• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුට්ටිය දාලා බැලුවේ කව්ද-කොහෙන්ද? මොන විරෝධය ආවත් වැඩේ කරනවා! අනුර ගත්ත තීන්දුවේම ඉඳියි! රාජ්‍ය රහස්! Sri Lanka Latest News

July 19, 2026
in Exclusive, Rajya Rahas
Reading Time: 14 mins read
A A
Share on WhatsAppShare on Facebook

බරපතළ සංඥාවක්

මීගමු බන්ධනාගාර ගැටුමේ උණුසුම මැද වුවද පසුගිය සතිය වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ ලොකුවට කතාවූ තවත් විශාලම ප්‍රවෘත්තියක් වූයේ උතුරු නැගෙනහිර සහ වතුකරයේ දෙමළ මුස්ලිම් පක්ෂ ඒකාබද්ධව පාර්ලිමේන්තුවේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවය. මෙම මාධ්‍ය හමුවට එම්.ඒ. සුමන්තිරන්ගේ නායකත්වයෙන් යුත් තමිල් අරසු කච්චි පක්ෂය, රවුෆ් හකීම්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් වතුකරයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ ජීවන් තොණ්ඩමන්, දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ නියෝජනය කරමින් මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් ඇතුළු රටම නියෝජනය වන පරිදි සියලු දෙමළ මුස්ලිම් පක්ෂ නායකයන් එතතු වී සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. මෙහි ඇති විශේෂත්වය වන්නේ සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය නියෝජනය කරන හකීම්, රිෂාඩ්, මනෝ සහ දිගම්බරම්ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටීමය.Sri Lanka Latest News

ඒ අනුව විපක්ෂයට පහර දෙන ඇතැම් මාධ්‍ය සහ යම් යම් දේශපාලන විචාරකයන් විශාල මාධ්‍ය ප්‍රචාරයක් රැගෙන යමින් මේ සම්බන්ධයෙන් කියා සිටියේ සජබයෙන් මන්ත්‍රීවරු 18 දෙනෙක් ඉවත් වී වෙනම සන්ධානයක් නිර්මාණය කිරීමට කටයුතු කොට ඇතැයි කියාය. විපක්ෂය දෙකට තුනට බිඳී ඇතැයි කියාය. විපක්ෂය අවසන් යැයි කියාය.

නමුත් මෙම සන්ධානය පසුපස ඇති ඇත්ත කතාව මේ ආණ්ඩුවට කඩේ යන කිසිදු මාධ්‍ය නාලිකාවක් හෝ සමබරව පුවත් පළකරනවා යැයි කියන කිසිදු මාධ්‍යයක් හෝ කිසිදු සමාජ මාධ්‍යයක් හෝ පළකොට තිබුණේ නැත. නමුත් සෑම අවස්ථාවකදීම අතිශය නිවැරැදි තොරතුරු අප පාඨකයන් වෙත ගෙන එන ‘රාජ්‍ය රහස්’ තීරය මෙම දෙමළ – මුස්ලිම් දේශපාලන සන්ධානය පිටුපස ඇති ඇත්ත කතාව කුමක්ද යන්න පිළිබඳ පසුගිය සතියේ දීර්ඝ සොයාබැලීමක නිරත විය. ඒ අනුව, අපට සොයාගැනීමට හැකි වූයේ මෙම නව දේශපාලන සන්ධානය හරහා ආණ්ඩුවට අතිභයානක දේශපාලන සංඥාවක් නිකුත් කොට ඇති බවය.

‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප මුල සිටම වාර්තා කළ ප්‍රධාන කරුණක් වූයේ පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම මුල්කරගෙන මොන යම් හෝ අවස්ථාවක ආණ්ඩුවට අතිශය බරපතළ තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවය. විශේෂයෙන්ම මීට මාස කිහිපයකට පෙර තමිල්නාඩුවේ මහඇමැතිවරයා වශයෙන් තලපති විජේ පත්වීම හරහා මෙම බලපෑම ඉක්මන් වනු ඇති බව අපි සඳහන් කර සිටියෙමු. මෙතෙක් ලංකාවේ උතුරු නැගෙනහිර සහ වතුකරයේ දෙමළ ජනතාව සම්බන්ධයෙන් යම් යම් තීරණාත්මක අවස්ථාවලදී ඉන්දීය මධ්‍යම රජය මැදිහත් වීම් සිදුකරන ආකාරයක් පසුගිය කාලය පුරාම අප අත්දැක ඇත්තෙමු. නමුත් තලපති විජේගේ දේශපාලන ආගමනයත් සමග අප පෙන්වා දුන් ප්‍රධාන කාරණාවක් වූයේ ඉන්දීය මධ්‍යම රජයට පෙරාතුව ලංකාවේ යම් යම් දේශපාලන සිදුවීම්වලදී තමිල්නාඩුවෙන් බලපෑම් එනු ඇති බවත්, එම බලපෑම විවිධ ක්‍රම ඔස්සේ ඉන්දීය මධ්‍යම රජයටද එල්ල වනු ඇති බවත්ය. අද අපි ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හෙළිදරව් කිරීමට සූදානම් වන්නේ එම ඉන්දියානු දේශපාලන බලපෑම මේ වනවිට ආරම්භ වී ඇති බවය. ඒ නිසා විවිධ න්‍යායපත්‍ර මත පිහිටා සිදුකරන මාධ්‍ය ප්‍රචාරයන්ට, බොරු පුවත්වලට, බොරු දේශපාලන විග්‍රහවලට නොරැවැටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කිරීමටද මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය සූදානම්ය.

කෙසේ වෙතත් පවතින දේශපාලන තත්ත්වය යටතේ මේ මොහොතේ ආණ්ඩුවද සිටින්නේ කිසිසේත්ම පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි දේශපාලන වටපිටාවක නම් නොවේ. පසුගිය කාලය පුරා පැලවත්තෙන් කරන ලද සියලු සමීක්ෂණවලදී ලැබුණු ප්‍රතිචාරය වූයේ පළාත් සභා මැතිවරණය කිසිසේත්ම නොපවත්වන ලෙසත්, යම් හෙයකින් පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් බරපතළ දේශපාලන ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවත්ය. අප අවස්ථා කිහිපයකදීම මේ තොරතුර උදාහරණ සහිතව මීට පෙර ‘රාජ්‍ය රහස්’ තීරයේ වාර්තා කර ඇත්තෙමු. ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා යාපනයට ගිය අවස්ථාවේදී පළාත් සභා මැතිවරණය මේ වසරේ පැවැත්වීමට නොහැකි බවටත්, ඒ සඳහා වෙන්කොට තිබූ මුදල් දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානියට වියදම් කිරීමට සිදුවූ බවටත් ප්‍රකාශ කළේද පක්ෂයෙන් එල්ල වෙමින් තිබූ ඒ බලපෑම නිසාමය. නමුත් ටිල්වින් කී එම කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව ඊට දින දෙක තුනකට පසුව පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමැති නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර සිටියේය. මීට අමතරව පසුගිය සතියේදී අගමැති හරිනි අමරසූරියද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ පළාත් සභා මැතිවරණයට වෙන් කළ මුදල් දිට්වා සුළු කුණාටුව වෙනුවෙන් වියදම් කොට නොමැති බවත්, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් රජය විසින් වෙන්කොට ඇති බවත්ය. කෙසේ වෙතත් ටිල්වින් එක කතාවක් කියද්දී එය ප්‍රතික්ෂේප කරමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්දත්, අගමැති හරිනි අමරසූරියත් මේ ආකාරයට වෙනත් කතාවක් කියා සිටියේ ටිල්වින්ගේ ප්‍රකාශය හරහා ආණ්ඩුවේ දේශපාලන වැඩපිළිවෙළටත්, ආර්ථික ප්‍රතිපත්තියටත් බරපතළ ප්‍රහාරයක් එල්ල වීම අරම්භ වී තිබීම නිසා විය යුතුය.

පටන් ගත් තැන

මෙවැනි පසුබිමක් යටතේ පසුගිය සතියේ දෙමළ මුස්ලිම් පක්ෂ එක මේසයක අසුන් ගත්තේ හදිසියේ සිදුවූ දේශපාලන සිද්ධියක් මත නොව, මාස එකහමාරකට පෙර සිටම පැවැති සාකච්ඡා මාලාවක ප්‍රතිඵලයක් ලෙසය. ඒ අනුව මෙහි පළමු සාකච්ඡාව පැවැතියේ පසුගිය ජුනි 03 වැනිදා තමිල් අරසු කච්චි පක්ෂයේ මහලේකම්වරයා වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාගේ කොළඹ පිහිටි නිවසේය. ඊට දෙමළ මුස්ලිම් පක්ෂ නායකයන් කිහිප දෙනකු හැරුණු විට අනෙක් සියලු දෙනාටම ආරාධනා කිරීමට ඒ සඳහා මූලිකත්වය ගත් තමිල් අරසු කච්චි පක්ෂය කටයුතු කොට තිබිණි. ඒ අනුව ඊට හිතාමතාම මන්ත්‍රීවරුන් සිවුදෙනකුට ආරාධනා නොකිරීමට ඔවුන් කටයුතු කොට තිබිණි. ඉන් පළමු වැන්නා වූයේ උතුරෙන් මෙවර පළමු වරට පාර්ලිමේන්තුවට තේරීපත්වූ අර්චුනා රාමනාදන්ය. දෙවැන්නා වූයේ කාදර් මස්තාන්ය. තුන්වැන්නා ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ය. සිවුවැන්නා ඉම්රාන් මහරූෆ්ය. විවිධ දේශපාලන කරුණු අරමුණු කොට ගෙන මේ සිවුදෙනාට ආරාධනා නොකිරීමට දෙමළ, මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයන් අතර මුල සිටම එකඟත්වයක් තිබිණි.

ඒ අනුව සුමන්තිරන්ගේ නිවසට රැස්වූ අනෙකුත් දෙමළ, මුස්ලිම් පක්ෂ නායකයන් හා නියෝජිතයන් ප්‍රධාන කරුණු 3ක් සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට පියවර ගත්තේය. එම ප්‍රධාන මාතෘකා 3 වූයේ අලුත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම, උතුරු නැගෙනහිර සහ වතුකරයේ දෙමළ ජනතාව මුහුණ දෙන ඉඩම් ප්‍රශ්න විසඳීමය. මෙම මාතෘකා 3 සම්බන්ධයෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදීත්, ඊට පසුවත් මාලිමා ආණ්ඩුවේ ප්‍රධානීන් විසින් ලබාදී තිබූ පොරොන්දු සමුදායක් තිබිණි. එහිදී ජනාධිපතිවරයාත්, ආණ්ඩුවේ අනෙකුත් ප්‍රධානීනුත් යාපනයටම ගොස් ප්‍රසිද්ධියේ ලබාදී තිබූ පොරොන්දුවක් වූයේ අලුත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන බවටත්, වහාම පළාත් සභා මැතිවරණය පවත්වන බවටත්, උතුරේ හමුදාව සතුව තිබෙන ඉඩම් සිවිල් වැසියන් වෙත නිදහස් කිරීමට පියවර ගන්නා බවටත්ය. නමුත් ආණ්ඩුවට වසර 2ක් ගෙවී ඇති නමුත් මේ දක්වා අලුත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමක් හෝ ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන ආකාරයක් දැකගන්නට නැත. පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්ද ආණ්ඩුව සිටින්නේ එය පවත්වනවාට වඩා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළාක් මෙන් නොපවත්වන තැනට වැඩකටයුතු සිදුකරමින්ය. ඉඩම් නිදහස් කිරීමේදී යම් ප්‍රගතියක් අත්කරගෙන ඇති නමුත්, තවමත් උතුරු නැගෙනහිර විශාල භූමි ප්‍රමාණයක් පවතින්නේ ආරක්ෂක අංශ සතුවය.

ඒ අනුව පළමු සාකච්ඡාවේදීම මෙම මාතෘකා 3 මුල්කරගෙන සියලු දෙමළ මුස්ලිම් දේශපාලන පක්ෂ ඒකාබද්ධව කටයුතු කළ යුතු බවට වූ ස්ථාවරයකට සහ එකඟතාවකට පැමිණීමට ඔවුන් පියවර ගෙන තිබිණි. ඒ අනුව තවදුරටත් මේ දේශපාලන පක්ෂ සම්බන්ධීකරණය සඳහා කැඳවුම්කරුවකු පත්කළ යුතු බවට ජීවන් තොණ්ඩමන් කියද්දී හකීම් ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ භාෂා 3ම මනාව හැසිරවිය හැකි එමෙන්ම සියලු දේශපාලන පක්ෂ නායකයන් සමග හොඳ සම්බන්ධතාවක් පවත්වාගෙන යන ශානක්‍යන් රාසමානික්කම් ඊට සුදුසු යැයි කියාය. ඒ අනුව ඊට සියලු දෙනාගේම එකඟතාව හිමිවූ ආකාරයක් දැකගත හැකි විය. අනතුරුව අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතදීත් මේ දෙමළ මුස්ලිම් පක්ෂ නායකයන් හමුවී මෙම මාතෘකා තුන සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීමටත්, ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මේ සම්බන්ධයෙන් රටට දැනුම් දීමටත් තීරණය කොට තිබිණි.

කෙසේ වෙතත් එහිදී තවත් විශේෂ එකඟතාවකට පැමිණීමටද ඔවුහු කටයුතු කළහ. ඒ, පාර්ලිමේන්තුවේදී හෝ ඉන් පිටතදී මතුවන විවිධ ප්‍රශ්නවලදී එකී පක්ෂවලට තමන්ගේ අනන්‍යතාව අනුව තීන්දු තීරණ ගැනීමට කිසිදු බාධාක් නොමැති බවය. නමුත් නව ව්‍යවස්ථාවක් සකස් කිරීම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම, ඉඩම් ප්‍රශ්නය යන මාතෘකා තුනේදී සියලු දෙමළ මුස්ලිම් පක්ෂ එක් ස්ථාවරයකට අනුව කටයුතු කළ යුතු බව මෙහිදී තීන්දු විය.

මීට අමතරව මේ ආකාරයේ දෙමළ මුස්ලිම් පක්ෂ එකතුවකට බලපෑ තවත් විශේෂ කාරණාවක්ද තිබිණි. ඒ, පසුගිය 2019 ජනාධිපතිවරණයේදීත්, 2024 ජනාධිපතිවරණයේදීත් දකින්නට ලැබුණු ඡන්ද ප්‍රතිඵලයය. මෙහිදී 2019දී ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කර තිබුණේත්, 2024දී අනුර කුමාර ජයග්‍රහණය කර තිබුණේ අතිබහුතරයක් වූ දකුණේ සිංහල බෞද්ධ ඡන්ද පදනම් කරගෙනය. එය ප්‍රතිශතයක් වශයෙන් ගත් විට 76%ක් වී තිබිණි. එම ප්‍රතිඵලයේදී සියලු දෙමළ මුස්ලිම් ඡන්ද ප්‍රමාණය 24%කට සීමා වී තිබිණි. ඒ අනුව දෙමළ මුස්ලිම් පක්ෂ අතර කාලයක් තිස්සේ අවධානයට යොමුවූ කරුණක් වී තිබුණේ යම් හෙයකින් එළැඹෙන ජනාධිපතිවරණයද සිංහල බෞද්ධ ඡන්ද පදනම පමණක් උපයෝගී කොට ගනිමින් ජයග්‍රහණය කිරීමට යම් අපේක්ෂකයකු සමත් වුවහොත් එය දෙමළ මුස්ලිම් පක්ෂවල කේවල් කිරීමේ හැකියාවට බරපතළ ප්‍රශ්නයක් වනු ඇති බවය. දෙමළ මුස්ලිම් ජනතාවගේ මතයට සහ හඬට කිසිදු වටිනාකමක් නොලැබෙනු ඇති බවය. ඒ අනුව දැන්ම තියා සියලු දෙමළ මුස්ලිම් දේශපාලන පක්ෂ ඒකාබද්ධ වී සිය හඬට යම් ශක්තියක් ලබාගත යුතු බව ඔවුන්ගේ අදහස වී තිබිණි. මේ දෙමළ මුස්ලිම් පක්ෂවල එකමුතුව පසුපස එම අරමුණද නොතිබුණා නොවේ.

පණිවුඩය ඉන්දියාවෙන්?

මේ අතරවාරයේ ආණ්ඩුවද මේ වනවිට උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් ජනතාවගේ මෙන්ම වතුකරයේ මලෙයිගම් ජනතාවගේ හිත් දිනාගැනීම සඳහා විශේෂ දේශපාලන ව්‍යාපෘති කිහිපයක්ම දියත් කර ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන. මන්ද ආණ්ඩුවේ ස්ථාවරය වී ඇත්තේ ඉදිරියේදී පවත්වන ජාතික මැතිවරණයකදී ඉතිහාසයේ මෙන් නොව දකුණේ සිංහල බෞද්ධ ඡන්ද එකට එක්වෙනවාට වඩා බෙදී යෑමේ ඉඩකඩ වැඩි බවය. එවැනි අවස්ථාවකදී මැතිවරණයක ජයග්‍රහණය තීන්දු කිරීමට බලපාන ප්‍රධාන සාධකය වන්නේ උතුරු නැගෙනහිර සහ වතුකරයේ දෙමළ මුස්ලිම් ඡන්දය. නමුත් මේ රටේ දේශපාලනය ගැන, උතුරු නැගෙනහිර සහ වතුකරයේ දේශපාලන හැසිරීම ගැන දන්නා මෝඩයෙක් නොවන ඕනෑම කෙනකු පිළිගත් සත්‍යය වන්නේ මෙම සියලු දෙමළ, මුස්ලිම් දේශපාලන පක්ෂ සිය දේශපාලන තීන්දු තීරණ ගැනීමේදී ඉන්දියාව සමග තමිල්නාඩුව සමග විශාල වශයෙන් බැඳී ඇති බවය. ඔවුන් සමග සාකච්ඡා කොට තීන්දු තීරණ ගන්නා බවය. ඔවුන්ගෙන් එන පණිවුඩවලට අනුව තීන්දු තීරණ ගන්නා බවය. ඒ අනුව අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම, ඉඩම් ප්‍රශ්නය විසඳීම යන උතුරු නැගෙනහිර සහ වතුකරයේ දෙමළ ජනතාවට බලපාන ප්‍රධානතම කාරණා 3 සම්බන්ධයෙන් ඒකාබද්ධ දේශපාලන සන්ධානයක් බිහිවෙද්දී ඉන්දියාවේ සහ තමිල්නාඩුවේ අනුදැනුම මත එවැන්නක් සිදු නොවනු ඇති බවක් කිසිසේත්ම සිතිය නොහැක. ඒ අනුව ගොඩනැගෙමින් පවතින මේ දේශපාලන බලපෑම හමුවේ දේශපාලනය දන්නා අයට අනුව නම් ලබන වසර ඇතුළතදී ආණ්ඩුවට පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට විශාල බලපෑමක් උතුරු නැගෙනහිරින් සහ වතුකරයෙන් එල්ල වීමට නියමිතය.

ඒ අනුව මෙම අලුත් දේශපාලන සන්ධානයද මේ වනවිට තීරණය කොට ඇත්තේ අලුත් ව්‍යවස්ථාව, පළාත් සභා මැතිවරණය සහ ඉඩම් ප්‍රශ්නය යන මාතෘකා තුන මුල්කරගෙන පළමු අදියරේදී ජනාධිපතිවරයා හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටය. පසුගිය කාලයේ දී මෙන් වචන හරඹවල යෙදෙමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දැමීමට ජනාධිපතිවරයා උත්සාහ දරන්නේ නම් මෙම ප්‍රශ්නය ජාත්‍යන්තරය දක්වා රැගෙන යෑමට මෙම දෙමළ මුස්ලිම් දේශපාලන සන්ධානය දැනටමත් තීරණය කොට අවසානය.

අනුර මොනවද කරන්නේ?

මේ සියලු කරුණු මැද්දේ ජනාධිපතිවරයා මේ දිනවල සිදුකරන්නේ කුමක්ද?

වෙනදා නම් ජනාධිපතිවරයා විවිධ දේශපාලන සිදුවීම් මුල්කරගෙන ප්‍රසිද්ධියේ විවිධ උත්සව අවස්ථාවලදී අදහස් දක්වන ආකාරයක් දැකිය හැකි වුවත්, පසුගිය සති කිහිපය පුරා විවිධ දේශපාලන සිදුවීම් සිදුවුවත් ජනාධිපතිවරයා යම් නිහඬතාවක සිටින ආකාරයක් බොහෝ දෙනාට දැකගන්නට ලැබිණි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණියද එහිදීද අදහස් දැක්වූ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.

කෙසේ වෙතත් ප්‍රසිද්ධියේ ජනාධිපතිවරයා අදහස් දැක්වීමක් සිදු නොකළද, පසුගිය සතියේ ජනාධිපතිවරයා අතිශය තීරණාත්මක සාකච්ඡා දෙකක් අප්‍රසිද්ධියේ පැවැත්වීමට පියවර ගෙන තිබිණි. ඉන් එක් සාකච්ඡාවක් ජනාධිපතිවරයා පැවැත්වූයේ ජවිපෙ සහ මාලිමාව සමගය. දෙවැනි තීරණාත්මක සාකච්ඡාව ජනාධිපතිවරයා පැවැත්වූයේ මුදල් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරයේ ආර්ථික උපදේශකවරුන් සමගය.

මෙහිදී පළමු සාකච්ඡාව ජනාධිපතිවරයා පැවැත්වූයේ මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් සමගය. එහිදී අතිශය වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කොට තිබිණි. විශේෂයෙන්ම 2027 වසරේ අයවැය එළැඹෙන නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බැවින් මෙම සාකච්ඡාවලදී ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නිලධාරීන්ට පැහැදිලිව දැනුම් දීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි.

මෙහිදී ජනාධිපතිවරයා පළමුවෙන්ම නිලධාරීන්ගෙන් විමසා සිටියේ පසුගිය අයවැයවලදී ආණ්ඩුව වැඩි වශයෙන් වියදම් කොට තිබූ ක්ෂේත්‍රයන් මොනවාදැයි කියාය. එහිදී නිලධාරීන් දැනුම් දී තිබුණේ ආණ්ඩුව වැඩි වශයෙන් වියදම් දරා තිබුණේ සෞඛ්‍යය සහ අධ්‍යාපනය වෙනුවෙන් යැයි කියාය. එහිදී ජනාධිපතිවරයා නැවතත් නිලධාරීන්ගෙන් විමසා සිටියේ ආණ්ඩුව පසුගිය කාලවලදී ප්‍රවාහන ක්ෂේත්‍රය වෙනුවෙන් කොපමණ මුදලක් වෙන්කොට තිබුණාදැයි කියාය. ඊට ප්‍රතිචාර දක්වමින් නිලධාරීන් කියා සිටියේ අවම වශයෙන් අයවැයෙන් 1%ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් ප්‍රවාහනය වෙනුවෙන් වෙන් කිරීමට මෙතෙක් පැවැති ආණ්ඩු කටයුතු කොට තිබූ බවකි. නමුත් මෙහිදී නිලධාරීන්ගෙන් ලැබුණු මෙම පිළිතුරත් සමග ජනාධිපතිවරයා ලබාදුන්නේ සියලු දෙනාම මවිත වන ආකාරයේ පිළිතුරකි.

‘ප්‍රතිපත්තියක් විදියට මමත්, අපේ ආණ්ඩුවත් මේ වෙද්දී තීන්දුක් අරන් තියෙනවා ප්‍රවාහනය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරන්න. අපේ රටේ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ ප්‍රවාහනය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නය. ඊළඟ අයවැයේදී අපි ප්‍රවාහනය පැත්තෙන් ලොකු වෙනසක් කරන්න ඕනේ. බස් සේවය, දුම්රිය සේවය ඉහළම තැනකට ගේන්න අපි කටයුතු කරන්න ඕනේ. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. සාමාන්‍ය ජනතාවට හොඳ ප්‍රවාහන සේවයක් ලැබෙනවා නම් වාහන ගන්න කෝටි ගණන් සල්ලි වියදම් කරන්න ඕනේ නෑ. අපේ අසල්වැසි රටවලත්, ලෝකයේ වෙනත් රටවලත් ඉහළ මට්ටමේ පොදු ප්‍රවාහන සේවයක් තියෙනවා. හැබැයි අපේ තාමත් තියෙන්නේ පොදු ප්‍රවාහන සේවය කිසිසේත්ම පිළිගන්න පුළුවන් තැනක නෙවෙයි. අපේ ඉලක්කය තමයි තව අවුරුදු 8ක් ඇතුළත මේ තියෙන සියලු පරණ බස් පාරෙන් ඉවත් කරන එක. ඒක අවුරුද්දෙන් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා අපි දන්නවා. හැබැයි දැනටමත් අපි ඒකට ආරම්භය අරගෙනයි තියෙන්නේ. මේ වෙද්දී සියලු මාර්ගවලට ජනතාවගේ ගමනාගමන පහසුව සඳහා අපි මෙට්‍රෝ බස් ගේන්න සැලසුම් කරලයි තියෙන්නේ. ඒක අපි ඉදිරි අවුරුදු 8 ඇතුළත දිගටම ක්‍රියාත්මක කරනවා. මේ තියෙන පරණ බස් ඔක්කොම අයින් කරලා ජනතාවගේ පහසුවට අලුත් ප්‍රවාහන සේවයක් මේ රටේ ඇතිකරනවා…’ යැයි කී ජනාධිපතිවරයා දුම්රිය සේවය දියුණු කරන ආකාරය සම්බන්ධයෙන්ද නිලධාරීන් හමුවේ අහස් පළ කළේය.

‘ඒ වගේම විශාල ජනතාවක් කාර්යාලවලට එන කොටුව – රාගම, කොටුව – පානදුර, කොටුව – කොට්ටාව යන ප්‍රදේශ මුල්කරගෙන විදුලි දුම්රිය සේවයක් ක්‍රියාත්මක කරන්න අපි තීන්දු කරලා තියෙනවා. දැනටමත් අපි දුම්රිය දෙපාර්තමේන්තුවත් එක්ක මේ ගැන සාකච්ඡා කරලයි තියෙන්නේ. ඒ ව්‍යාපෘතිය අවුරුදු 4කින් අවසන් කරන්න අපිට පුළුවන් කියලා දැනුම් දීමක් කරලා තියෙනවා. ඒක කාර්යාලවලට එන ජනතාවට විශාල ප්‍රයෝජනයක් වේවි…’ යනුවෙන් ජනාධිපතිවරයා එහි නිලධාරීන්ට කියා සිටියේය.

මුලින් ටෙන්ඩර්-සල්ලි පස්සේ

මීට අමතරව අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සිදුවන ප්‍රමාදයන්ට හේතුවන විශේෂ කාරණාවක් පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී අදහස් ප්‍රකාශ කර සිටියේය.
‘අපි යම් ව්‍යාපෘතියකට අයවැයෙන් මුදල් වෙන් කළාට ඒ මුදල් පාස් වුණාම තමයි අදාළ අමාත්‍යාංශය එම ව්‍යාපෘතියට ටෙන්ඩර් කැඳවන්නේ. එතකොට ඒ යෝජනාව ක්‍රියාත්මක කරන්න අවුරුද්දක විතර කාලසීමාවක් යනවා. ඒ කාලය අපරාධයක්. ඒ හින්දා අපි නිශ්චිත වශයෙන් ක්‍රියාත්මක කිරීමට තීරණය කරලා තියෙන ව්‍යාපෘතිවලට දැන්ම තියලා ටෙන්ඩර් කැඳවන්න කටයුතු කරන්න. එතකොට ඒ ටෙන්ඩර් පටිපාටිය ක්‍රියාත්මක කරන්න කොහොමත් මාස හත අටක කාලයක් යනවා. ඒ වෙද්දි අපිට පුළුවන් අයවැයෙන් ඒ ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් වෙන්කරලා ඉන්න. එතකොට අයවැය සම්මත වෙච්ච ගමන්ම ඒ ව්‍යාපෘතිය ආරම්භ කරන්නත් අපිට පුළුවන්. එතකොට අවුරුද්දක විතර කාලයක් ඉතුරු කරගෙන ඉතාමත් ඉක්මනින් ව්‍යාපෘතියේ වාසිය ජනතාවට ලබාදෙන්නත් අපිට පුළුවන්. ඒ නිසා මහා භාණ්ඩාගාරය මොන ව්‍යාපෘතිවලටද මුදල් වෙන්කරන්න තීන්දු කරලා තියෙන්නේ කියලා දැන්ම ඒ ඒ අමාත්‍යාංශවලට ලිඛිතව දැනුම් දෙන්න. එතකොට ඒ අයට ටෙන්ඩර් කටයුතු දැන්ම තියා පටන්ගන්න පුළුවනි…’ යන්න එහිදී ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාර සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දී තිබූ කාරණාව විය.

ලොකු කැම්පේන් එකක් එනවා

ඉන් පසු ජනාධිපතිවරයා සහභාගි වූ ප්‍රධාන සාකච්ඡාව වූයේ ජවිපෙ සහ මාලිමාවේ ප්‍රධානීන් සමග පැවැත්වූ සාකච්ඡාවය. මෙහිදී රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සහ අර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් එහිදී ඉතා දීර්ඝව අදහස් හුවමාරු වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව අවසානයේදී තීන්දු වූයේ ජාතික තලයේ මැතිවරණයක් නොපැවැත්වුණද මුළු රටම ආවරණය වන පරිදි දැවැන්ත දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටය. එහිදී ජනාධිපතිවරයාගේ සහ මාලිමාවේ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් දිස්ත්‍රික් මට්ටමින් දැවැන්ත රැලි කිහිපයක් පැවැත්වීමටත්, මුළු රටම ආවරණය වන පරිදි නිවසින් නිවසට ගොස් ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත් එහිදී තීන්දු විය. එය මාස 3ක පමණ කාලයක් පුරා එක දිගට පැවැත්වීමටත් එහිදී තීන්දු වී තිබිණි. එම රැලිවලට ජනාධිපතිවරයා සහභාගි වන්නේ කෙසේද, පක්ෂ දෙකේ නායකයන් සහභාගි වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී යම් ඒකාබද්ධ කාලසටහනක් සකස් කිරීමටත් යෝජනා වී ඇති ආකාරයක් දැනගන්නට ඇත.

ආණ්ඩුව මෙසේ හිටිහැටියේම රට පුරා දේශපාලන රැලි පැවැත්වීමට ගනු ලැබූ තීන්දුව පසුපස ඇත්තේ කුමක්ද? ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට උතුරු නැගෙනහිර සහ වතුකරයේ දෙමළ දේශපාලන පක්ෂවලින් දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවක් ජනාධිපතිවරයාට දැනී ඇති නිසාද?

පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල්දමා ගැනීම සඳහා ආණ්ඩුව පැත්තෙන් තේරීම් කාරකසභා පත්කිරීම වැනි විවිධ දේශපාලන උපායමාර්ග ක්‍රියාත්මක කළද, ඒවා වැඩි කල් ඇදගෙන යා නොහැකි බව ආණ්ඩුව විසින් වටහාගෙන ඇති බව අප මීට පෙර මෙම තීරයෙන් වාර්තා කිරීමට කටයුතු කළෙමු. එම නිසා කුමන හෝ ප්‍රබල පාර්ශ්වයකින් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට බලපෑම් එල්ල කිරීමේ අවදානම පිටතට නොපෙන්වා ජනාධිපතිවරයා දැන් තියාම ඊට සූදානම් වන ආකාරයක් මේ සිදුවීම් පසුපස ඇතිද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනාට විශාල සැකයක් මතුව ඇති ආකාරයක්ද දැකගැනීමට පුළුවන.

ප්‍රංශ ගමන කැන්සල්

මේ අතරවාරයේ මීගමු බන්ධනාගාරයේ ගැටුම මුල් කරගෙන බොහෝ දෙනාගේ අවධානයෙන් ගිලිහුණු තවත් ප්‍රධාන මාතෘකාවක්ද පසුගිය සතියේ විවිධ පාර්ශ්ව අතර සාකච්ඡාවට ලක්වී තිබිණි. ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරයය. එම සංචාරය පසුගිය 13 වැනි දින සිදුකිරීමට නියමිතව තිබුණත්, කිසිදු හේතුවක් නොදක්වා හදිසියේම එය අත්හිටුවූ ආකාරයක් දැකගන්නට ලැබිණි. මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සාකච්ඡා නොවුණත්, බොහෝ දෙනා තුළ ඊට බලපෑ හේතු සම්බන්ධයෙන් විශාල කුතුහලයක් මතුව තිබූ ආකාරයක් පසුගිය සතියේදී දැකගන්නට ලැබිණි.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රංශ ගමන තීන්දු වූයේ නවදිල්ලියේ පැවැති රැස්වීමක් අතරතුරදීය. එහිදී ජනාධිපතිවරයාට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතා හමුවූ අවස්ථාවේදී ප්‍රංශයේ සංචාරයක නිරත වන ලෙස ආරාධනා කිරීමටද කටයුතු කොට තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයාද සිටියේ ප්‍රංශයේ සංචාරය කිරීමට බොහෝ කැමැත්තෙනි. ජනාධිපතිවරයා එම ප්‍රංශ සංචාරයට කෙතරම් උනන්දු වූවාද කියනවා නම් එතෙක් ප්‍රංශයේ වැඩ බලමින් සිටි ශ්‍රී ලංකා තානාපතිවරයා වෙනුවට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ස්ථිර තානාපතිවරයකු ලහිලහියේ පත්කිරීමටද ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි.

නමුත් ජනාධිපතිවරයාද ඉතා කැමැත්තෙන් පසුවූ මෙම ප්‍රංශ සංචාරය හදිසියේම අවලංගු වූයේ ඇයි?

මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් හෝ විදේශ කටයුතු අමාත්‍යාංශය පාර්ශ්වයෙන් හෝ ප්‍රංශ රජය පාර්ශ්වයෙන් හෝ සිදුවී ඇති ආකාරයක් දැකගන්නට නැත. නමුත් විදේශ ඇමැති විජිත හේරත් උපුටා දක්වමින් හදිසි කටයුතු කිහිපයක් මුල්කරගෙන ජනාධිපතිවරයාගේ මෙම ප්‍රංශ සංචාරයේ දින වකවානු වෙනස් කිරීමට සිදුව ඇති බවටත්, එම සංචාරය ඉදිරි දිනකදී සිදුවනු ඇති බවටත් විදෙස් මාධ්‍ය සඳහන් කොට තිබුණි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ සොයාබැලීමකදී යම් යම් පාර්ශ්වයන් ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය අවලංගු වීම සම්බන්ධයෙන් සැකසංකා කිහිපයක්ම මතුකොට තිබුණු ආකාරය දැකගන්නට ලැබිණි. ඉන් එක් සැකයක් වී ඇත්තේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ඉරානයට යළි ප්‍රහාර එල්ල කිරීම මීට එක් හේතුවක් වී ඇති බවකි. ඇමෙරිකා ඉරාන යුද්ධය යළි ආරම්භ වීමත් සමග ප්‍රංශයද මේ වනවිට සිටින්නේ දැඩි අර්බුදයකට ලක්වය. ඒ අනුව ප්‍රංශ ජනාධිපතිවරයා විසින් මෙම හමුව අවලංගු කොට වෙනත් දිනයක් ලබාදීමට තීරණය කොට ඇති බවක් එක් ආරංචි මාර්ගයකින් පැවැසේ.

ජී.එස්.පී. ප්ලස් අනතුරේ

තවත් ආරංචි මාර්ගයක් කියන්නේ පිටතට නොපෙනුණාට මීගමු බන්ධනාගාරය තුළ සිදුවූ බරපතළ සිදුවීම ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය අවලංගු වීම සඳහා තවත් හේතුවක් වී ඇති බවකි. වැඩි ප්‍රසිද්ධියක් නොලැබුණාට මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ ඝාතන සම්බන්ධයෙන් යුරෝපා කොමිසම මේ වනවිට ලංකාවේ පාර්ශ්වයන් විශාල වශයෙන් ප්‍රශ්න කිරීම්වලට ලක්කොට ඇති ආකාරයක් වාර්තා වේ. දැනටමත් යුරෝපා කොමිසම ආණ්ඩුවට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්වයන්ගෙන් ඒ පිළිබඳ බරපතළ විමසුම් සිදුකොට ඇති ආකාරයක්ද දැනගන්නට ඇත. එමෙන්ම ඊට අදාළ වාර්තාද ඔවුන් ලංකාව පාර්ශ්වයෙන් ඉල්ලා ඇති ආකාරයක්ද දැනගන්නට තිබේ.

බොහෝ දෙනා සඳහන් කරන්නේ යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ජී.එස්.පී. ප්ලස් සහනය සඳහා මීගමුව බන්ධනාගාරයේ ගැටුම ඉතා අහිතකර ආකාරයට බලපානු ඇති බවකි. ජී.එස්.පී. ප්ලස් සහනය යුරෝපා කොමිසම මගින් ලංකාවට ලබාදී ඇත්තේ ප්‍රධාන වශයෙන්ම මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මතය. මෙම සහනය ලබන මාර්තු මාසයේදී අවසන් වීමට නියමිතව ඇති අතර, එය යළිත් දීර්ඝ කරගැනීම සඳහා දැනටමත් ලංකාව යුරෝපා කොමිසම සමග අලුත් සාකච්ඡා වටයක් ආරම්භ කොට ඇති ආකාරයක්ද දැකගැනීමට පුළුවන. නමුත්, යුරෝපා කොමිසම මේ වනවිටත් දැනුම් දී ඇත්තේ මීගමුව බන්ධනාගාරයේ සිද්ධියේදී බැලූ බැල්මටම ඉතා බරපතළ ලෙස මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම් සිදුව ඇති බවකි. එම නිසා දැනටමත් බොහෝ පාර්ශ්වයන්ගෙන් ජී.එස්.පී. ප්ලස් සහනය ලංකාවට ලබා නොදෙන ලෙස යුරෝපා කොමිසමට බලපෑම් එල්ල වී ඇති ආකාරයක්ද වාර්තා වේ.

මීට අමතරව ලබන සැප්තැම්බර් මාසයේදී ජිනීවා මානව හිමිකම් කොමිසම් රැස්වීමේදීද මෙම මීගමුව බන්ධනාගාරයේ ප්‍රශ්නය බරපතළ ලෙස සාකච්ඡා වීමට නියමිතව ඇති බවක් විශ්වාසකටයුතු ආරංචි මාර්ගවලින් ‘රාජ්‍ය රහස්’ තීරය වෙත දැනගන්නට තිබේ. එහිදී ප්‍රබල රටවල් රැසක්ම මීගමු බන්ධනාගාර සිද්ධිය මුල්කරගෙන ලංකාවට එරෙහි යෝජනාවක් ගෙන ඒමට උත්සාහ දරමින් සිටින ආකාරයක්ද මේ වනවිට දැකගන්නට ඇත. මෙම සිදුවීම්ද ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය හදිසියේම කල්දැමීමට හේතු වූ බවක් බොහෝ දෙනාගේ අදහස වී තිබේ. නමුත් තවමත් ඒ සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයකින් නිල ප්‍රකාශයක් සිදුව නැති නිසා බොහෝ දෙනා තුළ ඒ සම්බන්ධයෙන් විශාල කුතුහලයක් මතුව ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන.

65ම විරුද්ධයි

පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ආණ්ඩුව සිදුකිරීමට යන අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වසර 2කින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවට එරෙහිව අධිකරණ ක්ෂේත්‍රය තුළින්ම එල්ල වී ඇති විරෝධය සම්බන්ධයෙන් විශේෂ තොරතුරු රැසක් අනාවරණ කිරීමට අපි පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ආසියානු නීතිඥ සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලයීය නීතිඥ සංගමය, මහෙස්ත්‍රාත් අධිකරණ, මහාධිකරණ නීතිඥ සංගම් ඊට ප්‍රසිද්ධියේම විරෝධය පළකොට ඇති බවත්, අධිකරණ විනිසුරුවන්ගේ නියෝජිතත්වයෙන් යුත් අධිකරණ සේවා සංගමයේ මහාසභා රැස්වීම ලබන 18 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති බවත්, එහිදී මේ සම්බන්ධයෙන් ගනු ලබන තීන්දුව පිළිබඳ ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ දැඩි අවධානය යොමුව ඇති බවත්ය. මෙම අධිකරණ සේවා සංගමයට මහෙස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන් සහ දිසා අධිකරණවල විනිසුරුවරුන් අන්තර්ගත වන බවද අපි එහිදී සඳහන් කර සිටියෙමු.

කෙසේ වෙතත් මෙහිදී අපට යම් අත්වැරැදීමක් සිදුව තිබිණ. ඒ, එම මහාසභා රැස්වීම පවත්වන දිනය වශයෙන් 18 වැනි සෙනසුරාදා සඳහන් කර තිබීමය. නමුත් සැබැවින්ම එය පැවැතියේ පසුගිය සතියේ 11 වැනි සෙනසුරාදාය.

ඒ අනුව අප අනාවරණ කළ පරිදිම මෙම අධිකරණ සේවා සංගමයේ මහාසභා රැස්වීම අතිශය තීරණාත්මක එකක් මෙන්ම අතිශය ආන්දෝලනාත්මක එකක්ද විය. ඊට හේතු වූයේ මහාසභා රැස්වීම පැවැත්වීමට පැය 24ක් තබා එහි සභාපතිවරයා වශයෙන් කටයුතු කළ විනිසුරු පසන් අමරසේන මහතා ලිපියක් ලියා තබමින් තමන් එම ධුරයෙන් ඉවත් වන බවට දැනුම් දී සිටීමය. නමුත් සභාපති විනිසුරුවරයා ඉවත් වුවද, ලේකම් විනිසුරුවරයාගේ මූලිකත්වයෙන් කලින් තීන්දු කරගත් පරිදි සෙනසුරාදා පැවැති මහාසභා රැස්වීමට නියෝජිතයන් 65 දෙනකු සහභාගි වී සිටි ආකාරයක් දැකගත හැකි විය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ රැස්ව සිටි මෙම සාමාජිකයන් 65 දෙනාම උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ යෝජනාවට ඒකමතිකව විරෝධය පළකොට තිබීමය. එම පුවතට සෙනසුරාදා දිනයේදීම විශාල ප්‍රසිද්ධියක් ලැබුණු ආකාරයක්ද සියල්ලන්ටම දැකගන්නට හැකි විය. එමෙන්ම බොහෝ දෙනා එය හැඳින්වූයේ ආණ්ඩුව ලැබූ විශාල පසුබෑමක් ලෙසටය. එමෙන්ම අධිකරණ ක්ෂේත්‍රය තුළින්ම ආණ්ඩුවට එල්ල වූ විශාල පහරක් ලෙසටය.

මුට්ටිය දාලා බැලුවාද?

කෙසේ වෙතත් අධිකරණ සේවා සංගමයේ මහාසභා රැස්විමේදී මෙවැනි තීන්දුවක් ගනු ඇති බවට කල්තියාම තොරතුරු ලැබී තිබීම නිසාදෝ සෙනසුරාදා දිනයේදීම නමක් ගමක් නොමැතිව කොහෙන්දෝ පළවූ පුවතකින් කියැවුණේ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ පමණක් නොව, සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ කාලය අවුරුදු 2කින් දීර්ඝ කිරීමට සැලසුම් කොට ඇති බවකි. බොහෝ දෙනා එම පුවත දුටු සැණින්ම කියා සිටියේ ඔන්න ආණ්ඩුව මුට්ටිය දාලා බලන්න පටන් අරන් යැයි කියාය. ඊට හේතු වූයේ එම පුවත කිසිදු නිල පිළිගත හැකි මූලාශ්‍රයකින් පළ වී නොතිබීම නිසාය.

කෙසේ වෙතත් එම සිදුවීම හරහා එක් කරුණක් සිදුවිය. ඒ, උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීමට ආණ්ඩුව ගෙනගිය මෙහෙයුම යටපත් වූ ආකාරයක් දැකගන්නට ලැබීමය. ඊට හේතු වී තිබුණේ මේ වනවිට එය උපරිමාධිකරණ විනිසුරුවරුන්ට පමණක් සීමා නොවී සියලු අධිකරණ විනිසුරුවරුන්ට බලපාන පරිදි සිදුකිරීමට නියමිතව ඇති බවට සමාජ මාධ්‍ය මගින් පුවත් පළකොට තිබීමය.

සජිත් සටනට බහී

කෙසේ වෙතත් මේ සම්බන්ධ තවත් විශේෂ පුවතක් පළමු වරට අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිදරව් කිරීමට සූදානම්ය. ඒ, විනිසුරුවරුන්ගෙන් සමන්විත වූ අධිකරණ සේවා සංගමයේ මහාසභා රැස්වීමට දින කිහිපයකට පෙරාතුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කිසිදු ප්‍රසිද්ධියකින් තොරව මීට අදාළව සිදුකළ මෙහෙයුමක් පිළිබඳවය. ඒ අනුව කවදාවත් නොකළ ආකාරයට සජිත් මෙම උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීන්දුවට එරෙහිව සමස්ත විපක්ෂයම එකමුතු කිරීමේ මෙහෙයුමට පසුගිය සතියේ අත තිබ්බේය. මේ සම්බන්ධයෙන අප ඉකුත් සතියේ තවත් කරුණක් අනාවරණ කරමින් කියා සිටියේ පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වශයෙන් නාමල් රාජපක්ෂ මහතාද මේ සම්බන්ධයෙන් තොරතුරු පැහැදිලි කරමින් සජිත්ට ලිපියක් එවා තිබූ බවකි.

ඒ අනුව සජිත් පසුගිය සතියේ විපක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ට පමණක් නොව, පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ නායකයන්ටද පෞද්ගලිකවම දුරකතන ඇමතුම් ලබාදෙමින් මේ සම්බන්ධයෙන් අලුත් සාකච්ඡා වටයක් ආරම්භ කිරීමට පියවර ගත්තේය. ඒ අනුව මුලින්ම සජිත් කතා කළේ රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් සහ එම්.ඒ. සුමන්තිරන් යන පක්ෂ නායකයන්ටය. ඉන් අනතුරුව අර්චුනා රාමනාදන්, ගජේන්ද්‍රන් පොන්නම්බලම් සහ ඩග්ලස් දේවානන්දා යන මහත්වරුන්ටද සජිත් දුරකතන ඇමතුම් ලබාදීමට පියවර ගත්තේය. එපමණක් නොව, සිලින්ඩරය නියෝජනය කරමින් පාර්ලිමේන්තු පැමිණි චාමර සම්පත් දසනායකටද සජිත් මේ සම්බන්ධයෙන් කතා කළේය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ එජාප නායක රනිල් වික්‍රමසිංහට සහ පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂටද දුරකතන ඇමතුම් ලබාදෙමින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සජිත් පියවර ගැනීමය.

මෙම සාකච්ඡාවේදී ආණ්ඩුව ගෙන යන මෙම වැඩපිළිවෙළ පරාජයට පත්කිරීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක අවශ්‍යතාව පෙන්වා දුන් සජිත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා ලබන 23 වැනිදා විපක්ෂ නයක කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් සංවිධාන කොට ඇති බවත්, ඊට සහභාගි වන ලෙසත් සියලු දෙනාට දැනුම්දී සිටියේය. සාකච්ඡාවට එක්වූ සියලු දෙනාගෙන්ම ඊට පළවූයේ යහපත් ප්‍රතිචාරයකි.

අධිකරණ සේවා සංගමයේ තීන්දුව ආවේද සජිත් මේ ආකාරයට විපක්ෂයේ සියලු පක්ෂ නායකයන්ට දුරකතන ඇමතුම් ලබාදෙමින් සිටි අතරවාරයේය. ආණ්ඩුව අධිකරණ සේවා සංගමයේ තීන්දුවෙන් තිගැස්මකට ලක්වූවාද එසේත් තැන්තම් විපක්ෂයේ සියලු පක්ෂ ආණ්ඩුවේ මෙම තීන්දුවට එරෙහිව ඒකාබද්ධ කිරීමට සජිත් ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් තිගැස්මකට ලක්වූවාද යන්න පැහැදිලි නැතත්, උපරිමාධිකරණ විනිසුරුවරුන්ට පමණක් සිදුකිරීමට නියමිතව තිබූ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සියලු විනිසුරුවරුන්ට බලපාන පරිදි දීර්ඝ කරන බවට වූ පුවත කරළියට පැමිණියේ ඉන් පසුවය.

කෙසේ වෙතත් තවමත් ආණ්ඩුව පැත්තෙන් හෝ ජනාධිපතිවරයාගේ පැත්තෙන් මේ සම්බන්ධයෙන් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් වී නොමැත. කැබිනට් මාධ්‍ය හමුවේදී පවා ප්‍රකාශයට පත්වූයේ මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවක් සිදුවූ බව පමණි. ඒ අනුව අපද මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය කුමක්ද යන්න පිළිබඳ කිසියම් සොයාබැලීමක නිරත වීමු. ඒ අනුව අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ජනාධිපතිවරයාද අඩියක් පසුපසට ගෙන උපරිමාධිකරණ විනිසුරුවරුන්ට පමණක් නොව සියලු විනිසුරුවරුන්ට බලපාන පරිදි විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට එකඟතාව පළකොට ඇති බවකි. එය ඉදිරියේදී පාර්ලිමේන්තුව හරහා යෝජනා සම්මතයකින් සිදුකිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.

මහින්ද එනවා

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිර්ගාමර් මහතාගෙන් පසු මෑත කාලයේ ලංකාවේ බිහිවූ විශිෂ්ටතම රාජ්‍යතාන්ත්‍රිකයා කවුරුන්ද යන්න පිළිබඳ කිසිවකු විමසුවහොත් කිසිදු පැකිලීමකින් තොරව දේශපාලනය ගැන දන්නා කියන සියලු දෙනාම පිළිතුරු දෙනු ඇත්තේ මහින්ද සමරසිංහ මහතා යැයි කියාය. මන්ද, ඒ තරමටම කදිර්ගාමර් මහතා මෙන්ම මහින්ද සමරසිංහද ලංකාව මුල්කරගෙන ජාත්‍යන්තර දේශපාලනයේ තැන් කිහිපයකදීම නොමැකෙන ලෙස සිය නම තැබූ දේශපාලනඥයෙක් වීම නිසාය. 2009 යුද ජයග්‍රහණයෙන් පසුව ජිනීවා මානව හිමිකම් කොමිසමට ලංකාව සම්බන්ධයෙන් යුද අපරාධ චෝදනාවක් එල්ල වූ අවස්ථාවේදී ඉතිහාසයේ පළමු වතාවට සියලු රටවල් එකමුතු කොටගෙන ඡන්දයකට ගොස් එම යෝජනාව පරාජයට පත්කිරීමට මහින්ද සමරසිංහ සමත් විය. ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩු කාලයේ විදේශ අමාත්‍යවරයා වශයෙන් රාජකාරි කළ මහින්ද සමරසිංහ පසුව ඉන් ඉවත් වී ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කිරීමට පියවර ගත්තේය.

එසමයේදී කොරෝනා වසංගතයෙන් ලංකාව බරපතළ අර්බුදයකට ලක්වෙද්දීත්, පසුව ආර්ථික අර්බුදය හේතුවෙන් රට බංකොලොත් වෙද්දීත් ඇමෙරිකානු තානාපතිවරයා වශයෙන් මහින්ද සමරසිංහ අමෙරිකාවෙන් විශාල ආධාර ප්‍රමාණයක් ලංකාවට රැගෙන ඒමට සමත් විය. ඒ දැක්වූ දක්ෂතාව නිසාම ගෝඨාගෙන් පසු බලයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාද මහින්ද සමරසිංහව ඇමෙරිකානු තානාපති ධුරයේ තැබීමට පියවර ගත්තේය.

ඉන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වීමෙන් පසු බොහෝ දෙනා සිතා සිටියේ මහින්ද සමරසිංහටද ඇමෙරිකානු තානාපති ධුරයට ආයුබෝවන් කීමට සිදුවනු ඇතැයි කියාය. අනුර සියලු තානාපතිවරුන් නැවත මෙරටට කැඳවීමට පියවර ගත්තද, තවදුරටත් සේවයේ තබාගත් අතළොස්සක් දෙනා අතර මහින්ද සමරසිංහද ඉදිරියෙන් සිටියේය. ජවිපෙ වාමාංශික පක්ෂයක් බැවින් බොහෝ දෙනා ලංකාව, චීනය සහ රුසියාව සමග සබඳතා තර කරගනු ඇති බව සිතා සිටියත්, මහින්ද සමරසිංහ ඒ සියල්ල හිතලු බවට පත්කරමින් ඇමෙරිකාව සහ අනුරගේ වමේ ආණ්ඩුව අතර ඉතා සමීප සබඳතාවක් ඇතිකරලීමට මූලිකත්වය ගත්තේය. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ළඟම හිතවතා වූ දකුණු හා මධ්‍යම ආසියානු කලාප භාර රාජ්‍ය ලේකම් සර්ජියෝ ගෝර් සහ ජනාධිපතිවරයා අතර අතිශය සමීප සබඳතාවක් ඇතිකරලීමට මහින්ද සමරසිංහ පියවර ගත්තේය.

එමෙන්ම පසුගිය කාලයේදී ට්‍රම්ප් පරිපාලනය ලංකාව ඉලක්ක කරගෙන තීරුබදු පැනවූ අවස්ථාවේදී එය 44% සිට 19% දක්වා අඩුකර ගැනීමට මහින්ද සමරසිංහ පියවර ගත්තේය. එමෙන්ම ඇමෙරිකාවෙන් වෙරළාරක්ෂක හෙලිකොප්ටර් යානා සහ නෞකා රැසක් ඇමෙරිකාවෙන් ලංකාවට ලබාදීමට මහින්ද සමරසිංහ මූලිකත්වය ගත්තේය.

කෙසේ වෙතත් මේ ආකාරයේ දැවැන්ත වැඩකොටසක් ලංකාව වෙනුවෙන් සිදුකළද, තනතුරෙන් ඉවත් වීම සඳහා තවත් කාලයක් තිබුණද මහින්ද සමරසිංහ තීරණය කොට තිබුණේ මෙම මස අවසන් වනවිට සිය ධුරයෙන් විශ්‍රාම යෑමටය. මේ බව පළමුවෙන්ම රටට හෙළිදරව් කිරීමට කටයුතු කළේ ‘රාජ්‍ය රහස්’ තීරයය.

කෙසේ වෙතත් මහින්ද සමරසිංහ ඇමෙරිකානු තානාපති ධුරය දරද්දී එරට සියලු බෞද්ධ විහාරස්ථානවලට සහ භික්ෂුන් වහන්සේලාට විශාල වශයෙන් උපකාර කළ අයෙකු ලෙස ප්‍රකටය. මේ හේතුව නිසා මහින්දගේ විශ්‍රාම යෑම වාර්තා වීමත් සමග වොෂින්ටන් ඩීසී ප්‍රදේශයේ සහ කැලිෆෝනියාවේ බෞද්ධ විහාරස්ථාන සියල්ල නියෝජනය කරමින් මහා සංඝරත්නය පසුගිය සෙනසුරාදා දිනයේදී මහින්ද සමරසිංහ මහතාට උපහාර උත්සවයක් සංවිධාන කිරීමට පියවර ගෙන තිබිණි. ඒ, වොෂින්ටන් බෞද්ධ විහාරයේදීය. මෙම වොෂින්ටන් බෞද්ධ විහාරය ු ලංකාවේ ප්‍රකට හිමිනමක් වූ පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ හිමියන් විසින් ආරම්භ කරන ලද්දකි. එක්සත් ජනපදයෙන් පිටව යන ශ්‍රී ලංකා තානාපතිවරයෙකුගේ සේවයට උපහාර දැක්වීම සඳහා මෙම අගනගර ප්‍රදේශයෙන් සහ ඉන් ඔබ්බට ව්‍යාප්තව සිටින පූජ්‍ය මහා සංඝරත්නය එක්රැස් වූ පළමු අවස්ථාව මෙය විය. රැස්ව සිටි පිරිස ඇමතූ තානාපති සමරසිංහ මහතා, වොෂින්ටන් ඩී.සී.හි තම සේවා කාලය තුළ ලැබූ අත්දැකීම් සහ තමා මුහුණ දුන් අභියෝග බෙදා ගත් අතර, තම රාජකාරි සාර්ථකව ඉටු කිරීමේදී මහා සංඝරත්නය සහ ශ්‍රී ලාංකික ප්‍රජාව දැක්වූ සහයෝගය අගය කළේය. සිය මාතෘ භූමිය වෙනුවෙන් සිය සේවය තවදුරටත් ලබාදීමට කැප වන බව තානාපතිවරයා මෙහිදී නැවත තහවුරු කළේය.

වොෂින්ටන් බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය මහරගම ධම්මසිරි හිමියන්ගේ මග පෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම උත්සවය සඳහා බෞද්ධ භික්ෂුන් වහන්සේලා 16 නමක්, ශ්‍රී ලාංකික ප්‍රජාව සහ සුබ පතන්නන් රැසක් සහභාගී වූහ.

කෙසේ වෙතත් මෙහිදී සිදුකළ කතාවේදී මහින්ද සමරසිංහ විශේෂ කරුණු රැසක්ද පළමු වරට හෙළිදරව් කිරීමට පියවර ගත්තේය. එහිදී මහින්ද කියා සිටියේ කිසිවකුත් තමන්ට තනතුරෙන් ඉවත් වීමට දැනුම් නොදුන් බවත්, තමන්ගේ අවශ්‍යතාව මත පමණක්ම එම තනතුරෙන් ඉවත් වීමට තමන් තීන්දු කළ බවත්ය. එමෙන්ම සිය අවසන් කතාව කරද්දී මහින්ද රට වෙනුවෙන් කළ තවත් විශාල කර්තව්‍යයක් සම්බන්ධයෙන් යම් ඉඟියක් පළකිරීමට පියවර ගත්තේය. එහිදී ඔහු කියා සිටියේ 19%ක් වූ තීරුබද්ද සම්බන්ධයෙන්ද ඉදිරියේදී තවත් සුබදායී පුවතක් ශ්‍රී ලංකාවට අසන්නට ලැබෙනු ඇති බවය.

මේ අතර, පසුගිය සතියේදී මහින්ද සමරසිංහ මහතා තවත් විශේෂ රාජකාරියක්ද සිදුකළේය. ඒ, එක්සත් ජනපදයේ 250 වැනි නිදහස් සංවත්සරය සංවිධාන කිරීම සඳහා තානාපති කාර්යාලය මගින් ප්‍රකාශයට පත්කරන ලද ‘කොෆි ටේබල්‘ ග්‍රන්ථයෙහි පළමු පිටපත ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු භාර රාජ්‍ය ලේකම් ඇලිසන් හුකර් මහත්මිය වෙත පිළිගැන්වීමට කටයුතු කිරීමය. එහිදී හුකර් මහත්මිය පසුගිය තීරණාත්මක කාලවකවානුවේදී ලංකාව වෙනුවෙන් මහින්ද සමරසිංහ සිදුකරනු ලැබූ මෙහෙය පිළිබඳ විශේෂ සිතුතියක් පිරිනැමීමටද පියවර ගත්තාය. එමෙන්ම ආසියානු මධ්‍යම හා දකුණු කලාපය භාර ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා වන පෝල් කපූර් මහතා මුණගැසී සාකච්ඡා කිරීමටද මහින්ද සමරසිංහ පියවර ගත්තේය. මීට අමතරව සිදුවූ විශේෂම සිදුවිම වූයේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා වන මාර්කෝ රූබියෝ මහතා හමුවී ඔහු සමගද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට මහින්ද සමරසිංහ කටයුතු කර තිබීමය.

කෙසේ වෙතත් සිය රාජකාරි අවසන් කොට මහින්ද ලංකාවට පැමිණිමට නියමිතව ඇත්තේ ලබන 31 වැනිදාය. මහින්දගේ ශ්‍රී ලංකාගමනය සැලවීමත් සමග බොහෝ දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලන නායකයන්ද යළිත් මහින්දව දේශපාලනයට ගැනීම සඳහා දැනටමත් ඔහු සමග සාකච්ඡා කිහිපයක්ම සැලසුම් කොට ඇති බවක් ආරංචිය. එමෙන්ම දැනටමත් කෙටි පණිවුඩ මගින් මහින්දට ඒ බව දැනුම් දී ඇති බවක්ද ආරංචිය. කෙසේ වෙතත් අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ මේ කිසිදු යෝජනාවක් භාර නොගැනීමට මහින්ද තීරණය කොට ඇති බවකි. එමෙන්ම ආණ්ඩුව පැත්තෙන්ද දැනටමත් මහින්ද වෙනුවෙන් විශේෂ තනතුරක් සූදානම් කොට ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. නමුත් ඒ සම්බන්ධයෙන්ද මහින්ද කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවක් ආරංචිය. මහින්ද තීරණය කොට ඇත්තේ කිසිදු දේශපාලන පක්ෂයකට හෝ තනතුරකට සීමා නොවී තමන් ගොඩනගාගත් අත්දැකීම්වලින් සහ සම්බන්ධතාවලින් රට මුහුණ දෙන ප්‍රශ්නවලට සිය උපරිම ධාරිතාවයෙන් උදව් උපකාර කිරීමටය.

SendShareShare
Previous Post

නාඋල සමූපයත් පොදු විපක්ෂය දිනයි! මාලිමාවට 20යි! සජබය තනිවම 26ක් අරන්! Sri Lanka Latest News

Next Post

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.