පුංචි තිරයේ හුරුබුහුටි දඟකාර චරිතයක් ඇය. ඒ තරමට ඇය කාටත් ළෙන්ගතු ආදරණීය කලා ශිල්පිනියක්. හිටිහැටියේම ඇයගෙත් වෙනසක් දැකගන්නට අපට හැකි වුණා. එහෙම වුණේ ඇයි කියා දැනගැනීමට ඇයට කතා කළා.
වොල්ගා හිටිහැටියේම හදිසියේ වෙනස් වීමේ විශේෂත්වය?
එහෙම කිසිම විශේෂත්වයක් නැහැ. මගේ පෞද්ගලික කැමැත්තට තමයි වෙනස් වුණේ. හෙයා කට් කලර් එක වෙනසක් තමයි සිදුකළේ. එයින් මගේ බාහිර ස්වරූපයට බලපෑමක් සිදුවෙලා නැහැ.
ජනප්‍රිය රංගන ශිල්පිනියක් වශයෙන් ඔබත් කාලෙන් කාලෙට විලාසිතා අනුගමනය කරනවා?
තැනට සුදුසු විදියට, මට ගැළපෙන විදියට ඇඳුම් අඳින්න තමයි මම කැමැති. කලා ක්‍ෂේත්‍රයේ ඉන්න රංගන ශිල්පිනියක් වශයෙන් අපි අඳින, පලඳින විදිය රසික, රසිකාවියන් අනුකරණය කර හැඩ වැඩ වෙන්න කැමැතියි.
මේ දවස්වල කොහොමද ඔබගේ නිර්මාණ කටයුතු?
සුමුදු වෙල්ලාලගේ අධ්‍යක්‍ෂණය කරන ටෙලිනාට්‍යයකට සම්බන්ධ වීමට ආරාධනාවක් ලැබුණා. එයට අමතරව ටෙලිනාට්‍ය ඒකාබද්ධ කලා සංසදයකට සම්බන්ධ වෙලා කටයුතු කරනවා.
ඔබ පසුගිය කාලේ රංගනයෙන් දායක වුණු සුවිශේෂී නිර්මාණ කිහිපයක් නැවැත විකාශය වෙනවා නේද?
උරුමක්කාරයා්, රන් බැඳි මිනිස්සු, එකගෙයි මිනිස්සු ටෙලිනාට්‍ය නැවැත විකාශය වෙනවා. එකිනෙකට වෙනස් චරිත කිහිපයක් ගලාගෙන යන නිසා ප්‍රේක්‍ෂකයන්ට නැවුම් වෙනසක් දැනේවි.
ඔබට ප්‍රවීණ රංග ශිල්පී සනත් ගුණතිලකගේ නිර්මාණයකට සම්බන්ධ වීමට අවස්ථාවක් නැවැත උදාවුණා නේද?
එය ගැන මම දැන්ම කියන්න කැමැති නැහැ. ඉදිරියේදී දැකබලා ගන්න පුළුවන්.
වොල්ගා නැවැත විවාහයකට සූදානම් වන බව ආරංචියි?
කවුද අනේ ඕවා කියන්නේ. තවම කිසිම සූදානමක් නැහැ.
පසුගිය කාලේ වොල්ගාට විවිධ කටකතා, මඩ ප්‍රහාර එල්ල වුණා නේද?
පහුගිය කාලේ එය මට විතරක් නෙවේ කලා ක්‍ෂේත්‍රයේ ශිල්පීන් ශිල්පිනියන් බොහොමයකට ඔය ප්‍රශ්නයට මුහුණ පෑමට සිදුවුණා. එය කනගාටු දායක තත්ත්වයක්. කලාව කියන්නේ උතුම් දෙයක්. මේ වෘත්තිය හැමෝටම කරන්න බැහැ. ‘යූ-ටියුබ්’ චැනල් රාශියක් පසුගිය කාලේ ආරම්භ වුණා. විවිධ වෙබ්සයිඞ් නිර්මාණය වුණා. ඒ හැම දෙයකින්ම එහි අයිතිකරුවන් කළේ සල්ලි උපයා ගැනීමට විවිධ කටකතා, ගොසිප් මවපු එක විතරයි. හැබැයි ඒ කිසිම දෙයක ඇත්තක් නැහැ.
වසන්ත විතාරණගේ











