ශ්‍රී ලංකාවේ නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල පාසල් ළමුන් විසින් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම දශකයකට වැඩි කාලයක් තිස්සේ සැලකිය යුතු ගැටලුවක් බවට පත්ව ඇත. විශේෂයෙන් එවැනි සංවේදී වයසක මත්ද්‍රව්‍ය භාවිතය දිගුකාලීන ඇබ්බැහිවීම්වලට මඟපාදන අතර සෞඛ්‍ය සහ සමාජීය ගැටලු ඇති කිරීමටද හේතු වේ. මත්ද්‍රව්‍ය භාවිතයේ යෙදී සිටින බොහෝ දරුවන් පාසලෙන් ඉවත් වී ඇති බව සොයා ගෙන ඇත. මත්ද්‍රව්‍ය භාවිතා කරන ළමුන් සහ තරුණයින්ගේ ආශ්‍රිත චර්යා ඔවුන්ගේ ඥානාත්මක කුසලතා, පවුල් සහ වෙනත් සම්බන්ධතා, රැකියා ජීවිතය යනාදියට බලපාන බවද සොයා ගෙන ඇත. මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින් සාමාන්‍යයෙන් නව යොවුන් වියේදී හෝ තරුණ වැඩිහිටිවියේදී එසේ කිරීමට පටන් ගන්නා අතර, ජීවිතයේ පළමු වසර 5-8 තුළ ළමුන්ට බලපාන තත්ත්වයන් සහ සිදුවීම් අනුව මත්ද්‍රව්‍ය භාවිතය සඳහා පසුබිම වඩා කලින් සිදුවිය හැකි බව මනෝ විද්‍යාව, මානව සංවර්ධනය හා වෙනත් ක්ෂේත්‍රවල පුළුල් පර්යේෂණවලින් හෙළි වී ඇත. ඒ අනුව, ළමා වියේ මුල් අවධියේදී මැදිහත් වීමෙන් දරුවන්ගේ ජීවන මාර්ගය ධනාත්මක දිශාවකට වෙනස් කළ හැකිය. මත්ද්‍රව්‍යවල අවදානම් සහ අන්තරායන් පිළිබඳව නිසි අවබෝධයක් ගුරුවරුන්ට සහ දෙමාපියන්ට ලබා දීමෙන් සහ මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා භෞතික පරිසරයක් සැකසීමෙන් ළමයින් මත්ද්‍රව්‍ය භාවිතයේ නිරත වීමේ සම්භාවිතාව අවම කර ගත හැකි බව විශ්වාස කෙරේ.
මෙම පසුබිම හේතු කොටගෙන ජෝන් කීල්ස් සමූහයේ සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම විසින් මත්ද්‍රව්‍ය අවභාවිතාව වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2020 ජූලි 31 වැනි දින හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී සමාරම්භ කරන ලදී.











