කැලෑ කොලමේ අපි හැමදාම කතා කරන්නේ පරිසරයට සිදුවන අලකලංචි, හානි මෙන්ම සතා සීපාවන්ට හා මිනිස්සුන්ට වෙන අකරතැබ්බ ගැනයි. ඒවා ගැන කොපමණ කතා කළත් ඒවා කවදාවත් විසඳෙන හෝ නිමාවෙන ප්‍රශ්න නෙවෙයි. අප අද අපේ දිශාව වෙනස් මාර්ගයකට ගෙනයන්න තමා මේ උත්සාහය.Sri Lanka Latest News

වසර කිහිපයකට පෙර සිට ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින පාරිසරික සංචාරක ක්ෂේත්‍රයක් ගැන තමා අද අපේ කතාවේ ආරම්භය. කඳු නැගීම එහෙම නැත්තම් ‘හයිකින්’ අද වනවිට තරුණ ප්‍රජාව හා පරිසරයේ නැවුම් අත්දැකීම් ලබාගැනීමට කැමැති පිරිස් අතර ව්‍යාප්ත වෙමින් පවතිනවා. මෙකී කඳු නැගීමේ ක්‍රියාදාමය ටිකක් අමාරු කාර්යයක් නිසා ඊට සහභාගි වන පිරිස අතළොස්සක් වුණත්, මේ වනවිට එය ඉතා සීග්‍රයෙන් ප්‍රචලිත වෙමින් පවතින බව අපට පෙනී ගියා.
කඳු නැගීමට සහභාගි වන පිරිසෙන් පරිසරයට සිදුවන හානිය ඉතා අවමයි. හැබැයි සමහර ස්ථානවල පරිසරය දූෂණය වන අවස්ථාවනුත් නැතිවා නෙවෙයි. උදාහරණයක් විදිහට සමහර කඳු මුදුන්වලට යාම බලධාරීන් තහනම් කර තිබීම මීට හොඳම උදාහරණය. ඊට හේතුපාදක වෙලා තියෙන්නේ අපේම අය එකී කඳු මුදුන්වලට ගොස් ඉවක් බවක් නැතුව පරිසරය විනාශ කර පැමිණීමයි. තත්ත්වය එසේ වුවත් මේ වනවිට එය ක්‍රම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින එක සාධනීය ලක්ෂණයක්.
ලෝකයේ අනිත් රටවල කඳු නැගීමේ ක්‍රියාවන් හා පාරිසරික සංචාරයන් හැටියට වෘත්තීය මට්ටමෙන් ක්‍රියාත්මක වුණත් අපේ රටේ තාම ඒ තත්ත්වයට ඇවිත් නැහැ. කෙසේ වෙතත් අපේ රටේ වත්මන් තරුණ කණ්ඩායම් බොහොමයක් මේ වනවිට කඳු තරණය කිරීමට සහභාගි වීමටත්, එසේ ගොස් අදාළ කඳු මුදුන් හා පාරිසරික පද්ධතීන් දූෂණය නොකිරීමට වගබලා ගැනීමට පෙලඹීම අගය කළ යුතුයි.
සුන්දර කඳු මුදුනක් තුළ මීදුමෙන් වැහුණු සීතල රාත්‍රියක අපට පාරිසරික පද්ධතියක රාත්‍රියක් ගතකරන්න ලැබෙනවා කියන්නේ තරමක් දුරට වාසනාවක්. කැලෑ කොලමේ ලියුම්කරුටත් එකී සුන්දර අවස්ථාවක අත්දැකීම ලබාගැනීමට පසුගිය සතියේ අවස්ථාව ලැබුණා. ඒ බෙලිහුල්ඔයට ආසන්න සමනල අඩවියට අයත් හාවාගල කඳු මුදුන තරණය කිරීමට දායකත්වය ලබාදීමට හැකිවීමෙන්.

හතර දෙනෙක්ගෙන් යුතු කණ්ඩායමක් කඳු තරණයට අවශ්‍ය සියලු අඩුම කුඩුම අරගෙන සුන්දර හාවාගල කඳු තරණයට සූදානම් වුණා. ඉතාමත් දුෂ්කර ස්වභාවික මංපෙත් ඔස්සේ කඳු තරණය කිරීම අලුත් අත්දැකීමක්. හාවාගල කියන්නේ ඉතා ප්‍රසිද්ධ කඳු තරණයක ගමනාන්තයක්. පැය තුනහමාරක පමණ අති වෙහෙසකර ගමන් මාර්ගයක් ඔස්සේ සියලු බඩුබාහිරාදියත් රැගෙන කඳු මුදුනට ළඟා වනවිට හවස හයට විතර ඇති.

මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ කඳු නගින්නන්ගේ ශාරීරික යෝග්‍යතාව ඉතාමත් හොඳ තත්ත්වයක තිබිය යුතු වීම අනිවාර්ය අංගයක් බවයි. එසේ නොවුණහොත් එය ඉතා බරපතළ ගැටලුවලට මුලපුරන කාරණාවක් වෙන්න පුළුවන්. කඳු නැගීමේදී කිසිම බාහිර සම්බන්ධතාවක් නැති වීම හා බෙහෙත් හේත් කිරීමට පවා කිසිම කෙනෙක් නොමැති වීම කඳු නගින්නන් අනිවාර්යයෙන්ම සිහි තබාගත යුතු කාරණයක්.

කඳු මුදුනට අපි ළඟා වනවිටත් කඳවුරු බිම් අටක් විතර ඉදිකර තිබුණා. හතර අතේ බැලූ බැල්මටම හිටියේ වැඩිපුරම තරුණයන්. රාත්‍රී අහසේ චමත්කාරය හුඟදෙනෙක් විඳින්නේ නැහැ. හැබැයි ඒක වෙනම ලෝකයක්. මධ්‍යම රාත්‍රිය පසුවීමෙන් පසු මන්දාකිණියක් කඳු මුදුනේ ඉහළ අහසේ ඉතා මනරම්ව දිස්ව තිබුණා. එය ඉතා දුර්ලභ දසුනක්. හිමිදිරි පාන්දරම සෑම කූඩාරමකම සිටි අය ඉතා උනන්දුවෙන් ලකලෑස්ති වී ඉතා සුන්දර දසුනක් වන හිරු උදාව නැරඹීමට සූදානම් වුණා. ඉතා පැහැදිලි උදෑසනක අති සුන්දර දසුන් සමගින් තවත් දවසක් උදාවුණා.

පාරිසරික ඇලුම් කරන අය වශයෙන් කිය යුතු දෙයක් තියෙනවා. සියලු කඳවුරු බිම්වල සිටි අය උදෑසන අට පමණ වනවිට මුළු පරිසරයම පිරිසිදු කොට එක පොලිතින් හෝ ප්ලාස්ටික් කෑල්ලක්වත් ඉතිරි නොකොට රැගෙන ආ සියලු දෑ නැවත ගෙන යාමට කටයුතු කිරීම ඉතා ප්‍රශංසනීය කරුණක්. එය පරිසරයට ඇලුම් කරන හැමෝටම ඉතා හොඳ පණිවුඩයක්.

හාවාගල කඳු තරණයට මා හා එක්වූ චන්දික මල්ලීටත්, අකලංක 1 හා අකලංක – ඩිල්ෂාන් සගයන්ගෙන් ලැබුණු සහයෝගය සඳහන් කළ යුතුමයි. ඔවුන්ගේ සහභාගිත්වය හා සහයෝගය නොතිබුණේ නම් මෙම සංචාරය සාර්ථක නොවනු ඇත. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න අපේ රටේ බලධාරීන්ට ඕනෑ තරම් පාරිසරික අවස්ථා තිබෙන බවට කඳු නැගීම තවත් එක් උදාහරණයක් පමණයි. එය විධිමත් පාලනයකින් හා අවධානයකින් හා අධීක්ෂණයකින් කටයුතු කරන්නේ නම් රටට විදේශ විනිමය ගෙන ඒමට තවත් එක් මාර්ගයක් වනු ඇත.

කඳු නගින සැමගෙන් කැලෑ කොලමේ අපි ඉතා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ අපිට නුහුරු නුපුරුදු පරිසර පද්ධතියක යන ඔබ ගෙනයන සියල්ල නැවත රැගෙන එන ලෙසයි. එවිට එකී කඳු මුදුන් තවත් කාලයක් නිරුපද්‍රිතව පැවතිනු ඇත.

සමන් හල්ලොලුව










