ කඳුළු වගුරපු අවස්ථාත් තිබුණා නේද?
ඇත්තටම ‘මිදුණු විශ්වය’ චිත්‍රපටය හරිම ලස්සනට කතාව ලියලා තිබුණා. ජයන්ත චන්ද්‍රසිරි අයියාගේ පෞද්ගලික අත්දැකීමක්ද කියලා හිතුණා වෙලාවකට ලියල තිබුණු විදියට. එහි තිබුණු ආදර කතාවට අපි දෙන්නටම ඇඬුණා ඉතින්. ඒ අතර එකගෙයි සොකර, ශ්‍රී සද්ධා චිත්‍රපටවලටත් මගේ රංගන ජීවිතයට විශේෂ තැනක් හිමිවුණා. ඉදිරියේදී මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට ඒ වෙනස තදින්ම දැනේවි.
වසන්ත විතාරණගේ











