දඟකාර කොලුගැටයා දැන් යස ඉලන්දාරියෙක්… මට තවම හිතාගන්න බැහැ..!
පුංචි තිරය වගේම සිනමාව හැඩවැඩ කළ දඟකාර පුංචි කොලුගැටයා දැන් යස ඉලන්දාරියෙක්. ‘හඳයා’ තුළින් රංගනයට පිවිසි සදෙව් පසුකාලීනව අඳුන්ගිර, හතේ කල්ලිය ආදී ටෙලිනාට්‍ය රැසකටද දායක වෙමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත්තා. අපේ මේ සූදානම සදෙව් වලිමුණි සමග කතාබහක නිරත වන්නටයි.Sri Lanka Latest News
කොහොමද සදෙව් සෑහෙන කාලෙකින්?
ඔව්. මට මතක විදියට ‘මව්රට’ ‘හාට්’ එක්ක මේ විදියට මම කතාබහ කළේ ‘අඳුන්ගිර’ ටෙලිනාට්‍යයේ චුට්ටගේ චරිතය රඟපාන කාලේ. අදටත් මා ළඟ ඒ ආටිකල් එක තියෙනවා. මා ගැන පුවත්පතක පළවුණු මුල්ම ලිපිය තමයි ඒක.
මාධ්‍ය සමග ගනුදෙනු කරන්න අකැමැතිද?
මම එහෙම ලොකුවට කතාබහට ගියේ නැහැ. විශේෂයෙන්ම මම සෝෂල් මීඩියා භාවිත කරනවා අඩු නිසා ගොඩ දෙනෙක්ට මාව මගහැරෙන්න ඇති. ඒක මගේ ලොකු වැරැද්දක් කියලා හිතෙනවා. එහෙම වීමට විශේෂම හේතුව මම වැඩි අවධානයක් යොමු කළේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් නිසා. දැන් ඒ සියලු වැඩකටයුතු අවසන්. සමහර විට මම මුල් කාලයේ රඟපාපු ටෙලිනාට්‍යවල මගේ චරිත මතක තිබුණට දැන් රඟපාන ටෙලිනාට්‍යවල මාව දකිනකොට ඒ කාලේ රඟපාපු අහවල් කෙනා කියලා මතකයට එන්නේ නැතුව ඇති. මම දැන් ගොඩක් වෙනස් වෙලා නිසා. දැන් මට වයස අවුරුදු 18ක් වෙනවා.
ඉතින් මේ දවස්වල රඟපාන ටෙලිනාට්‍ය මොනවද?
‘රොන් සොයා’ ටෙලිනාට්‍යයේ හිරුෂ ලෙස රඟපානවා. ‘සොනු මන්දාරා’ ටෙලිනාට්‍යයේ උමේෂ් ලෙස රඟපානවා. ඉදිරියේදී මම රඟපාපු ටෙලිනාට්‍ය කිහිපයක්ම විකාශය වෙන්න තියෙනවා. ඒ අතර දෙනුවන්, සෙව් ආදරේ සහ හීන කියන සින්දු හරහා ළඟදීම මාව දැකබලා ගන්න පුළුවන්. රොන් සොයා මම රඟපාන හිරුෂ චරිතයට නම් හොඳ ප්‍රතිචාර ගලාගෙන එනවා. සොනු මන්දාරා එක ළඟදි විකාශය වුණු නිසා තවම ලොකු ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.
‘හීන කියන සින්දු’ තුළ කොහොමද වෙනස?
නාලක විතානගේ තමයි ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ. ඉස්ලාම් භක්තික චරිතයක් මම ප්‍රථම වතාවට රඟපාන්නේ. චරිතය හැටියට මම පික්මී දුවන කෙනෙක්. පළමු වතාවට මේ වගේ චරිතයක් රඟපාන නිසා ගොඩක් අවධානයෙන් තමයි රඟපාන්න සිදුවුණේ. ඒ චරිත ස්වභාවය හැටියට භාෂාව, හැසිරීම් රටාව වුණත් ඉතා පරිස්සමෙන් කළේ. මම පොඩි කාලේ ඉඳලා මුස්ලිම් යාළුවෝ ආශ්‍රය කරපු නිසා මට ඔවුන් ඒ භාෂාව කතාබහ කරන රටාව පොඩි හුරුවක් තිබුණා.
ටෙලිනාට්‍ය රඟපාන්න කලින් ඔබව මුලින්ම අපි දැක්කේ සිනමාවෙන්?
ඔව්. මම මුලින්ම චිත්‍රපටයක රඟපානකොට මට අවුරුදු හයක් විතර ඇති. ‘ආකාස පාලම’ ‘ඇලඩින් සහ පුදුම පහන’ චිත්‍රපටවල මම රඟපෑවා. එහි ඇලඩින් හැටියට රඟපෑවේ මම.
අලුත් චිත්‍රපටයකට ලැබුණු ආරාධනාව ප්‍රතික්ෂේප කළේ ඇයි?
මට ඒ චිත්‍රපටය ප්‍රතික්ෂේප කරන්න ලැබීම ගැන ගොඩක් කනගාටු වෙනවා. මම ඒ වගේ චරිතයක් රඟපාන්න ගොඩක් ආශාවෙන් හිටියේ. පැවිදි චරිතයකට ආරාධනාවක් ලැබුණු නිසා මට ඒ චරිතය වෙනුවෙන් හිස මඩුකරන්න සිදුවෙනවා. ඒත් මම මේ දිනවල රඟපාන සොනු මන්දාරා චරිතය නිසා මගේ බාහිර ස්වරූපය වෙනස් කරන්න අපහසු වුණා. ඒ නිසා මම ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කළා. රොන් සොයා ටෙලිනාට්‍යයේ චරියත් වෙනස්. මේ නිර්මාණ දෙකම මේ දිනවල විකාශය වෙනවා. චරිතවලට හානියක් කරන්නත් බැහැ. කණ්ඩායම් දෙකම තවත් පැත්තකින් අපහසුතාවට පත්වෙනවනේ එතකොට.
සදෙව්ට දැන් පෙම්වතියක් එහෙම ඇති නේද?
තවම එහෙම කෙනෙක් නැහැ. මගේ යාළුවන්ට පවා ආදරවන්තියන් ඉන්නවා. මම සමහර විට ලස්සන නැතුව ඇති. මටත් ඒ දේ තවම හිතාගන්න බැහැ. සමහර විට මම නළුවෙක් නිසා ආදරය කරන්න අකැමැති ඇති. ආදරයට මම ටිකක් ලැජ්ජාශීලී කෙනෙක්. ඉතින් මේ සියලු හේතු කාරණා බලනකොට ඒ දේවල් ටිකක් පහුවෙනවා වෙන්නත් පුළුවන්.
වසන්ත විතාරණගේ











