ජන ජීවිතය බෙහෙවින් වෙනස් වී ඇති පසුබිමක නවතම අත්දැකීමක් ජනතාවට තිළිණ කරමින්, Colombo Fashion Week විසින් CFW Retail Week නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. සති තුනක් පුරා පැවැත්වීමට නියමිත මෙම වැඩසටහන, 2020 සැප්තැම්බර් 11 දින සිට 2020 ඔක්තෝබර් 04 දින දක්වා පැවැත්වෙනු ඇති අතර, විලාසිතා හා සුවතා සතිය, පරිසර හා සුරැකුම් සතිය සහ සාහිත්‍ය සතිය වශයෙන් සතිපතා තේමාවන් යටතේ විවිධ ඉසව් පැවැත්වීමට නියමිතය. One Galle Face iy HSBC Sri Lanka සමග එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන පාරිභෝගිකයන්ට නවතම අත්දැකීමක් රැගෙන එනු නොඅනුමානය.
තවද මෙම වැඩසටහන තුළදී විවිධ විෂයන් සම්බන්ධ විශේෂඥයන්ගේ දේශන, පොත් කියවීම් හා වැඩමුළු, අගය එකතු කළ පාරිභෝගික අත්දැකීම් වැඩසටහන්, චිත්‍රපට දර්ශන, ජූනියර් චෙෆ් වැඩසටහනක් සහ දරුවන් වෙනුවෙන් චිත්‍ර ඇඳීමේ වැඩමුළුවක් ආදිය මෙන්ම ‘වයින් ටේස්ටින්’ සහ ආහාරපාන ප්‍රදර්ශන වැනි විශේෂ ඉසව්ද පැවැත්වෙනු ඇත.
“අපට දකින ආකාරයට, වර්තමාන සාප්පු සංකීර්ණවල අභ්‍යන්තර පරිසරය සුවිශේෂයි. මේ සුවිශේෂීත්වය දෙගුණ තෙගුණ කරන්නට, නිර්මාණශීලී පුද්ගලයන් සම්බන්ධ කරගනිමින්, පාරිභෝගිකයන්ට හුදෙක් මූල්‍යමය සීමාවෙන් එහා ගිය අත්දැකීමක් තිළිණ කිරීමට අපට අවශ්‍ය වුණා. One Galle Face යනු කොළඹ නගරයේ පිහිටි සුවිශේෂීම සාප්පු සංකීර්ණයක්. අප සමග එක්වී අලුත් දෙයක් අත්හදා බලන්නට ඔවුන් කැමැත්ත පළකළ නිසා, මේ නව සංකල්පය එහිදී ක්‍රියාවට නංවන්නට අප තීරණය කළා. මේ පර්යේෂණාත්මක සංකල්පයේ පදනම වන්නේ දැනුම, විනෝදය සහ අන්තර්සම්බන්ධතා යන අංශ තුනයි. විලාසිතා ක්ෂේත්රය වැනි නිර්මාණශීලී ක්ෂේත්රයකින් පැමිණි මට පෙනෙන ආකාරයට, අප හමුවේ ඇති තාර්කික ඉදිරි පියවර වන්නේ පාරිභෝගික සම්බන්ධතාවලට අදාළව නව අත්හදා බැලීම් සිදුකිරීමයි.” CFW Holdings සමාගමේ කළමනාකාර අධ්යක්ෂ අජේ වීර් සිං මහතා පැවසීය.











