හීන දැකලා පෙරුම් පුරලා රංගන කලාවට එන නිළියන් වගේම නිළියක් වෙන හීනේ හිතේ අහලකවත් නොතිබුණු, ඒත් අහම්බයකින් වගේ රංගන කලාවට ආපු නිළියොත් ටෙලි වගේම සිනමා කලාවෙත් ඉන්නවා. ලක්ෂිකා ජයවර්ධන කියන්නෙත් හීන නොදැකම අහම්බයක් හරහා රංගනයට මැදිවුණු නිළියක්. ලක්ෂි ලස්සනයි. ඈ හුඟක්ම කැපීපේන්නේ මූණේ වම් පැත්තේ උඩු තොලට සමීපව තියෙන උපන් ලපය නිසයි. ‘කොටු’ ටෙලියේ ආලකමන්දාව හෝටලයේ අනුන්ගේ ඕපාදූප හොයන වේටර් කසුන් ‘මූණේ ලපයක් තියෙන කෙල්ල’ කියලා ලක්ෂිව හඳුන්වලා දෙන්නෙත් ඒ උපන් ලපය ඇගේ ඇඩකාර පෙනුමට විශේෂයක් වුණු නිසාමයි. ඔන්න ඉතින් මේ පෙළගැහෙන්නේ ලක්ෂි ‘හාට්’ එකට ඇවිදින් දොඩමළු වෙච්ච විනාඩි ගණනක විරාමයයි.Sri Lanka Latest News
කොහොමද ලක්ෂි ඉතින් ජීවිතේ?
ජීවිතේ හරිම සුන්දරව සරලව ගලාගෙන යනවා. මම ඒ සුන්දර සරල බව මැද්දේ කාලයට මුහුණ දීලා මගේ ගමන සතුටින් යනවා.
උත්තරය නම් අපූරුයි. මේ දවස්වල මොනවද වෙන්නේ කිව්වොත්?
මේ දවස්වල ඉතින් සාමාන්‍ය විදියට ෂූටින් ඩබින් අතර දවස ගෙවෙනවා. ‘කොටු’ සහ ‘බෝල්ට් ඇණයක්’ විකාශය වෙනවා. ඉදිරියට මගේ අලුත්ම ටෙලිය ‘හඳට හැතැප්මයි’ ජාතික රූපවාහිනියේ විකාශය වීමට නියමිතයි.
නිළියක් වුණේ හිත කොනකවත් තිබුණු බලාපොරොත්තුවක් නිසා නෙවෙයි?
සත්තකින්ම ඇත්ත කතාව ඒකයි. අදත් මම වෙලාවකට නැවතිල්ලේ හිතන අවස්ථා තියෙනවා කොහොමද මම නිළියක් වුණේ කියලා.
සතුටින්ද ඉන්නේ ඒ අහඹු නිළිකම ගැන?
කියන්න වචන නැති තරම් සතුටක තෘප්තියකයි මම ඉන්නේ ටෙලිවලට, චිත්‍රපටවලට ආරාධනා එනකොට. ඒ අහම්බයෙන් පැමිණි නිළි වරම ගැන පුදුම සතුටක් දැනෙනවා.
ගෙදරින් ඒ තරම් මනාප වුණේ නැහැ ඔබේ නිළිකමට?
අම්මලාට ඕනෙ වුණේ මම ඉහළට ඉගෙනගන්නවා බලන්නයි. මගේ අක්කලා දෙන්නගේ බලාපොරොත්තුව වුණෙත් ඒකමයි. ඒ නිසා මම නිළියක් වෙන එකට එයාලා ටික්ක අවුල් වුණා.
නිළිකම නිසා උසස් අධ්‍යාපනය අවුල් වුණාද?
කොහොමටවත් නැහැ. රඟපෑමට තාවකාලිකව තිත තියලා මම මගේ උසස් අධ්‍යාපනයට සිංගප්පූරුවට ගියා. ඒ ඩිප්ලෝමාව සාර්ථකව නිමා කරලා තමයි නැවත ලංකාවට ආවේ.
ලක්ෂි ඔය කියන විරාමය ගත්තේ කොයි කාලෙද කියනවා නම්?
මම මේ කියන්නේ කොරෝනා කාලෙට ටිකක් කලින් කාලවකවානුව ගැනයි. 2014 ‘සුපිරි අන්දරේ’ ෆිල්ම් එකෙන් තමයි හඳුන්වා දෙන නිළියක් විදියට මම ක්ෂේත්‍රයට ආවේ. එතැනින් පස්සේ රංගනයට තව තවත් ආරාධනා ආවත් භාරගත්තේ නැහැ. අන්න ඒ කාලේ තමයි මම විදේශගත වුණේ.

‘සුපිරි අන්දරේ’ සුපිරියට හිට් වුණා නේද ලක්ෂි?
මාරම සතුටක් දැනුණා මගේ ෆස්ට් ෆිල්ම් එක ඒ විදියට ජනප්‍රිය වෙනකොට. අනෙක මම රංගනයට මැදි වුණේ රොඩ්නි වර්ණකුල, සනෝජා බිබිලේ, තිස්ස විජේසුරේන්ද්‍ර, ටෙනිසන් කුරේ, රූපා ගෝමස් වැනි ප්‍රවීණයන් සමගයි. අනේ ඔවුන් මට දුන් සහාය හරිම ආදරණීයයි. නවකයෝ විදියට අපි හරි ගරුත්වය ඔවුන්ට දෙනවා නම් ඔවුන් අපිටත් ඒ විදියට සහාය සහ අත්වැල දෙනවා.
ලංකාවට ආවාට පස්සේ ආයෙම රංගනයට එනවා?
ඒකත් අහම්බයක් විදියට තමයි වෙන්නේ. මාවෝ ලක්ෂිත අයියා මට කතා කරනවා ‘ෆ්ලැට් නොවන ෆ්ලැට්’ ටෙලි ඩ්‍රාමා එකට. රංගනයෙන් දායක වෙන්න ඕනේ කියලා හිතන්නත් කලිනුයි ඒ ආරාධනාව එන්නේ.
සතුටින් භාරගත්තද ඒ ආරාධනාව?
මොනවද කියන්නේ. ලක්ෂිකා ජයවර්ධන ෆීල්ඩ් එකට අවශ්‍යයි කියන හැඟීම ඔවුන් මට දෙනකොට පුදුමාකාර සතුටක් දැනුණා. අනෙක මාවෝ ලක්ෂිත වැනි හිතට දැනෙන යමක් කරන ප්‍රවීණයෙකුගෙන් ඒ ආරාධනාව එනකොට අහිංසක ආඩම්බරයක් දැනුණා.
‘ෆ්ලැට් නොවන ෆ්ලැට්’ ප්‍රේක්ෂකයන්ට බොහෝ සමීප ටෙලියක් වුණා?
එව්. දින නියමයක් නැතුව දුවන ටෙලි අතරට කොටස් 60ක විතර ටෙලියක් ආවාම ප්‍රේක්ෂකයන් ඊට සමීප වෙනවා. අනෙක ජාතික රූපවාහිනියේ විකාශය වන ටෙලියක් කිව්වාම ඇයිද මංදා කවුරුත් ඒ ගැන උනන්දුයි. ඒ වගේම ෆ්ලැට් නොවන ෆ්ලැට් වත්මන් සමාජයේ සංකීර්ණ සිදුවීම් ගැන කතාකරන ටෙලිනාට්‍යයක්. ඒ නිසාම එය ආලින්දයේ සිනමාවට සමීප වුණා. ඒ වෙලාවට නාට්‍යය බලන්න බැරිවෙන බොහෝ දෙනා එය යූටියුබ් හරහා නැරඹුවා.
ලක්ෂිට බොහෝ ප්‍රතිචාර ලැබුණු බවයි අහන්න ලැබුණේ?
අනිවාර්යයෙන්ම. ‘ෆ්ලැට් නොවන ෆ්ලැට්’ ටෙලියේ උදාරිගේ චරිතයට මට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා.
2025 සුමති ටෙලි සම්මාන උළෙලේ හොඳම නැගී එන නිළි සම්මානයට පවා ඔබ නොමිනේට් වුණා?
ඔව්. නොමිනේට් වෙනවා කියන්නෙත් ඉතින් යම් චරිතයකට හිමිවිය යුතු සම්මානනීය අගැයීමක් ලැබුණා කියන එක තමයි.
එයින් පසු ඔබ නැවතත් රංගනයට අවතීර්ණ වුණා?
දිගින් දිගටම චරිත ලැබුණා. කාලවේලාව අනුව ඒවා තෝරා ගත්තා. ‘ඔෆිස්ලන්තය’, ‘තත්පරයක් දෙන්න’ වැනි එකිනෙකට වෙනස් චරිතවලට මැදිවෙන්න ලැබුණා.
වැඩිපුරම ඔබට කොටුවෙන්න ලැබුණේ නාගරික සහ වෙස්ටර්න් චරිත අතරට?
ඒක බොහොමයක් කලාකාරියන්ට වෙන සංසිද්ධියක්. එන්නේ මොන වගේ චරිතයක්ද, දිගින් දිගටම ලැබෙන්නේ අර පළමුව ලැබුණු චරිත ස්වභාවයටම ගැළපෙන චරිතමයි. හැබැයි ‘ඉඩෝරයට පොද වැස්සක්’ චරිතය තුළින් ගැමි චරිතවලටත් මම සුදුසුය කියන හැඟීම කාටත් දැනුණා.
‘ෆ්ලැට් නොවන ෆ්ලැට්’ ටෙලියේ උදාරිගේ චරිතය තුළ ඔබ බොහෝ හැඟීම්බර නිරූපණයක යෙදුණා?
මට ලැබෙන හැම චරිතයකටම ඒ හැඟීම්බර නිරූපණය මම තිළිණ කළා. මට හැකි උපරිමය දුන්නා. ඒක මගේ විදිය. ලැබෙන චරිතය මොකක්ද, එය සංකීර්ණද, සරලද, කොමඩියක්ද කියන එක මට අවුලක් නැහැ. හැබැයි ඒ චරිතයට උපරිම සාධාරණයක් කළොත් තමයි මම සෑහීමකට පත්වෙන්නේ.
‘රාවණා’ වැනි උසස් නිර්මාණයකට දායක වෙන්නත් ඔබට අවකාශ ලැබුණා?
ඒක මගේ වාසනාවක්. ඇත්තටම ලොකු සතුටක් හිතට දැනුණා ඒ වගේ මහා පරිමාණයේ චිත්‍රපටයකට ආරාධනා ලැබෙන කොට.
රංගනයට පිවිසීම ගැන දැන් පවුලේ අයගේ ප්‍රතිචාර කොහොමද?
එයාලා තමයි මගේ හොඳම විචාරකයෝ වෙලා ඉන්නේ. අම්මයි අක්කලා දෙන්නයි මගේ රංගන කටයුතුවලට උපරිම සහාය දෙන අතර මගේ අඩුපාඩුත් මට පෙන්නලා දෙනවා. මගේම කියන අය යමක් කියන්නේ පිටස්තරයන්ට වඩා අවංකවනේ. ඉතින් ඒ විවේචන මට ලොකු ධෛර්යයක්.
සෝෂල් මීඩියාවල නිරූපණයන් මවන විට ඔබ අඳින පලඳින සමහර විලාසිතා ගැන චෝදනා තියෙනවා?
ඕනෑම කෙනකුට පුළුවන් තම තමන්ගේ මත ඉදිරිපත් කරන්න. ඒක වරදක් නෙවෙයි. මම කරන දේ මගේ හිතට එකඟයි නම්, එහි වරදක් පෙනෙන්නේ නැතිනම් මම වෙනත් කෙනකුගේ අනවශ්‍ය චෝදනාවලින් සැලෙන්නේ නැහැ. මගේ විලාසිතාවලටත් එය අදාළයි.
ලක්ෂි පෙම්වතියක්ද කියන ප්‍රශ්නය ඇහුවොත් උත්තර දෙනවද?
ඇයි නොදෙන්නේ? මම ප්‍රශ්නවලට බය නැහැ. ඔන්න මගේ උත්තරය. මට තවම පෙම්වතෙක් නැහැ. ආදරෙන් පැරැදෙන්න, මට හිමිවෙලා තිබ්බ ආදරයක් අහිමි වෙනවා දකින්න මම කැමැති නැහැ. මට ඒ වගේ අහිමි වීමක් දුකක් දරාගන්න අමාරුයි. ඒ නිසා තවම ආදරයකට මැදි වුණේ නැහැ. අනෙක දැනට මගේ ලොකුම හීනය රංගන ජීවිතයේ ස්ථාවර තැනක් හදාගන්න එකයි. මට තවම හැදෙන්න තියෙන තැන් බොහොමයි. මගේම කියලා ශෛලියක් අනන්‍යතාවක් හදාගන්න තියෙන ඕනෑකම තුළයි මම දැන් ඉන්නේ. ඉන් පස්සේ තමයි අනෙක් දේවල් ගැන හිතන්නේ.
ඔබේ නිළි ජීවිතය තුළ සුවිශේෂ හීන තියෙනවද?
සහතික වශයෙන්ම මට හීන තියෙනවා. විශේෂයෙන්ම චරිතාංග නිළියක ලෙස සම්මානනීය චරිතයකට දායක වෙන්න ලොකු හීනයක් තියෙනවා.
සරලව කියනවා නම් හොඳම නිළිය සම්මානයට හිමිකම් කියන හීනයක් ගැනද ඔය කියන්නේ?
අවංකවම කියනවා නම් ඔව්. හොඳම නිළියට හිමි සම්මානයක් දෝත දරන්න ආසයි. මම උපරිම උත්සාහයක් දරනවා මගේ රංගන ජීවිතය තුළ ඒ හීනය හැබෑ කරගන්න.
යම් මාධ්‍යයකට ඔබ කියා තිබුණා සම්මානනීය චරිත නිරූපණයක් වෙනුවෙන් අඩනිරුවතට වුණත් සූදානම් කියලා?
මම මෙහෙම උත්තරයක් එයට දෙන්නම්. නිරුවත වුණත් පෙන්වන කලාවක් තියෙනවා. යම් සීමාවක් තියෙනවා. සම්මානනීය හොඳ චරිත නිරූපණයක් වෙනුවෙන් චරිතාංග නිළියක ලෙස යම් සීමාවකට අනුව එවැන්නකට මැදිවීමේ වරදක් නැහැ කියලා මම හිතනවා. ඒ සිතුවිල්ල තුළ තියෙන්නේ සම්මානයක් වෙනුවෙන් ඕනෑම නිරුවතකට මම සූදානම් කියන අදහස නෙවෙයි. තිරපිටපතක් ලැබුණාම නිළියක ලෙස මමත් විමසා බලන සීමා තියෙනවා. මම රඟපාන්නේ ඒ සීමාවන්ට අනුවයි.
මල්මි කෞෂල්‍යා











