සජිත් සහ රාහුල් එකම ගේමකද?
2022 වසරේ ගෝඨාභය රාජපක්ෂ රජයට ගෝල්ෆේස්හි ආරම්භ වූ ‘ගෝඨා ගෝ හෝම්’ ජනතා අරගලය සිහිගන්වමින් ඉන්දියාවේද පාලක නරේන්ද්‍ර මෝදිගේ රජයට එරෙහිව දැවැන්ත ජනතා අරගලයක් ආරම්භ වී ඇති ආකාරයක් මෙ දිනවල ඉන්දියාවේ සිදුවන සිදුවීම්වලින් දැකගන්නට පුළුවන. ලංකාවේ සිදුවුණා මෙන්ම මේ වනවිට ඉන්දියාවේද මේ ජනතා අරගලය නොනිදන එකක් බවට පත්ව ඇති අතර, ලංකාවේ මෙන්ම සිනමා තරුවල, ක්‍රීඩකයන්ගේ සහ ප්‍රකට චරිතවල ආශීර්වාදයද ඊට ලැබෙමින් පවතින ආකාරයක් දැකගන්නට පුළුවන. මෙම අරගලයට සමගාමීව ඉන්දියාවේ විපක්ෂ නායකවරයා වන රාහුල් ගාන්ධි පසුගිය බදාදා දිනයේදී එරට විපක්ෂයේ සියලු පක්ෂ නායකයන් ඒකරාශී කරමින් මෝදිගේ ආණ්ඩුවට එරෙහිව දැවැන්ත අරගලයක් දියත් කිරීමට සූදානම් වන ආකාරයක් දැකගන්නට තිබිණි.Sri Lanka Latest News
ඉන්දියාවේ මේ වනවිට ආරම්භ වී ඇති උද්ඝෝෂණ රැල්ල පිළිබඳ සිහිකරමින් සහ ඉන්දීය විපක්ෂ නායකවරයාගේ භූමිකාව සම්බන්ධයෙන් සටහනක් තබමින් මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ආරම්භ කළේ ලංකාවේද මේ වනවිට එවැනිම ආකාරයේ සිදුවීම් දාමයක් ක්‍රියාත්මක වෙමින් පවතින නිසාය. මේ වනවිට ඉන්දියාවේ ශිෂ්‍යයන් පාරට බැස ඇති ආකාරයට ලංකාවේ ගොවීන්ද ආණ්ඩුවට එරෙහිව පාරට බැස ඇති අතර, ඉන්දියාවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි අගමැති මෝදිට එරෙහිව මුළු විපක්ෂයම එකතු කරමින් සිටින ආකාරයට මෙරට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මාලිමා ආණ්ඩුවට එරෙහිව සමස්ත විපක්ෂයම එකතු කිරීමට කටයුතු කරමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ.
සජිත් මෙසේ ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ සියලු බලමුළු ඒකාබද්ධ කිරීමට තීරණය කළේ ආණ්ඩුව විසින් අගවිනිසුරු සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීම සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට කටයුතු කරමින් සිටීම නිසාය. මෙම තොරතුර වාර්තා වීමත් සමග සජිත් පළමුවෙන්ම කළේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු විපක්ෂයේ දේශපාලන පක්ෂ ඊට එරෙහිව ඒකාබද්ධ කිරීමට පියවර ගැනීමය. ඒ අනුව පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද සජිත් කටයුතු කොට තිබිණි. සජිත් එසේ කළේ ඒ වනවිටත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ආසියානු නීතිඥ සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලයීය නීතිඥ සංගමය, දිසා අධිකරණ සහ මහෙස්ත්‍රාත් අධිකරණවල නීතිඥ සංගම් මෙන්ම විනිසුරුවරු නියෝජනය කරන අධිකරණ සේවා සංගමයද ආණ්ඩුවේ මෙම වෑයමට එරෙහිව ප්‍රසිද්ධියේම අදහස් පළකොට තිබූ පසුබිමකය.
රනිල්ටත් කතාකරයි
කෙසේ වෙතත් මෙහිදී පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ පමණක් නොව, පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ සහ සංවිධානද මෙම සාකච්ඡාව සඳහා එක්කර ගන්නා ලෙස දැනුම් දෙමින් මීට සති දෙකකට පෙර පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වන නාමල් රාජපක්ෂ සජිත්ට ලිපියක් යොමු කරමින් දැනුම් දීමක් කර තිබිණි. ඊට ප්‍රතිචාර දක්වමින් සජිත් පාර්ලිමේන්තුවේ පමණක් නොව ඊට පිටත සිටින සියලු පක්ෂ නායකයන් සහභාගි වන විශේෂ රැස්වීමක් විපක්ෂ නායක කාර්යාලයේ කැඳවීමට පියවර ගත්තේය. මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ සජිත් පෞද්ගලිකවම එජාප නායක රනිල් වික්‍රමසිංහට, නාමල් රාජපක්ෂට, මෛත්‍රීපාල සිරිසේන ඇතුළු සියලු පක්ෂ නායකයන්ට කතාකොට ඊට ආරාධනා කිරීමට පියවර ගත් බවය. ඒ අනුව 23 වැනිදා පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී එම හමුව සංවිධාන කොට ඇති බවද සජිත් එහිදී සියලු දෙනාටම දැනුම් දී සිටියේය.
තැන ගැන ඇණයක්
කෙසේ වෙතත් මෙහිදී කිහිප දෙනකුට මුලින්ම මතුවූ ගැටලුව වූයේ මෙම රැස්වීම විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වීමය. බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ඇතැම් පක්ෂ නායකයන් විපක්ෂ නායක කාර්යාලයේ පවත්වන රැස්වීම්වලට සහභාගි වීමට අකැමැත්තෙන් පසුවන බවත්, ඒ නිසා සියල්ලන්ටම එකඟ විය හැකි පොදු ස්ථානයක්, එසේත් නොමැති නම් හෝටලයක් ඒ සඳහා යොදාගතහොත් සුදුසු බවත්ය. එම යෝජනාව පාර්ශ්ව කිහිපයකින් සජිත්ට දැනුම් දීමෙන් පසුව සජිත් තමාට කතා කළ සියල්ලන්ටම කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලය යනු පෞද්ගලික ස්ථානයක් නොවන බවත්, විපක්ෂයේ සියලු දෙනාටම පැමිණ සාකච්ඡා කළ හැකි පොදු ස්ථානයක් බවත්, එය විපක්ෂයේ සියලු දෙනාටම අයිති රජයේ පොදු දේපළක් බවත්ය. එම නිසා විපක්ෂයේ සියලු දෙනාම සහභාගි වන සාකච්ඡාවක් පවත්වන්නේ නම් අනිවාර්යයෙන්ම එය විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්විය යුතු බවට වූ දැඩි ස්ථාවරයේ සජිත් දිගටම සිටි ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ හේතුව නිසාම මෙම සාකච්ඡාව පොදු ස්ථානයක පැවැත්විය යුතු බවට වූ යෝජනාව ක්‍රමයෙන් යටපත් වී ගිය ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම විපක්ෂ නායක කාර්යාලයේ මෙම සාකච්ඡාව පැවැත්වීම සම්බන්ධයෙන් ඇතැම් පක්ෂ නායකයන් අතර තිබූ විරෝධයට මැදිහත් වීමට එජාප නායක රනිල් වික්‍රමසිංහද කටයුතු කර තිබිණි. එහිදී කිහිප දෙනකුටම කතාකොට රනිල්ද කියා සිටියේ එය අවුලක් කර නොගන්නා ලෙසත්, සියලු දෙනාම මේ සම්බන්ධයෙන් විපක්ෂනායක කාර්යාලයේදී එක්වී සාකච්ඡා කිරීම හරහා යම් පණිවුඩයක් ආණ්ඩුවට ලබාදීමට හැකියාව පවතින බවත්ය.
ඉන් අනතුරුව සංවිධාන කටයුතු සිදුකරද්දීදී පැනනැගුණු තවත් ප්‍රශ්නයක් වූයේ සාකච්ඡාව සඳහා පැමිණෙන පක්ෂ නායකයන් පිළිගනු ලබන්නේ කවුරුන් විසින්දැයි කියාය. එහිදී විවිධ යෝජනා ඉදිරිපත් වුවත් අවසානයේදී සජිත් කියා සිටියේ සියලු පක්ෂ නායකයන් පැමිණෙන්නේ තමන් කළ ආරාධනාවකට අනුව නිසා විපක්ෂනායකවරයා වශයෙන් තමන් විසින්ම එම පක්ෂ නායකයන් පිළිගැනීමට කටයුතු කිරීම සුදුසු බවකි. ඒ අනුව සජිත් ඉදිරිපත් කළ යෝජනාවට සියල්ලන්ගේම එකඟතාව පළවූ ආකාරයක් දැකගන්නට ලැබිණි.
පුටු දාන්නේ කොහොමද?
එමෙන්ම සාකච්ඡාවේ ප්‍රධාන මේසය සහ ආසන සකස් කළ යුතු අන්දම පිළිබඳවද මෙහිදී කතාබහක් සිදුවිය. ඒ අනුව මුලින්ම යෝජනා වී තිබුණේ හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන මහතාටත්, රනිල් වික්‍රමසිංහ මහතාටත්, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාටත්, විපක්ෂ නායකවරයාටත් ප්‍රධාන මේසයේ ආසන පැනවිය යුතු බවකි. එම යෝජනාව ස්ථිර වී තිබුණද හදිසියේම මෛත්‍රිපාල සිරිසේන මහතා කතාකොට තමන්ට මීට පෙරාතුව පොළොන්නරුවේ යොදාගෙන තිබූ පින්කම් කටයුත්තකට අනිවාර්යයෙන්ම සහභාගි වීමට සිදුව ඇති නිසා මෙම රැස්වීමට සහභාගි විය නොහැකි බව දැනුම් දී තිබීම මත එම ආසනය සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට වෙන් කිරීමට තීන්දු විය. එමෙන්ම අනෙකුත් පක්ෂ නායකයන්ට ආසන වෙන්කරන ආකාරය පිළිබඳවද එහිදී අවසන් තීන්දුවකට එළඹීමට සජබ නායකයෝ පියවර ගත්හ.
මීට අමතරව සාකච්ඡාවෙන් අනතුරුව පක්ෂ නායකයන්ට සංග්‍රහ කරන ආකාරය පිළිබඳවද සජබ ජ්‍යෙෂ්ඨයන් අතර සාකච්ඡාවක් සිදුවිය. එහිදී විවිධ යෝජනා පැමිණියද බොහෝ දෙනා කියා සිටියේ මෙය ඉතා විශේෂ අවස්ථාවක් බැවින් ප්‍රසිද්ධ හෝටලයකින් ආහාර පාන ඇණවුම් කර පැමිණෙන පක්ෂ නායකයන්ට සංග්‍රහ කළ යුතු යැයි කියාය. ඊට සජිත්ගේද එකඟතාව පළවිය.
මෙන්න ආපු අය
ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ විපක්ෂ නායක කාර්යාලයට විපක්ෂයේ සියලු පක්ෂ නායකයන් පැමිණි ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අතර එජාප නායක රනිල් වික්‍රමසිංහ, දිනේෂ් ගුණවර්ධන, රවුෆ් හකීම්, නාමල් රාජපක්ෂ, රවී කරුණානායක, ගජේන්ද්‍ර පොන්නම්බලම්, මනෝ ගනේෂන්, ජී.එල්. පීරිස්, පලනි දිගම්බරම්, ආරුමුගම් තොණ්ඩමන්, පාඨලී චම්පික රණවක, අසංක නවරත්න, චාමර සම්පත් දසනායක, නිමල් සිරිපාල ද සිල්වා, දිලිත් ජයවීර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහින්ද අමරවීර, ටිරාන් අලස්, මෛත්‍රී ගුණරත්න ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. ඒ සියලු දෙනාම විපක්ෂ නායක කාර්යාලයේ ප්‍රධාන දොරටුව අසලදී ඉතා උණුසුම් ආකාරයෙන් පිළිගැනීමට සජිත් කටයුතු කළේය. කලකට පසු සජිත් ප්‍රසිද්ධියේ රනිල්ට අතට අත දුන් පළමු අවස්ථාව ලෙසද මෙය වාර්තා විය.
නිල සාකච්ඡාව ආරම්භ වූයේ ඉන් අනතුරුවය. ප්‍රධාන වශයෙන් සාකච්ඡාව කේන්ද්‍රගත වී තිබුණේ ආණ්ඩුව විසින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්ය. මෙහිදී පැමිණි සියලු දෙනා පිළිගනිමින් සජිත් කියා සිටියේ දේශපාලන මතවාද, ප්‍රතිපත්ති කුමක් වුවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ ක්‍රියාවලියේදී පක්ෂ පාට නොතකා අත්වැල් බැඳගෙන අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සජබය පෙනීසිටින බවය. මීට අමතරව අධිකරණයට බලපෑම් කිරීමට උත්සාහ කළ සියලු ආණ්ඩු අතීතයේදී ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව පෙන්වා දුන් සජිත්, වත්මන් ආණ්ඩුවටද එම ඉරණමටම මුහුණ දීමට සිදුවනු ඇති බව ද සඳහන් කර සිටියේය.
මෙහිදී සජිත්ට දකුණු පැත්තෙන් අසුන්ගෙන සිටි රනිල්ද සිය කතාවේදී පෙන්වා දුන්නේ ආණ්ඩුව සිදුකිරීමට සූදානම් වන මෙම ව්‍යවස්ථා සංශෝධනයට සියලු දෙනාම එරෙහිව සටන් කළ යුතු බවත්, දැනටමත් ඊට එරෙහිව මහා සංඝරත්නය මෙන්ම සිවිල් සංවිධානද, නීතිඥ ප්‍රජාවද සිය විරෝධය පළකොට ඇති බවත්ය. එමෙන්ම විනිසුරුවරුන් සම්බන්ධ ප්‍රශ්නයක් විසඳීම විනිසුරුවරුන්ටම භාරදීමට කටයුතු නොකළ යුතු බවද රනිල් මෙහිදී සඳහන් කර සිටියේය. එමෙන්ම සියලු පාර්ශ්ව ඒකරාශී කරගෙන ආණ්ඩුවේ මෙම ක්‍රියාවලියට එරෙහිව දැවැන්ත විරෝධයක් පැවැත්වීමට පියවර ගතයුතු බවද රනිල් යෝජනා කර සිටියේය. ඉන් අනතුරුව රැස්ව සිටි සියලු පක්ෂ නායකයන් සිය අදහස් පළකිරීමට කටයුතු කළ අතර, නාමල් රැස්වීම අතරමගදී තමන්ට වෙනත් රාජකාරියක් යෙදී ඇති බව සජිත්ට සහ රනිල්ට දැනුම් දෙමින් ඉන් පිටව යෑමට පියවර ගත් ආකාරයක් දැකගත හැකි විය. නාමල් වෙනුවට එහිදී සභාව හමුවේ අදහස් දැක්වූයේ පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම්ය.
දිනේෂ්ට සජිත්ගෙන් ආරාධනා
මෙහිදී බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත හැකි විය. එහිදී ඇතැමෙකු පෙන්වා දුන්නේ ආරම්භයක් විදියට සියලු පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් කොළඹදී දැවැන්ත විරෝධතා පෙළපාළියක් පැවැත්විය යුතු යැයි කියාය. තවත් සමහරුන් කියා සිටියේ විපක්ෂයේ සියලු පක්ෂ නියෝජනය වන පරිදි ඒකාබද්ධ රැස්වීම් පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතදීත් පැවැත්විය යුතු යැයි කියාය. තවත් සමහරුන් පාර්ලිමේන්තුව තුළ දියත් කළ හැකි විරෝධතා පිළිබඳ යෝජනා ඉදිරිපත් කළ ආකාරයක් දැකගත හැකි විය. ඇතැමුන් ඒකාබද්ධ රැස්වීම්, විරෝධතා, පාගමන් පැවැත්විය යුතු බවටද යෝජනා ඉදිරිපත් කළහ. නමුත් ඒ කිසිවක් පිළිබඳ එහිදී අවසන් තීන්දුවක් ගත් ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
මේ ආකාරයට පැවැති නිල උත්සවයෙන් පසු ආරාධිත අමුත්තන් වෙනුවෙන් සංවිධාන කොට තිබූ තේපැන් සංග්‍රහයට සහභාගි වන ලෙස සජිත් සියල්ලන්ටම ආරාධනා කර සිටියේය. ඒ අනුව එම අවස්ථාවේදී සියලු දෙනාම ඉතා සැහැල්ලුවෙන් යුතුව එකිනෙකාට සුබපතා ගනිමින් විහිළු තහළු කරගනිමින් සිටි ආකාරයක් දැකගත හැකි විය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ පැමිණ සිටි සියලු දෙනා හමුවටම යමින් සජිත් ඔවුන් සමග අදහස් හුවමාරු කරගැනීමට කටයුතු කිරීමය. වරෙක හිටපු අගමැති දිනේෂ් සමග ඉතා සැහැල්ලුවෙන් යුතුව කතාබහ කරමින් සිටි සජිත් ඔහුට විහිළුවට මෙන් සිනාසෙමින් කියා සිටියේ දිනේෂ්ලා දරන මතවාදය මේ වනවිට සජබය තුළ ක්‍රියාත්මක වන බැවින් ඉදිරියේදී සජබය සමග එක්ව දේශපාලන කටයුතු සිදුකරන ලෙසය.
‘දැන් ඔබතුමාට හරියන ප්‍රතිපත්ති තියෙන්නේ අපේ පක්ෂයේ විතරයි. ඔබතුමාලා හැම වෙලාවෙම කතා කළේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ගැන. අපි අනුගමනය කරන්නෙත් ඒ ප්‍රතිපත්තිය. ඒ නිසා අපිත් එක්ක එකතු වෙලා දේශපාලනය කරන්න එන්න…’ යනුවෙන් සජිත් සිනාසෙමින් කියද්දී දිනේෂ්ද ‘ආ… ඒක හොඳයිනේ…’ කියමින් සිනාසෙමින් පිළිතුරු දුන් ආකාරයක් දැකගත හැකි විය. සජිත් ඉන් අනතුරුව චම්පික, විමල්, උදය ආදී පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ නායකයන් සමගද ඉතා සුහදව අදහස් හුවමාරු කරගැනීමට කටයුතු කළ ආකාරය දැකගත හැකි විය. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේ ඊළඟ අදියර සහ ගත යුතු ක්‍රියාමාර්ග තේරීම පිළිබඳ තීන්දු තීරණ ගැනීම සජිත්ට භාරදීමට සියලු දෙනාම එකඟතාව පළ කළහ.
ආණ්ඩුව ගත් තීන්දුවේම
මේ ආකාරයට විපක්ෂය විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව එළිපිට කඳවුරු බඳිද්දී ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ගනු ලැබීමට නියමිත තීන්දුව කුමක්ද? අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ විපක්ෂය කුමන විරෝධයක් දියත් කළද විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධ වැඩපිළිවෙළ නිශ්චිතව සිදුකොට අවසන් කිරීමට ආණ්ඩුව තීන්දු කොට ඇති බවකි. මුලින් මුලින් ආණ්ඩුව විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ක්‍රියාවලිය පියවරෙන් පියවර, ක්‍රමක්‍රමයෙන් ඉදිරියට ගෙන යෑමට සැලසුම් කර තිබුණද, විපක්ෂය ගෙන ඇති ඇතැම් ක්‍රියාමාර්ග හමුවේ මේ වනවිට ආණ්ඩුව සිටින්නේ මෙම යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කිරීමේ ස්ථාවරයකය. ඒ අනුව පසුගිය සතියේ පළමු වතාවට ආණ්ඩුව මේ සම්බන්ධයෙන් වූ සංකල්ප පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. ඊට සියලු දෙනාගේම අනුමැතිය හිමිවූ අතර, එය ඉදිරියේදී පුළුල් වශයෙන් සාකච්ඡාවට ලක්කිරීමටද ආණ්ඩුව මේ වනවිට සැලසුම් සකස් කොට තිබේ.
නීති උපදෙසක් ආවා
මේ අතරවාරයේ පසුගිය සතිය වනවිට ආණ්ඩුවට මේ සම්බන්ධයෙන්ම තවත් නීති උපදෙසක් ලැබී තිබූ ආකාරයක් දැකගත හැකි විය. එම නීති උපදෙසින් කියැවුණේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ කාලසීමාව සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කොට තිබුණත්, අගවිනිසුරුවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් එහි නිශ්චිත ප්‍රතිපාදනයක් හෝ සඳහන් කිරීමක් නොමැති බවකි. එම නිසා විශ්‍රාම වයස දීර්ඝ කිරීමේදී උපරිමාධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් සඳහන් කළ යුතු වුවත්, අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් සඳහනක් කිරීම අවශ්‍ය නැති බවත් එම නීති උපදෙස් මගින් ආණ්ඩුවට දැනුම් දී තිබිණි. ඒ අනුව ආණ්ඩුව මේ වනවිට එම නීති උපදෙස පිළිබඳවද සලකා බලමින් සිටින බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
මේ අතරවාරයේ පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රය කලඹාලීමට සමත් වූ තවත් පුවතක් වූයේ හිටිහැටියේම අල්ලස් කොමිසමේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාව බලා පිටත්ව ගොස් තිබීමය. එහිදී කියැවුණේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා 10කින් සමන්විත ගුවන් බළඇණියක් මිලදී ගැනීමේදී ප්‍රංශ ගුවන් සමාගමකින් ඇමෙරිකන් ඩොලර් මිලියන 2ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිය වන ප්‍රියංකා විජේනායක සහ එම නඩුවට අදාළ තුන්වැනි සැකකරු වන චමල් රාජපක්ෂ මහතාගේ පුත් ෂමින්ද්‍ර රාජපක්ෂ යන අය සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම සඳහා මෙම නිලධාරීන් ඔස්ටේ්‍රලියාව බලා පිටත්ව ගොස් ඇති බවකි.
මෙම සිදුවීම හිටිහැටියේ සිදුවූ එකක් නොව මාස ගණනාවක් තිස්සේ ඔස්ටේ්‍රලියානු නීති අංශ සහ එරට පොලිසිය සමග සිදුවූ සාකච්ඡාවක් ප්‍රතිඵලයක් ලෙස සිදුවූවකි. එහිදී ප්‍රධාන වශයෙන් කපිල චන්ද්‍රසේනගේ බිරිය සහ ෂමින්ද්‍ර රාජපක්ෂ පිළිබඳ සාකච්ඡාවද තවත් කරුණු කිහිපයක්ම ඔස්ටේ්‍රලියානු බලධාරීන් සමග සාකච්ඡා කිරීමට මෙරට විමර්ශන නිලධාරීන් සැලසුම් කොට තිබිණි. ෂමින්ද්‍ර සහ කපිල චන්ද්‍රසේනගේ බිරිය ඔස්ටේ්‍රලියා පුරවැසියන් වන අතර මෙරට නීති කෘත්‍යයන් ක්‍රියාත්මක වන අතරවාරයේ ඔවුන් කිසිවකුටත් නොකියා හොර රහසේම ඔස්ටේ්‍රලියාවට යෑමට පියවර ගෙන තිබිණි. මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියාව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන රටක් වීම නිසාත්, ෂමින්ද්‍රට සහ කපිල චන්ද්‍රසේනගේ බිරියට මුදල් විශුද්ධිකරණය යටතේ නඩු පවරා තිබීම නිසාත් මෙම විමර්ශන සඳහා ඔස්ටේ්‍රලියානු විමර්ශන අංශවල සහාය ලබාගැනීමට ලංකාවේ විමර්ශකයන්ට පහසු වී තිබිණි.
නිමල්ගෙනුත් ප්‍රශ්න කරනවා
එමෙන්ම මෙම අල්ලස් මුදල ප්‍රේෂණය වූයේ යැයි කියන බැංකු ගිණුමක හිමිකරුවකු වූ ඩබ්ලිව්.ඩී. නිමල් පෙරේරාගෙන් ප්‍රකාශයක් ගැනීමද විමර්ශකයන්ගේ මෙම ඔස්ටේ්‍රලියානු සංචාරයේ අරමුණක් වී තිබිණි. නිමල් පෙරේරා යනු මෙරට සමාගම් ගණනාවක හිමිකරුවකු වන අතර, පසුගිය කාලයේදී ඔහු ලංකාවට පැමිණ නැවත වතාවක් ඔස්ටේ්‍රලියාව බලා යෑමට පියවර ගෙන තිබිණි. නාමල් රාජපක්ෂ මහතාට සම්බන්ධ ක්‍රිෂ් නඩුව සම්බන්ධයෙන්ද නිමල් පෙරේරාගෙන් ප්‍රශ්න කිරීමට විමර්ශකයන් මීට පෙර කටයුතු කොට තිබිණි. ඒ අනුව මෙම සංචාරයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ අල්ලස් කොමිසමේ නිලධාරීන් නිමල් පෙරේරාද හමුවී ඔහුගෙන්ද ප්‍රකාශ ලබාගැනීමට සැලසුම් කර ඇති බවක් ආරංචිය.
එමෙන්ම නිමල් පෙරේරා ලංකාවේ සිටින කාලයේදී නුවරඑළියේ සහ තවත් ප්‍රදේශයක රෝහල් දෙකක් ඉදිකිරීම සඳහා ඔහුගේ ගිණුම්වලට ලැබී ඇතැයි කියන මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන්ද මෙම නිලධාරීන් ඔහුගෙන් ප්‍රකාශ ලබාගැනීමට සැලසුම් කර ඇතැයිද පැවසේ. එහිදී කොපමණ මුදලක් ලැබුණාද, රෝහල් දෙක ඉදිකිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සහ අදාළ මුදල්වලට සිදුවූයේ කුමක්ද යන්න සොයාබැලීම එහි අරමුණ වී ඇතැයි පැවසේ.
වත්කම් ලිපිගොනු රැසක්
මේ සියල්ලට අමතරව තවත් විශේෂ ලිපිගොනු ගණනාවක්ම මෙම විමර්ශන නිලධාරීන් විසින් ඔස්ටේ්‍රලියාවට රැගෙන ගොස් ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එම ලිපිගොනුවල තිබී ඇත්තේ දේශපාලනඥයන් සම්බන්ධ වූ ගනුදෙනු පමණක් නොව, පැවැති ආණ්ඩුවල ඉහළ නිලතල දැරූ රාජ්‍ය නිලධාරීන් ගණනාවකට සම්බන්ධ තොරතුරුය. විශේෂයෙන්ම හිටපු ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරුන් සහ නිලධාරීන් විසින් ඔස්ටේ්‍රලියාවෙන් මිලදීගෙන ඇතැයි කියන ඉඩකඩම්, දේපළ මෙන්ම ඔවුන් විසින් ඔස්ටේ්‍රලියාවේ පවත්වාගෙන යනු ලබන බැංකු ගිණුම් රැසක තොරතුරුද මෙම ලිපිගොනු අතර තිබී ඇති බවක් දැනගන්නට තිබේ.
ඊට අමතරව හිටපු ප්‍රබල ජනාධිපතිවරයකුගේ පුත්‍රයකු විසින් මිලදී ගෙන ඇතැයි කියන ඉඩමක් සම්බන්ධයෙන්ද මෙහිදී කිසියම් තොරතුරු සොයාබැලීමක් සිදුකිරීමට නියමිතව ඇති බවක් දැනගන්නට තිබේ.
එමෙන්ම මෙම විමර්ශනවලට අමතරව තවත් ප්‍රබල විමර්ශනයක්ද මේ වනවිට ආණ්ඩුව පැත්තෙන් ආරම්භ වී ඇති බවක් පැවසේ. ඒ, හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු විසින් රට මැද්දේ කන්දක් මුදුනක ඉදිකොට ඇතැයි කියන සුපිරි පන්නයේ දැවැන්ත මාලිගාවක් පිළිබඳවය. මෙම හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියා විසින් මෙවැනි ආකාරයේ දැවැන්ත මාලිගාවක් ඉදිකළේ කෙසේද, ඒ සඳහා ඔහු මුදල් උපයා ගත්තේ කුමන ආකාරයටද, ඊට අදාළ ඉඩම ඔහු විසින් ලබාගත්තේ කෙසේද යනාදී තොරතුරු විශාල ප්‍රමාණයක් මේ වනවිටත් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවක් දැනගන්නට තිබේ. මෙම හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියාට අමතරව පැවැති ආණ්ඩුවල ඉහළ නිලතල දැරූ රාජ්‍ය නිලධාරීන් රැසක් පසුපසද දැනටමත් විමර්ශන අංශ පන්නමින් සිටින බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට තිබේ. ඉදිරි සති කිහිපය ඇතුළත මේ පිළිබඳ තොරතුරු විශාල ප්‍රමාණයක් එළියට පැමිණීමට නියමිත බවක්ද අපට ආරංචිය.
ඉන්දියාව අවුලෙන්ද?
වත්මන් මාලිමා ආණ්ඩුව බලයට පත්වූ දින සිට අසල්වැසි ඉන්දියාව සමග පවත්වාගෙන ගියේ ඉතා යහපත් සබඳතාවකි. බලයට පත්වූ වහාම ජනාධිපතිවරයා මුලින්ම හිටපු සියලු ජනාධිපතිවරුන් කළා හා සමානවම ඉන්දියාවේ සංචාරයක යෙදීමට පියවර ගත්තේය. ඉන් අනතුරුව ඉන්දීය අගමැති මෝදිද ලංකාවේ සංචාරය කරනු ලැබීය. එම සංචාරයන්වලදී ඇතිකරගත් එකඟතාවන්ට අනුව ඉන්දියාව සහ ලංකාව අතර දැවැන්ත ව්‍යාපෘති කිහිපයක්ම ආරම්භ කිරීමටද එකඟතා ඇතිකරගෙන තිබිණි. ඉන් ඇතැම් ව්‍යාපෘති පසුගිය ආණ්ඩු සමයන්හිදී ආරම්භ කර අතරමග ඇණහිට තිබූ ඒවාය. ඊට හොඳම උදාහරණය සාම්පූර් බලාගාරයය. සාම්පූර් බලාගාරය ආරම්භ කිරීමට යෝජනා වූයේ 2002 වසරේ බලයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලවකවානුවේදීය.
ඉන්දියානු සහයෝගිතාවයෙන් සිදුකෙරෙන මෙම බලශක්ති ව්‍යාපෘතියේ ධාරිතාව මෙගාවොට් 120ක් විය. කෙසේ හෝ මුලින් ගල්අඟුරු බලාගාරයක් ලෙස ආරම්භ කිරීමට නියමිත වූ එම ව්‍යාපෘතියට එකල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන සිවිල් සංවිධාන විසින් විරෝධතාව දැක්වූයේය. එහෙත් පසුව වත්මන් රජය යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසුවේ 2025 වසරේදී තම රජය යටතේ එම ව්‍යාපෘතියේ කටයුතු නැවත ආරම්භ කෙරී සිදුකෙරෙන බවය. ඒ අනුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ මෙරට රාජ්‍ය සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතින් එම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. මෙම ව්‍යාපෘතිය අදියර දෙකකින් සමන්විත අතර, මුල් අදියර යටතේ මෙගාවොට් 50ක විදුලි ධාරිතාවක් උත්පාදනය කිරීමට නියමිතය. මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය 2027 වසරේදී නිම කිරීමට නියමිතව තිබුණද මෙහි පළමු අදියරවත් මේ වනවිට නිම කිරීමට නොහැකි වී ඇත. වත්මන් රජයේ බලධාරීන් විසින් ගෙන ඇති යම් තීරණ කිහිපයක් නිසා මේ වනවිටත් අදාළ ව්‍යාපෘතියේ පළමු අදියරවත් නිම කිරීමට නොහැකි වී ඇති බව ඉන්දියාවේ චෝදනාව වී තිබේ.
කෙසේ වෙතත් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කියා ඇත්තේ අදාළ ව්‍යාපෘතියට සමගාමීව ලංකාව සහ ඉන්දියාව අතර එළීමට නියමිත නළවල පළල සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතුව ඇති බවකි. ලංකාව පැත්තෙන් කියැවෙන්නේ ඉදිරියේදී සිදුකිරීමට සැලසුම් කර ඇති අනෙකුත් ව්‍යාපෘතිවලටද සහායක් වනු පිණිස මෙම නළ තවත් පළලින් වැඩි කළ යුතු බවකි. ඉන්දියාව කුමන ස්ථාවරයක් දැරුවද එම සාකච්ඡා අවසන් එකඟතාවකට පත්වීමෙන් පසු සාම්පූර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව මේ වනවිට තිරණය කර ඇති බවක් දැනගන්නට තිබේ.
ණය ගන්නේ නෑ
එමෙන්ම පසුගිය කාලයේ දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවූ දැවැන්ත විනාශයෙන් ගොඩ ඒමට සහාය වීම සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ සහ සහන පැකේජයක් ලබාදීමට පොරොන්දු විය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් විසින් ප්‍රකාශයට පත්කර, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අධීක්ෂණය කෙරුණූ මෙම ගිවිසුම මූල්‍ය ආධාර කොටස් දෙකකින් යුක්තය. එම පැකේජය සහනදායී ණය මාර්ගවලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක් සහ පූර්ණ ප්‍රදාන වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් වශයෙන සඳහන් විය. මේ අරමුදල් මගින් මාර්ග, පාලම්, නිවාස, සෞඛ්‍ය සේවා සහ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට ඍජුවම සහාය වනු ඇති බවක් කියවිණ.
කෙසේ හෝ මේ වනවිට මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත්, එම ප්‍රතිසංස්කරණ කටයුතු නිසි අයුරින් සිදුව නැතැයි චෝදනා රැසක් ඉන්දීය පාර්ශ්වයෙන් එල්ලවී ඇත. එනම් එම ප්‍රශ්න උද්ගතව ඇත්තේ වත්මන් ශ්‍රී ලංකා රජයේ පරිපාලන අකාර්යක්ෂමතා හේතුවෙන් යැයි ඉන්දීය පාර්ශ්ව චෝදනා කර ඇත. කෙසේ වෙතත් පසුගිය කාලය පුරා ආණ්ඩුව ඇතුළේ පැවැති සාකච්ඡාවලින් පසු තීරණය වී ඇත්තේ මෙම ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක ණය මුදල ඉන්දියාවෙන් ලබා නොගැනීමටය. ඊට හේතු වී ඇත්තේ ඊට අයකරන පොලී මුදල තරමක් ඉහළ අගයක් ගැනීමය.
මේ අතර, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා දුම්රිය ඩීසල් එන්ජින් 22ක් ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලබාගැනීමට මෙම රජයේ කැබිනට් අනුමැතිය හිමිව තිබිණි. මෙම දුම්රිය එන්ජින් ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා මෙරට රජය නිසි ලෙස තමන්ගේ යෝජනා සහ ඉල්ලීම් ඉන්දීය රජය වෙත ඉදිරිපත් කර නැතැයි කරුණු ප්‍රකාශ වෙයි. මෙය ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලබාදීමට කැමැත්ත පළකෙරී තිබිණි.
මේ අතර දැනට වසර ගණනාවක් පුරා ක්‍රියාත්මකව තිබෙන ඉන්දු-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම මේ වනවිට මුහුණ දෙන ගැටලු කිහිපයක් ගැනද ඉන්දියාව පාර්ශ්වයෙන් චෝදනා එල්ල වී ඇත. තීරුබදු නොවන බාධක, ඒකපාර්ශ්වික සීමා කිරීම් සහ සැපයුම් සීමාවන් මේ අනුව දෙපාර්ශ්වයටම එල්ලවී ඇති චෝදනා වෙයි. මේ නිසා ගිවිසුම මන්දගාමී වර්ධනයකට පත්ව තිබීම සම්බන්ධයෙන්ද ඉන්දියාව තරමක කනස්සල්ලෙන් පසුවන බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
ආණ්ඩුවේ සැලසුමට ට්‍රම්ප් ගැහුවා
මීට අමතරව පසුගිය සතිය වනවිට ආණ්ඩුව කිසිවකුටත් නොදැනෙන්නට ඉතාම රහසේ සුවිශේෂ තීන්දුවක් ගෙන තිබිණි. ඒ, මේ මාසයේ අවසානයේදී සිදුකරන ඉන්ධන මිල ගැළපීමේදී පෙට්‍රල් ලීටරය රුපියල් 100කින් අඩු කොට ජනතාවට දැවැන්ත සහනයක් ලබාදීමටය. ආණ්ඩුව සැලසුම් කොට තිබුණේ කිසිවකුටත් නොදැනෙන්නට එක් වරම ජූලි 31 මධ්‍යම රාත්‍රියේදී පෙට්‍රල් ලීටරය රුපියල් 100කින් සහ අනෙකුත් ඉන්ධන වර්ගද ඊට සාපේක්ෂව මිල අඩුකොට අගෝස්තු 01 වැනිදා උදාවන විට රටේම ජනතාව පුදුමයට පත්කිරීමටය.
නමුත් අවාසනාවකට ඉරානය සමග ඇමෙරිකාව අස්සන් කොට තිබූ සාම ගිවිසුම පසුගිය සතියේ කඩාකප්පල් වී යළි යුද්ධය ආරම්භ වීමත් සමග ආණ්ඩුව ගෙන තිබූ එම තීන්දුව හකුලා ගැනීමට ආණ්ඩුව තීරණය කොට ඇති බවක් දැනගන්නට තිබේ. මන්ද යත් ආණ්ඩුව මෙම තීන්දුව ගන්නා විට බොර තෙල් බැරලයක මිල ජාත්‍යන්තර වෙළෙඳපළේ ඩොලර් 60 සීමාවට පහළ බැස තිබුණද, යුද්ධය ආරම්භ වීමත් සමග එය නැවත වතාවක් ඩොලර් 100 ඉක්මවා ගොස් තිබීම ඊට හේතු වී තිබේ. ඒ අනුව ලෝක වෙළෙඳපළේ මිල ගණන්වලට සාපේක්ෂව මෙවර ඉන්ධන මිල ගැළපීමේදී නැවත වතාවක් ඉන්ධන මිල ඉහළ නංවනවාද, එසේත් නැත්නම් දැනට පවතින මිල ගණන් යටතේම පවත්වාගෙන යනවාද යන්න සම්බන්ධයෙන් මේ වනවිට ආණ්ඩුව ඇතුළේ විශේෂ සාකච්ඡාවක් සිදුවෙමින් පවතින බව ආරංචිය.
සුමන්තිරන්ලා නාවේ ඇයි?
විපක්ෂ නායක කාර්යාලයේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විපක්ෂයේ පක්ෂ නායක හමුවට සහභාගි නොවුණු එකම විපක්ෂයේ දේශපාලන පක්ෂය වී තිබුණේ තමිල් අරසු කච්චි පක්ෂයය. මෙම සාකච්ඡාවට සහභාගි වන ලෙසට තමිල් අරසු කච්චි පක්ෂයේ නායක එම්.ඒ. සුමන්තිරන් මහතාටත්, පක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන්ටත් අවස්ථා කිහිපයකදීම ආරාධනා කිරීම සිදුකළද ඒ සෑම අවස්ථාවකදීම ඔවුන් කියා සිටියේ ඇතැම් ජාතිවාදී පක්ෂද මෙම සාකච්ඡාවට එක්වීම සම්බන්ධයෙන් උතුරේ දැනටමත් විරෝධයක් මතුව ඇති බවකි. යම් හෙයකින් එවැනි පක්ෂ සමග එකට අසුන්ගතහොත් තමිල් අරසු කච්චි පක්ෂයටද උතුරේ ජනතාවගෙන් විරෝධයක් එල්ල විය හැකි බව එහිදී ඔවුන් සජබයට දැනුම් දීමක් කොට තිබිණි. ඒ අනුව තමිල් අරසු කච්චි පක්ෂය සජබයට දැනුම් දී ඇත්තේ ඉදිරියේදී වෙනම හමුවී සජබය සමග දැනට රට තුළ මතුව ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තම පක්ෂය සූදානම් යැයි කියාය. ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ලබන සඳුදා දිනයේදී තමිල් අරසු කච්චි පක්ෂය පැවැත්වීමට සූදානමින් සිටින බවක්ද ආරංචිය.
කතානායක එක්ක ප්‍රශ්නයක්
මේ අතර, පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කළ තොරතුරකින් කියා සිටියේ පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගෙන උතුරු නැගෙනහිර සහ වතුකරයේ දෙමළ මුස්ලිම් සියලු පක්ෂ වෙනම සන්ධානයක් ගොඩනැගූ බවත්, ඉදිරියේදී ඔවුන් පළාත් සභා මැතිවරණය සහ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලා දැවැන්ත සටනක් දියත් කිරීමට සැලසුම් කරමින් සිටින බවත්ය. මෙහි පළමු සාකච්ඡාව මීට සති දෙකකට ඉහතදී පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති අතර, දෙවැනි සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කොට තිබුණේ සිකුරාදා (24) පස්වරුවේ පාර්ලිමේන්තුවේදීමය. ඒ සඳහා පසුගිය බදාදා දිනයේදී පාර්ලිමේන්තු කමිටු කාමරයක් ලබාගැනීම සඳහා එම සන්ධානයේ කැඳවුම්කරු වන ශානක්‍යන් රාසමානික්කම් මහතා සභා රැස්වීම අතරවාරයේදී කතානායකවරයා හමුවීමට ගොස් සිය අවශ්‍යතාව කතානායකවරයාට දැනුම් දීමට පියවර ගත්තේය. නමුත් කතානායකවරයා එහිදී රාසමානික්කම්ට දැනුම් දී සිටියේ එවැනි සාකච්ඡාවක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු කමිටු කාමරයක් ලබාදිය නොහැකි බවත්, එවැන්නක් අවශ්‍ය නම් ඊට සහභාගි වන සියලු පක්ෂවල නායකයන්ගේ අස්සන් සහිත ලිපියක් තමන් වෙත ඉදිරිපත් කළ යුතු බවත්ය. ඊට ඒ මොහොතේදීම විරෝධය පළකළ රාසමානික්කම් කියා සිටියේ මීට පෙර එවැනි සාකච්ඡා පාර්ලිමේන්තු කමිටු කාමරවල පවත්වා ඇති බවත්, ඒ අවස්ථාවලදී මේ ආකාරයේ අවසර ගැනීමක් සිදුව නැති බවත්ය. නමුත් කතානායකවරයා තමන් සිටි ස්ථාවරයේම දැඩිව සිටිමින් රාසමානික්කම්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තේය.
ඉන් අනතුරුව පසුගිය බදාදා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරකසභාව රැස්වූ අවස්ථාවේදී මෙම ප්‍රශ්නය නැවත වතාවක් කතානායකවරයාගේ අවධානයට යොමුකිරීමට රාසමානික්කම් පියවර ගත්තේය. එහිදීද කතානායකවරයා රාසමානික්කම්ට දැඩිව කියා සිටියේ තමන් මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ප්‍රකාශ කොට ඇති බවත්, එවැනි සාකච්ඡාවක් පැවැත්වීමට පාර්ලිමේන්තු කමිටු කාමරයක් ලබාදිය නොහැකි බවත්ය. අවශ්‍ය නම් විපක්ෂ නායක කාර්යාලයේ හෝ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලට ලබාදී ඇති කාර්යාල කාමරයක එවැනි සාකච්ඡාවක් පැවැත්විය හැකි බවත් කතානායකවරයා රාසමානික්කම්ට දැනුම් දී සිටියේය. කතානායකවරයා දුන් එම පිළිතුරෙන් රාසමානික්කම්ට තරමක් කේන්ති ගිය ආකාරයක් දැකගත හැකි විය.
රාසමාණික්කම්ට ආ ඇමතුම
‘මේක අපිට ඕනේ නම් විපක්ෂ නායක කාර්යාලයේ තියන්න තිබ්බා. හැබැයි අපිට මේක විපක්ෂ නායක කාර්යාලයට අරන් යන්න වුවමනාවක් නෑ. මොකද මේ සන්ධානය ආණ්ඩුවටවත්, විපක්ෂයටවත් සම්බන්ධ සන්ධානයක් නෙවෙයි. මේක අපේ ප්‍රශ්න ගැන කතා කරන්න හදාගත්ත පොදු සන්ධානයක්. ඒකට අපිට පොදු තැනක් ඕනේ. අනෙක පක්ෂවලට දීලා තියෙන කාමර කාලෙකින් සුද්ද කරලත් නෑ. ඒවායේ මීටින් තියනවා තියා වාඩිවෙලා ඉන්නවත් බෑ…’ යනුවෙන් රාසමානික්කම් කියද්දී කතානායකවරයා නැවත කියා සිටියේ එසේ නම් තමන් මැදිහත් වී එම කාර්යාල පිරිසිදු කර දෙන්නම් යැයි කියාය. කතානායකවරයාගේ ඒ පිළිතුරට රාසමානික්කම්ගේ රතු කට්ට පැන්නේය.
‘ඔබතුමා කතානායක. ඔබතුමා ඔබතුමාගේ රාජකාරිය කරන්න. පී.එච්.අයි. කරන වැඩේ ඔබතුමා කරන්න ලෑස්ති වෙන්න එපා….’ යනුවෙන් කී රාසමානික්කම් වහාම සාකච්ඡාවෙන් නැගිට කෝපයෙන් යුතුව ඉන් පිටව යෑමට පියවර ගත්තේය.
මේ ආකාරයට රාසමානික්කම් සාකච්ඡාවෙන් නැගිට පිටව ගොස් පැයකට පමණ පසු ඔහුගේ දුරකතනයට ආණ්ඩුවේ ඉහළම ඇමැතිවරයකුගෙන් ඇමතුමක් ලැබිණි. එම ඇමැතිවරයා රාසමානික්කම්ට දැනුම් දී සිටියේ කතානායකවරයා කී යම් යම් කරුණු සම්බන්ධයෙන් වැඩිය ගණන් නොගන්නා ලෙසත්, අදාළ සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු කමිටු කාමර අංක 08 ලබාදීමට හැකි බවත්ය. දෙමළ මුස්ලිම් පක්ෂවල දෙවැනි රැස්වීම සිකුරාදා පස්වරුවේ කමිටු කාමර අංක 08 පැවැත්වුණේ ඒ අනුවය.
මේ අතර, පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ කළ තවත් අනාවරණයකින් උතුරේ දේශපාලන පක්ෂ කිහිපයක් තමිල්නාඩුවට ගොස් තමිල්නාඩු මහඇමැති තලපති විජේ හමුවූ අවස්ථාවේ තොරතුරු වාර්තා කිරීමට පියවර ගත්තෙමු. එමෙන්ම පසුගිය සතියේ හිටි හැටියේම තමිල් අරසු කච්චි පක්ෂයේ මහලේකම්වරයා වූ එම්.ඒ. සුමන්තිරන් තමිල්නාඩුවේ විපක්ෂනායක එම්.කේ. ස්ටාලින් එකට සිටින ඡායාරූපයක් මාධ්‍යවල පළවිය. ඒ අනුව බොහෝ දෙනා ඡායාරූපය දුටු සැණින් සිතුවේ උතුරේ අනෙක් පක්ෂ නායකයන් තමිල්නාඩු මහ ඇමැති විජේව හමුවී සාකච්ඡා කරන්නට කටයුතු කරද්දී තමිල් අරසු කච්චි පක්ෂයේ මහලේකම් සුමන්තිරන් තමිල්නාඩු විපක්ෂ නායක ස්ටාලින් හමුවීමට පියවර ගෙන ඇති බවකි. සුමන්තිරන් සහ විජේ අතර හමුවක් සිදුවූ බවක් එහිදී වාර්තා වී නොතිබිණි.
ඒ අනුව අපද මේ සම්බන්ධයෙන් කළ සොයාබැලීමකදී දැනගන්න ලැබුණේ සුමන්තිරන් එසේ තමිල්නාඩු ගොස් ඇත්තේ ස්ටාලින් හමුවීමට නොව සිය බිරියගේ උත්සවයකට සහභාගි වීමට යැයි කියාය. සුමන්තිරන්ගේ බිරිය ඉන්දියානු ජාතික කාන්තාවක් වන අතර, ඇය සිය නීති උපාධිය ගෙන ඇත්තේ තමිල්නාඩු විශ්වවිද්‍යාලයකිනි. එම විශ්වවිද්‍යාලයේ සංවත්සර උත්සවයට සහභාගි වීම සඳහා ඇයටද ආරාධනා ලැබී තිබීම නිසා සුමන්තිරන්ද ඇයත් සමග තමිල්නාඩුවට යෑමට පියවර ගෙන තිබිණ. ඒ අතරතුර ස්ටාලින් සමග පවතින දැඩි හිතවත්කම නිසාම සුමන්තිරන් සහ ස්ටාලින් අතර කෙටි හමුවක් සිදුව ඇති අතර, එහිදී කිසිදු දේශපාලන සාකච්ඡාවක් සිදු නොවූ බවත්, ආගිය තොරතුරු පමණක් සාකච්ඡා වූ බවත් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
තීන්දුව යළි ක්‍රියාත්මකයි
මාලිමා ආණ්ඩුව බලයට පත්වූ මුල් කාලසීමාවේදී ගනු ලැබූ තීන්දුවක් වී තිබුණේ යම්කිසි අමාත්‍යවරයකු හෝ ආණ්ඩුවේ ඉහළ නිලධාරියකු හෝ අමාත්‍යාංශවල ලේකම්වරුන් හෝ සංස්ථාවල, දෙපාර්තමේන්තුවල සභාපතිවරු විදෙස් තානාපතිවරුන් හමුවන්නේ නම් හෝ ව්‍යාපෘති සඳහා විදෙස් ආධාර ලබාගන්නේ නම් ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති විශේෂ ආයතනයක් හරහා යායුතු බවය. නමුත් අගමැතිවරියට හෝ විදේශ කටයුතු අමාත්‍යවරයාට මේ නීතිය බල නොපාන බවද එවකදී කියැවිණි. මුල් කාලයේදී මෙම තීන්දුව දැඩිව ක්‍රියාත්මක වුවත් පසු අවස්ථාවලදී ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවූ ආකාරයක් දැකගන්නට නොලැබිණි.
කෙසේ වෙතත් මේ වනවිට ආණ්ඩුව නැවත වතාවක් තීන්දු කොට ඇත්තේ මෙම තීන්දුව දැඩිව ක්‍රියාවේ යෙදවීමටය. ඒ අනුව යම් අමාත්‍යවරයකු හෝ අමාත්‍යාංශ ලේකම්වරයකු හෝ සභාපතිවරුන් තානාපතිවරු හමුවී විවිධ ව්‍යාපෘති සඳහා සහාය ඉල්ලන්නේ නම් ඒ බව පළමුවෙන්ම ජනාධිපති කාර්යාලයේ පිහිටුවා ඇති විදේශ ආධාර සම්බන්ධ කාර්යාලය දැනුවත් කළ යුතු බවට දැනුම්දීමක් කර ඇති බවක් රාජ්‍ය රහස් තීරයට ආරංචිය. එසේ නොමැතිව කිසිවකුටත් තනි හිතුමතයට විවිධ කරුණු කාරණා සම්බන්ධයෙන් විදෙස් තානාපති කාර්යාල සමග සබඳතා පැවැත්වීම තහනම් කිරීමට ආණ්ඩුව තීන්දු කොට ඇති බවද දැනගන්නට තිබේ.
මහින්ද අන්තිම තුරුම්පුවත් ගහලා
තීරණාත්මක සහ අභියෝගාත්මක කාලසීමාවක ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් කටයුතු කළ මහින්ද සමරසිංහ මහතා සිය තනතුරෙන් විශ්‍රාම ගැනීමට තීරණය කිරීමේ තොරතුරු අප මීට පෙර අවස්ථා කිහිපයකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කිරීමට කටයුතු කළෙමු. එහිදී අප කියා සිටියේ ලංකාවට සුවිශේෂ ජයග්‍රහණ රැසක් අත්පත් කර දීමෙන් අනතුරුව මහින්ද සමරසිංහ මහතා මෙසේ විශ්‍රාම ගැනීමට තීරණය කළ බවකි. එමෙන්ම තවත් විශේෂ තොරතුරක් අනාවරණ කරමින් අප කියා සිටියේ ට්‍රම්ප් පරිපාලනය විසින් ලංකාව ඉලක්ක කොට ගෙන මුලින් පැනවූ 44%ක තීරුබද්ද 20% දක්වා අඩු කරගැනීමට මහින්ද සමරසිංහ මහතා කටයුතු කළ බවත්, එය තවදුරටත් අඩු කරගැනීම සඳහා හෙතෙම ට්‍රම්ප් පරිපාලනය සමග සාකච්ඡා පවත්වමින් සිටින බවය. බොහෝ දුරට එම සාකච්ඡා සාර්ථක වනු ඇති බවද අපි එහිදී අනාවරණ කර සිටියෙමු.
අප කළ එම අනාවරණය තහවුරු කරමින් පසුගිය සතියේ ට්‍රම්ප් පරිපාලනය ලංකාවට පනවා තිබූ තීරුබද්ද 10% දක්වා අඩුකිරීමට පියවර ගත්තේය. එහි ඇති විශේෂත්වය වන්නේ ඇමෙරිකාව සමග තීරුබදු සම්බන්ධයෙන් ලිඛිත ගිවිසුමක් අස්සන් කොට නොතිබියදී පවා මේ ආකාරයට එම තීරුබද්ද 10% දක්වා අඩුකර ගැනීමට මහින්ද සමරසිංහ මහතා සමත් වීමය. බංග්ලාදේශය නම් දැනටමත් ඇමෙරිකාව සමග තීරුබදු සම්බන්ධයෙන් ගිවිසුමකට අස්සන් තබා ඇති අතර, ලංකාව සිටින්නේ තවමත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා මට්ටමේය. නමුත් එවැනි වටපිටාවකදී පවා 10% දක්වා තීරුබද්ද අඩු කරගැනිමට මහින්ද සමරසිංහ මහතා සමත් වීම රටක් වශයෙන් ලංකාව ලැබූ ජයග්‍රහණයක් බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.
මේ සඳහා මූලිකවම බලපෑ කාරාණාවක් වී තිබුණේ තහනම් ශ්‍රමය භාවිත කර භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන රටවලින් භාණ්ඩ ආනයනය කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගනු ලැබූ තීන්දුවය. පසුගිය සති කිහිපය පුරාම මීට අදාළ තීන්දුව ගැනීමට ආණ්ඩුව සමග සාකච්ඡා වට ගණනාවක්ම මහින්ද සමරසිංහ මහතා පැවැත්වීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයා පසුගිය සතියේ ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමත් සමග ඇමෙරිකානු රජයද ලංකාවට පනවා තිබූ තීරුබද්ද 10% දක්වා අඩුකිරීමට තීරණය කොට තිබිණි. ඒ අනුව මහින්ද සමරසිංහ මහතා අමෙරිකානු තානාපති ධුරයට සමු දුන්නේ අවසන් තුරුම්පුවද ලංකාව වෙනුවෙන් ගැසීමෙන් අනතුරුවය.










