පාට සරුංගලයක් ඔස්සේ ටෙලි සිනමාවට ඈ අවතීර්ණය වූයේ තරුවක වීමේ දහසකුත් එකක් සිතුම් – පැතුම් පොදි බැඳගෙන නම් නොවේය.
නමුත් කලාකාරියක ලෙස ‘හරිහමන් යමක්කර පෙන්වීමේ’ උනන්දුව සහ ආශාව නම් ඇගේ සිත කොනක කොහේදෝ තිබුණේ පුංචි පුංචි ඉලක්ක හඹා යෑමේ ආශාවද සමඟය. ‘හිත ඇත්නම් පත කුඩාද යන කියමන සනාථ කරමින් මේ හරි අපූරු කලාකාරිය ටෙලි සිනමාවෙන් ඔබ්බට පියවර තැබුවේ ජාත්‍යන්තර සිනමාව හමුවේද තම නාමය රන් අකුරින් ලියමින්ය. ඈ කවුද..?
ඈ දමිතා අබේරත්නය.
‘සුළං කිරිල්ලී’ සමඟ පියාසලා ගොස් සම්මාන දෝතක් සමඟ රතු පලස මතින් පැමිණ ශ්‍රී ලාංකේය සිනමාවට අභිමානය ගෙන පැමිණි ඈ දමිතා අබේරත්නය.
දමිතා ගැන ‘හාට්’හී මෙලෙස අකුරු කරන්නට එක් විශේෂ හේතුවක් විය.
ඒ, ඈ පතිනියක ලෙස පතිකුලයට පිවිසීමය.
පළමුව සුබපැතුම් දමිතා ඔබේ නව දිවි ගමනට?
බොහොම ස්තුතියි.
මීඩියාවලට නොදන්වාම වෙඩින් එක ගත්තේ මේක හදිසි විවාහයක්ද?
අපොයි නැහැ, අවුරුදු ගණනක දැන හඳුනුම්කම මත ඇති වූ පෙම් සබඳතාවයක බැඳීමක් තමයි මේ විවාහයෙන් කෙළවර වූයේ.
ඇත්තම ජීවිතය තුළ මනමාලියක විදියට හැඩ වෙන්න ලොකු ආශාවක් එදා තිබුණු නිසා තමයි වෙඩින් එකක් මෙහෙමවත් ගත්තේ. නැත්නම් මේක මීටත් වැඩිය බොහොම චාම් වෙඩින් එකක් වෙන්න තිබුණා.
ඔබේ අත ගත් සහකරු කලාවට සම්බන්ධ කෙනෙක්ද?
නැහැ. ඔහු ව්‍යාපාරිකයෙක්. නම හෙන්ලි ජොන්සන්. වසර ගණනාවක්ම විදේශගතව සිටි කෙනෙක්. ඒ වගේම මමත් ඔහුත් බොහොම සරල මට්ටමේ සිට ජීවිතය දෙස බලන දෙන්නෙක් වීම අපේ සම්බන්ධතාවට පහසුවක් වුණාය කිව්වොත් හරි.
විවාහය මෙතෙක් කල් ගියේ ඔබේ කලා කටයුතු සඳහා අවැසි නිදහස ලබාගත් නිසාද?
දෙන්නම කාර්යබහුලව සිටි නිසයි එය එලෙස සිදුවුණේ. නමුත් අපේ විවාහය රෙජිස්ටර් කරතිබුණේ මීට අවුරුදු හතරකට කලිනුයි. වඩා චාමෙට පවත්වන්න හිටපු මෙයට තරමක හෝ උත්කර්ෂවත් පෙනුමක් ආවේ අපේ සමීපතම මිතුරු කැල නිසයි.
ඔවුන්ගේ ඒ හිතවත්කම ගැන වචනයක් හෝ කියනවා නම් හොඳයි කියලා හිතුණු නිසා මේ කතාබහ තුළ එයට පුංචි අවසරයක් ඉල්ලන්නම්.
ප්‍රණීත් ජයවීර තමයි මාව ඩේරස් කළේ. හෙයාර් ස්ටයිල් මේකප්, මල් බොකේ සහ කේක් ස්ට්‍රක්චර්ස් සඳහා සහාය දුන්නේ ලඛිත උක්වත්ත සහ මලිත් හෙට්ටිහේවා, ඉසුරුමුණියේ සහ පාමංකඩ අලංකාර හෝටල් පරිසරයක කළ ‘ෆොටෝ ෂූට්’ ප්‍රියංක රත්නායකගේ කැමරාවෙන් හැඩවුණා.
තවත් යමක් ඉතාම විශේෂයෙන් මතක් කරන්නට ඕනෑ. ඒ තමයි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන් තිලකරත්න සහ මංජුලා යන සහෝදර හිතවතුන් ඕස්ටේ්‍රලියාවේ ඉඳගෙනම මට දුරකතනයෙන් කතා කර කීවේ, ෆොටෝ ෂූට් ඕනෑම විදියකට නිදහසේ කරගන්න එයාලගේ පාමංකඩ හොටෙල් එක ඕනෑම මොහොතක භාවිතයට ගන්න කියලයි.
එක වහලක් යටට පිළිවෙළක් වෙන්න කාලය දැන් හරිය කියලා හිතුණ නිසා විවාහය මෙලෙස සිදුවුණා.
ඔව්… කාලය හරි, අපේම කියලා පුංචි ව්‍යාපාරයකුත් සමඟ අපේ හෙට දවසේ ජීවිතය පටන්ගන්න අවැසි පසුබිම සැකසුණා කියලා අපි දෙන්නටම දැනුණා ඇත්තටම.
විවාහයෙන් පසුව ඔබ කලාවෙන් සමුගන්න අදහසක් තියෙනවද දමිතා?
තවම නම් එහෙම අදහසක් නැහැ. ඔහු මට නිදහස දීලා තියෙනවා එය තීරණය කරන්නට.
එහෙම නම් අපි කලා තොරතුරු ගැන කතා කරමු?
තොරතුරු ගැන කියනව නම්, ‘ඉඟි බිඟි’ සහ ‘සඳ ගොමුව’ ටෙලිනාට්‍යවල රූගත කිරීම් සිදුවෙනවා. මේ දවස්වල ඒ අතරම මුලින් රෝහිත එදිරිසිංහගේ ‘මනුසත් විමන’ ටෙලිනාට්‍ය හෙට අනිද්දා විකාශනය වීමට නියමිතයි.
ටෙලි නිළියක ලෙස ජනප්‍රියව සිටි ඔබ සිනමාවට පියාසලා ගියේ ‘සුළං කිරිල්ලී’ නිසාද?
නැහැ, මම සිනමාවට පැමිණියේ ‘මී හරකා’ චිත්‍රපටය තුළිනුයි. ඉන්පසුව තමයි ‘සුළං කිරිල්ලී’ සඳහා ආරාධනා ලැබුණේ.
‘සුළං කිරිල්ලී’ ඔබේ ජීවිතයේ අමරණීය මතක සටහනක් නේද දමිතා?
සහතික වශයෙන්ම ‘සුළං කිරිල්ලී’ නිසා මට ලැබුණු දෑ මට මගේ ජීවිතයටත් වඩා වටිනවාය කියන එක අනිවාර්යයෙන් කියනවා.
ඔබ ‘සුළං කිරිල්ලී’ තිර පිටපත බාර ගැනීම පළමුව ප්‍රතික්‍ෂේප කළා කියන්නෙ ඇත්තද?
ඔව්. ඒ චිත්‍රපටයේ තියෙන සමහර සීන් නිසා එය බාර ගන්න එපාය කියන ඉල්ලීම මගෙන් කළා.
ඉන්පස්සේ එහි අධ්‍යක්‍ෂිකා ඉනෝකා සත්‍යාංගනී මාව සොයාගෙන නැවැත ඇවිදින් අම්මා ඉස්සරහාම කිව්වා.
රතීව මම නිර්මාණය කළේ දමිතා නිසාමයි. එම රංගනයට වෙනත් විකල්ප නැහැ. මම ගැහැනියෙක්. මා තුළ සිටින ඒ ගැහැනිය තවත් ගැහැනියකට නින්දා කරන්න හිතන්නෙවත් නැහැ. ඒ හින්දා දමිතා ගැන ‘අම්මා’ මේ චිත්‍රපටයෙහි රඟපාන එක ගැන පොඞ්ඩක්වත් වද වෙන්න එපා කියලා.
ඉනෝකාගේ ඒ වචන කිහිපය තුළ ඔබ ‘සුළං කිරිල්ලී’ සමඟ එක්වුණා?
ඔව්… ඒ වචන ටික විතරක් නෙවෙයි, ඉනෝකා කියන ඒ අපූරු නිර්මාණකාරිය මගේ මූණ දිහා බලාගෙන තව අමුතු කතාවක් කිව්වා. ඒ තමයි,
‘මම එක දෙයක් කියන්නම් අද, ‘රතී’ චරිතය දමිතා වෙනුවෙන් ලියන කොට මම යම් හීනයක් දැක්කා. දැක්කාම නෙවෙයි, මගේ යටි හිතට ඒක පෙනුණා. ඒ හීනේ තිබුණා දිගම දිග රතු පලසක්, ඒ පලස උඩ පය තියලා සම්මානයකුත් අරගෙන දමිතා හෙමින් හෙමින් ඇවිදගෙන ආවා.’
මතක තියාගන්න දමිතා ඒක හීනයක්ම නෙවෙයි. කවදාවක හරි ඔයා ‘රතී’ වෙනුවෙන් ජාත්‍යන්තර කීර්තියට පත්වන එක ස්ථිරයි කියලා මම අද කියනවා.
ඔබ ඒ මොහොතේ යම් පුදුමයකට බඳුන් වුණාද?
බොහෝ පුදුම වුණා මම, ඉනෝකා අක්කා දිහා මම බලාගෙන හිටිය. මම පස්සෙ ඇගෙන් ඇහුවා ඇයි මෙහෙම දෙයක් කිව්වේ කියලා.
ඇය හිනාවෙලා කිව්වා, අනේ මන්දා මමත් දන්නෙ නැහැ. මට එහෙම කියන්න හිතුණෙ කියලා.
ඉනෝකාගේ ඉඟිය හරියටම හරි නේද?
ඕනෑවටත් වඩා ඒ ඉඟිය හරිගියා. ඈ කීවේ එක සම්මානයක් ගැන. නමුත් මම දෙවරක්ම ‘සුළං කිරිල්ලී’ වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන රැගෙන ආවා. ඈ කී ආකාරයටම ‘මව්බිම’ට මා දුන් ඒ ගෞරවය වෙනුවෙන් රතු පලසක් මා එන මග එළුණා.
එහි ගෞරවය හිමිවිය යුත්තේ ඉනෝකා සත්‍යාංගනී නම් කලාකාරියටද?
සතුට බෙදා ගන්නා මොහොතේ මමද ඇයට කීවේ එයයි. හැබැයි ඉනෝකා අක්කා කිව්වේ මම කළේ ‘රතී’ට මැව් එක විතරයි. එයට අවශ්‍ය නියම ජීවය දුන්නෙ ඔයයි දමිතා’ කියලයි. මම එය ඈ සිතූ ලෙස නොකළා නම් මේ කීර්තිය පුස්සක් පමණයි කියාද ඈ කිව්වා. නමුත් මම අද මෙතැනිදී හැමදාමත් කියනවා. ඉනෝකා සත්‍යාංගනී නම් ඒ අපූරු නිර්මාණකාරිය ‘රතී’ වෙනුවෙන් මා තුළ ඇති කළ මෙහෙයවීම මත තමයි මේ සියල්ල මට ලැබුණේ කියලා.
බොහෝ විට සංකීර්ණ චරිත හරහා පැමිණි ඔබ හිටිඅඩියේ ප්‍රහර්ෂණයට මැදිව සිටිනවා නේද දැන්?
ප්‍රහර්ෂණය තරම් අසීරු කලාවක් රංගනය තුළ වෙනත් නැති තරම්. අඬවනවා හෝ සනසනවා තරම් පහසුවට ප්‍රේක්‍ෂකයන් හිනස්සන්න බැහැ. මා මේ කියන්නේ කිතිකවනවා හිනස්සන්න ප්‍රහර්ෂණ කලාව ගැන නෙවෙයි. නිරායාසයෙන්ම ඒ ප්‍රේක්‍ෂකයන්ගේ මුවට එන සිනහව ගැනයි. එලෙස ඔවුන්ව හිනැස්සවීම ඉතාම අසීරුයි. ප්‍රහර්ෂණය කියන්නෙ ඒ තරමට අපූරු කලාවක්. ඒ තුළ මම සාර්ථක වූවා නම් මට එය ගෞරවයක්.
අනෙක කලාකරුවන් යන පිරිස එක තැනක කොටු වෙනවාට වඩා හෝ කොටු කරනවාට වඩා රංගනය තුළ හැම ඉසව්වක්ම ස්පර්ශ කිරීම තුළ ඔවුන් තව තවත් අද්විතීය වෙන බවයි මගේ හැඟීම වන්නේ.
ප්‍රවීණයන්ට ගරු කිරීම තුළ ඔබ නිතර කතාබහට ලක්වූ රංගවේදිනියක්?
නවකයන් තුළ ඒ ගුණාත්මක බව නැති එක කනගාටුයි ඇත්තටම. මම අදටත් මඟතොටේදී, කොහේ හෝ උත්සව අවස්ථාවකදී වුවද ප්‍රවීණයන් කෙරෙහි ඉතාම ගෞරවනීයව හැසිරෙනවා.
ඒ වගේම සෙට් එකේදී පවා ප්‍රවීණයන් සමඟ කටයුතු කරන විටද නිතර පසුවන්නේ යම් තිගැස්සීමකින් වාගෙයි.
ඒ හින්දද දවසක් සෙට් එකේදි ‘ස්ටෑන්ඞ් බයි’ කියද්දී කලබල වෙලා නැඟිට්ටේ ඔබ?
අයියෝ… පරණ සීන් එකක්. හැබැයි තවමත් ඒ ගැන කියලා සමහරු මට විහිළු කරනවා. නාලන් මෙන්ඩිස් මහත්තයාගේ ‘පස්සෙ ගෙනා මනමාලි’ ටෙලිනාට්‍යයේදී මම රඟපෑවේ ගීතා කාන්ති අක්කගේ කුඩා කාලේ චරිතය. ප්‍රවීණයන් සමඟ ගැවසුණු ඒ නිර්මාණයේ මම හිටියේ බොහොම තිගැස්මෙන්. එහි යම් කොටසක් රූගත කරන මොහොතේ නාලන් මහත්තයා ‘ස්ටෑන්ඞ් බයි’ කියලා කෑගහන කොට මාව නැඟිට්ටුණේ ඉබේටමයි. හිනාවෙන සද්දෙ ඇවිදින් වට පිට බැලුවමයි නිච්චි ආවේ සෙට් එකේ යන සීන් එකකටයි ඒ අණ දීලා තියෙන්නෙ කියලා.
තව තියෙනවද දමිතා ඒ වගේ රසවත් සිදුවීම්?
අනන්තයි, අප්‍රමාණයි. හැබැයි දැන් නම් ඔළුවට එන්නෙ නැහැ. වෙන දවසක ආටිකල් එකක් කරන්න තරමට ඒ වාගේ සිදුවීම් ටිකක් ගැන කියන්නම්.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











