ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH) වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය සඳහා වන නවීනතම පුහුණු මධ්‍යස්ථානයට අත්‍යාවශ්‍ය ගෘහ භාණ්ඩ ඇතුළු උපකරණ ලබා දීමට ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුවේ සේවකයින් සිය දිනක වැටුප පරිත්‍යාග කර ඇත.
‘අපගේ සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ගේ, විශේෂයෙන්ම කොවිඞ් අභියෝගයේදී පෙරමුණ ගෙන ක්‍රියා කළ IDH හි වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ධෛර්යසම්පන්න හා විශිෂ්ට කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස කොවිඞ්-19 වසංගතයට එරෙහි සටනේදී ශ්‍රී ලංකාව මෙතරම් අද්විතීය ප්‍රගතියක් ලබා ගෙන තිබෙනවා’ යනුවෙන් HNB හි විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, දිල්ශාන් රොද්‍රිගෝ මහතා පැවසුවේය.
කොවිඞ්-19 වසංගතයේ උච්චතම අවස්ථාවේදී HNB කණ්ඩායම විසින් ස්වේච්ඡාවෙන් එක් රැස් කරන ලද මෙම අරමුදල අදාළ පුහුණු මධ්‍යස්ථානය සඳහා අත්‍යාවශ්‍ය උපකරණ ලබා ගැනීම සඳහා යොදා ගනු ඇත.
HNB සේවකයින්ගේ දායකත්වය තුළින් පළමු අදියරේදී, අත්‍යාවශ්‍ය ගෘහ භාණ්ඩ හා ශ්‍රවණාගාර උපකරණ සපයාදීමට HNB බලාපොරොත්තු වේ. HNBහි කැපවුණු ඉංජිනේරුවන් කණ්ඩායමක් හා එහි ව්‍යාපාර ඒකකය ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH) ඉදිවෙමින් පවතින විශාල ව්‍යාපෘතියක කොටසක් වන අදාළ පහසුකම නැරඹීමෙන් පසු මෙම ව්‍යාපෘතිය සිදු කිරීම බැංකුවට නිර්දේශ කෙරිණි.











