නව රජය බලයට පත් වීමෙන් පසු රට තුළින් වාර්තා වූ ආන්දෝලනාත්මක සිදුවීම් බොහොමයකටම ඩෝසර් සම්බන්ධ වී තිබීම විශේෂත්වයක් විය. ඒ අතරින් පළමුව වාර්තා වූයේ කුරුණෑගල නගරාධිපතිවරයා විසින් පුරාවිද්‍යා ගොඩනැගිල්ලක් ඩෝසර් කළේ යැයි කියන සිදු වීමය. ඉන් අනතුරුව ලෝක උරුම සිංහරාජයට අයත් කොටසක් ඩෝසර් කර ඇති බවට තොරුතුරු වාර්තා විය. ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා එම ප්‍රදේශයේ සංචාරයකද නිරත විය. සිංහරාජය ඩෝසර් කිරීම පිළිබඳ කතා බහෙන් රටම උණුසුම් වී තිබූ පසුබිමක තවත් ඩෝසර් කිරීමක් සම්බන්ධ සිදුවීමක් පුත්තලම දිස්ත්‍රික්කයේ ආනවිලුන්දාවෙන් වාර්තා විය.
එම තොරතුරු අනාවරණය කළේ ආනවිලුන්දාව “රැම්සා” කුරුලු අභය භූමියේ කොටසක් ඉස්සන් වගාව සඳහා ඩෝසර් කර ඇති බවය. මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයකු වන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සහෝදරයකුටය. මීට පෙර මීගමුව කලපුවට අයත් දූපතක ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සම්බන්ධයෙන් වූ සිදුවීමකදීද සනත් නිශාන්ත මහතා දැඩි ආන්දෝලනයකට ලක් විය. එහිදී මීගමුව වන සංරක්ෂණ නිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය සමඟ සනත් නිශාන්ත මහතා ඇති කර ගත් මත ගැටුමේ දර්ශණ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර ඒ අවස්ථාවේ නිශාන්ත මහතාගේ ආධාරකරුවකු “ඔක්සිජන් කන්න” දැයි ජයතිලක මහත්මියගෙන් විමසූ අයුරුද දැක ගත හැකි විය. ආනවිලුන්දාව ඩෝසර් කිරීමට සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයා සම්බන්ධ බවට බොහෝ දෙනකු සැක කිරීමට එයද එක් හේතුවක් විය. ඒ හේතුවෙන් සනත් නිශාන්ත මහතාට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වන ආකාරයද දක්නට හැකි විය.
පරිසරවේදීන් සහ රටේ ජනතාව මේ පිළිබඳව දිගින් දිගටම විරෝධය දක්වද්දී, ආනවිලුන්දාව ඩෝසර් කිරීමට සම්බන්ධ වූ ඩෝසර් යන්ත්‍රය සහ එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව මාධ්‍ය ඔස්සේ වාර්තා විය. නමුත් ජනතාවගේ අදහස වන්නේ ඩෝසර් රථය අත්අඩංගුවට ගැනීමෙන් නොනැවතී රැම්සා භූමිය ඩෝසර් කිරීමට අණ දුන් පුද්ගලයන්ට දඬුවම් ලබා දිය යුතු බවය. ඒ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සනත් නිශාන්ත මහතාගෙන් තොරතුරු විමසූ බවද වාර්තා විය.
මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වනජීවී අමාත්‍ය සී. බී. රත්නායක මහතාද පසුගියදා එහි සංචාරයක නිරත වූ අතර භූමිය ඩෝසර් කිරීමට අණ දුන් පුද්ගලයාට එරෙහිව තරාතිරම නොබලා දඬුවම් කරන බවට ඇමැතිවරයා එහිදී ජනතාවට පොරොන්දු විය. මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විගණකාධිපතිවරයා සඳහන් කර තිබුණේ ආනවිලුන්දාවේ ඉඩම් අක්කර 157ක් ඉස්සන් සහ මත්ස්‍ය වගාව සඳහා පසුගිය 2019 වසරේදී පෞද්ගලික අංශයට බදු දී ඇති බවය. එයින් අක්කර 55ක් බදු දී ඇත්තේ වසර 30ක් සඳහාය. ඉතිරි ප්‍රමාණය වසරක් සඳහා බදු දී ඇති බව සඳහන් වන අතර එම බලපත්‍රය අනුව ඉස්සන් කොටු 26ක්, මත්ස්‍ය පොකුණු පනස් හතරක් සකස් කර ඇති බවද විගණකාධිපතිවරයා සඳහන් කළේය. කෙසේ නමුත් ප්‍රදේශවාසීන් පවසන්නේ පසුගියදා ඩෝසර් කළ භූමිය එසේ බදු දුන් ඉඩමක්ද නැද්ද යන්න ප්‍රශ්නයක් වන බවය.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ග්‍රාමීය සහ ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පසුගියදා සඳහන් කර සිටියේ මෙය සිදු කර ඇත්තේ තම ඡන්දදායකයකු විසින් වන බවය. කෙසේ නමුත් එහිදී කිසිදු පාරිසරික හානියක් සිදු වී නොමැති බවද ඒ මහතා සඳහන් කළේය.
“කතන්දරයක් යනවා කට ඇරලා නම කියන්නෙ නෑ. නිකං තප්පුලන බවක් තමයි පේන්න තියෙන්නෙ. ඉතිං ඊයෙ උදේ අතිගරු ජනාධිපතිතුමා මට කතා කරලා ඔය ආනවිලුන්දාවෙ පළහිලව්වක් යන්නෙ සමාජ ජාලා වල, ඔයාගෙ තියෙන සම්බන්ධය මොකද්ද, මොකද්ද ඒකෙ තත්වය කියලා මගෙන් ඇහුවා මං එතුමාට දුන්න උත්තරේ – ස’ මේ කිසිදු දේකට මගේ කිසිදු සම්බන්ධයක් නෑ. මගෙ වචනෙක හරි සම්බන්ධයක් තියෙනවා නම් මේකට මම ඕනෙම දඬුවමකට යටත් වෙන්න සූදානම්. මේක මා විසින් හෝ මගේ කෙනෙක් කරපු දෙයක් නෙවෙයි. හැබැයි මගේ ප්‍රදේශයේ මගේ ගම්වැසියෙක් මගේ ඡන්ද දායකයෙක් කරපු කටයුත්තක්. මේ සිද්ධ වෙලා තියෙන කාරණය සම්බන්ධව ස්ථාන පරීක්ෂාවක් කරලා මගේ ඇස් දෙකෙන් මම දැක්කා. මේකෙ කිසිදු පරිසරයට හානි කිරීමක් සිද්ධ වෙලා නෑ” ඒ සනත් නිශාන්ත මහතාගේ අදහස්ය.
කමිටුවක් දැම්මා – ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්
‘මව්රට’ ඒ ගැන නිශ්චිතව දැනගැනීම සඳහා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් සමන්ත විජේසිංහ මහතාගෙන් විමසීමක් කළා. ඔහු දැක්වූයේ මෙවන් අදහසක්.
‘පසුගිය 2019 වසරේදී අපි මේ බදු දීල නැහැ. මේ ගැන දැන් පරීක්‍ෂණ පවත්වන්න කමිටුවක් පත්කරලයි තියෙන්නේ. කමිටුවට දිස්ත්‍රික් ලේකම් වාර්තාවක් ලබා දේවි. වනජීවී දෙපාර්තමේන්තුවත් මේ ගැන සොයබලාගෙන යනවා.
කිසිම දෙයක් මම හංගන්නෙ නැහැ – ආරච්චිකට්ටුව පොලිස් ස්ථානාධිපති
කොහොම නමුත් මේ ගැන පරීක්‍ෂණ පවත්වන ආරච්චිකට්ටුව පොලිස් ස්ථානාධිපති අනුරාධ හේරත් මහතාගෙන්ද විමසුවා.
මේ පරීක්‍ෂණයේ කිසිම දෙයක් මම හංගන්නෙ නැහැ. දැනට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් දෙන්නට අමතරව තවත් තොරතුරු ඇවිත් තියෙනවා. මම ඒ ගැනත් පරීක්‍ෂන පවත්වනවා. මෙම සිද්ධිය පසුබිමේ දේශපාලන බලපෑමක් තියෙනවද යන්න ගැන (පසුගිය සඳුදා වනතුරු) මෙතෙක් කිසිවක් හෙළිවී නැහැ.
කවුද මේ ආරක්‍ෂා කරන්න හදන්නෙ -පුත්තලම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් පෙරේරා
දැන් මේ වෙනකොට ඔය සිද්ධිය ගැන අධිකරණ ක්‍රියාමාර්ග අරන් තියෙනවා. දේශපාලන මැදිහත් වීම් තියෙනවා කියලයි ආරංචිය. ඒ කාලෙ ඉඳන් ඉස්සන් වගාවට සම්බන්ධ වුණු පිරිස් වෙන්න ඇති. මාධ්‍ය මගින් හෙළිවන දේවල් අනුව ඉතිහාසය බැලුවහම යම් යම් සැක තියෙනවා. මේ වැඬේ කරන්න කියපු කෙනානෙ අල්ලන්න ඕනෑ. මේක වෙලා හුඟක් කල්. කවුද මේ ආරක්‍ෂා කරන්න හදන්නෙ පොලිසිය මන්දගාමීව යන්නෙ නැතිව හරි පුද්ගලයා සොයාගත යුතු වෙනවා.
මමත් තොරතුරු හොයනවා -පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චින්තක මායාදුන්නේ
ඔය සිද්ධියට අදාළව ඔප්පු තිරප්පු තියෙනවා කියලත් ආරංචියි. නමුත් මම හරියට දන්නෙ නැහැ. හරියට දැනගෙන කතා කරන්න ඕනෑනෙ. කොහොම නමුත් මම ඔය ගැන තොරතුරු දැනගැනීමේ පනත යටතේ තමයි විස්තර සොයාගන්න ඕනෑ. මම ඒ තොරතුරු ඉල්ලා තියෙනවා.
යට ඉන්නේ කව්ද කියලා කියන්න -පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රි අශෝක ප්‍රියන්ත
මේ සිද්ධිය යට ඉන්නෙ දේශපාලනඥයෙක් නම් ඒ ගැන හංගන්නෙ නැතිව හෙළිකළ යුතුයි. ඒ මොකද නැත්නම් අනෙක් දේශපාලනඥයන්ටත් මේ ප්‍රචාරවලින් හානියක් වෙනවා. අනෙක් එක එම දිස්ත්‍රික් කමිටුවේ සභාපති හැටියට නීත්‍යානුකූලව අදාල පාර්ශ්වවලින් මේ සිද්ධිය ගැන පරීක්‍ෂණ වාර්තාවක් ඉල්ලා තියෙනවා.
සමහර විට ඩෝසරේ වැරදි වෙන්නත් පුළුවන් – පාහියංගල ආනන්ද සාගර හිමියන්
අද පරිසරය ආරක්‍ෂා කරගන්න කතා කරන අය හඳුන්වන්නෙ ත්‍රස්තවාදීන් හැටියටයි. මහජන මුදලින් යැපෙන දේශපනඥයන්ගේ වගකීම වන්නේ පරිසරය ආරක්‍ෂාකර ගැනීමයි. එක් අවස්ථාවක කඩොලාන විනාශ කරන්න එක්තරා දේශපාලනඥයෙක් සූදානම් වෙද්දී ඔහු සඳහන් කළේ ඔක්සිජන් අවශ්‍ය වන්නේ කන්නද කියලයි. මේ සිද්ධියේදී අවසානයේ ඔය ඉස්සන් පොකුණ ඩෝසර් කරන්න යෙදුව කුල්ල අන්තිමේ වැරැදිකාරයා වෙන්න පුළුවන්.
අද පරිසරය විනාශ කරන අය තමයි ජාතික වීරයන් වෙන්නෙ. මේ සිද්ධියත් දේශපාලන හයියක් නැතිව කරන්න පුළුවන් දෙයක් නොවෙයි. අපි බලා ඉඳිමු මොකද වෙන්නෙ කියලා.
දේශපාලන හයියක් නැතිව කරන්න බෑ – පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි
මේ සිද්ධියේ යට ඉන්න කෙනා ගැන තවම තොරතුරු එළිවෙලා නැහැ. මේ වගේ දේවල් දේශපාලනඥයකුගේ රැකවරණ නැතිව ව්‍යාපාරිකයකුට විතරක් තනිව කරන්න බැහැ. ආණ්ඩුව කියන්න ඕනෑ කවුද දේශපාලනඥයා කියල. විපක්‍ෂය විතරද පරිසරය රකින්න ඕනෑ. ආණ්ඩු පක්‍ෂය දැනගන්න ඕනෑ මේක කළේ කවුද කියල හෙළිකරන්න. පොලිස් පරීක්‍ෂණයට ආණ්ඩුව සහාය දෙන්න ඕනෑ. අපි බලා ඉන්නව ආණ්ඩුව මොකද කරන්නෙ කියලා. දැන් ආණ්ඩුව දාල තියෙනවනේ විමර්ශන කණ්ඩායමක්. එතෙන්දි හෙළිවන දේ රටට කියන්න ඕනෑ.
ප්‍රේමලාල් විජේරත්න











