මං මැරෙන්න බය නැහැ යකෝ
සිරමැදිරියෙ යකඩ කූරු අල්ලාගෙන මොහොතක් කල්පනා කරමින් සිටි සරදියල් අමුතු ජවයක්, අමුතු පණක් ලද්දකු සේ පපුව පිරෙන්නට හුස්මක් ගෙන යකඩ කූරු දෙකක් දෙපසට ඇද නවා දැමුවේ විස්මයජනක අයුරිනි. පළල් වූ යකඩ කූරු අතරින් රිංගාගත් හෙතෙම නිදිකිරමින් සිටි පොලිස් නිලධාරියාගේ සිරුරට උඩින් පැනගෙන විත් අඳුරේම මිදුලට පැනගත්තේය. කූඩුවෙන් පැනගොස් සරදියල්ට පොලිස් නිලධාරීන්ගේ දෑස්වලට රහසේ පොලිසියෙන් පැන ගන්නා එක මහ අමාරු දෙයක් නොවීය. එතැනින් පැනලත් ඔහු කෙළින්ම ගියේ මම්මලේ හමුවීමටය. ඒ මම්මලේ දැකීමට ඇති ආසාවටත් වඩා සිය පෙම්වතිය වූ මම්මලේගේ සහෝදරිය දැකගන්නා අදහසිනි. පොලිසියට හසුවූ මිතුරා තමන් ඉදිරියේ සිටින අයුරු දැක මම්මලේ මෙන්ම ඔහුගේ සහෝදරියද විමතියට පත්වූවාය.
‘සරදියල් කොහොමද ආවේ, උඹව නිදහස් කළාද?’
මම්මලේ දෑස් විමතියෙන් පුරවාගෙන ඇසුවේය. සරදියල් කට කොනකින් හිනාවුණේය.
‘උඹ පොලිසියෙන් පැන්නද?’
‘හ්ම්… පැන්නා නිකන් නෙවේ උන්ගෙ මහලොකු කූඩුවේ යකඩ කූරුත් නවලා’
‘මොනවා… දැන් උඹ නැති බව දැනගත්තාම උන් කිපෙයි. ඊට පස්සේ ගම දෙවනත් කරලා උඹව හොයයි.’
මම්මලේ පැවැසුවේ තරමක තැතිගැන්මෙනි. සහෝදරිය සරදියල්ට කෑම පිඟානක් බෙදා දුන්නේ ඔහු කුසගින්නේ බව දැනගෙනය. කෑම පිඟාන වේගයෙන් හිස් කළ සරදියල් වතුර කෝප්පය එක උගුරට බීවේය.
‘මං දැන් යන්න ඕනෑ. අද ඉඳලා අපි ටිකක් කල්පනාවෙන් වැඩ කරන්න ඕනෑ. එහෙම නැත්නම් සුද්දන් එක්ක වැඩ කරන එක ලේසි නැහැ’
සරදියල් එසේ කියා ඒ මොහොතේම නිවෙසින් පිටවුණේ උතුවන් කන්දට යන අදහසිනි. සිය සහෝදරියට දොර-ජනෙල් වසාගෙන ඉන්නට කියා මම්මලේද සරදියල් සමඟ පිටත්ව ආවේය.
එතැන් පටන් සරදියල් කටයුතු කළේ ප්‍රවේශමටය. ඔය අතරේ කිහිප අවස්ථාවකම සරදියල්ව අල්ලාගෙන යන්නට පොලිස් නිලධාරීන් උතුවන්කන්දට පැමිණියද ඒ කිසිදු අවස්ථාවක සරදියල්ව අල්ලා ගන්නට තබා ඔහුට සමීප වෙන්නටවත් ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැත.
‘සුද්දා රට අරක්කු ගෙනත් අපේ උන්ට පොවලා උන්ව ඕවට ඇබ්බැහි කරලා සූරාගෙන කනවා. මෙහෙම ගියොත් අපේ උන්ගෙ පවුල් පිටින් විනාශ වෙලා යයි බේබදු කමට වැටිලා.’
දිනක් සරදියල් සිය මිතුරන් සමඟ පැවැසුවේ අලුත් සැලසුමක් සිතේ තබාගෙනය. ඒ අරනායක ප්‍රදේශයේ ඇති සුද්දාගේ අරක්කු ගබඩාව විනාශකර දැමීමේ අරමුණයි.
‘ඕකට අපට කරන්න දෙයක් නෑනේ සරදියල් අයියා.’
‘හහ්… එහෙම කියලා බැහැ… අපි අද හෙටම සුද්දගෙ අරක්කු ගබඩාවට ගිනි තියන්න ඕනෑ.’
‘අරනායක ගබඩාවට?’
‘ඔව්… අරනායක ගබඩාවට. ඒක කරන විදිය මං කියන්නම්. උඹලා ලෑස්තිද වැඬේට.’
‘සරදියල් අයියා කියනවා නම් අපි මරු කටට හරි එන්නම්’
එතැනින් පසුව සරදියල්ගෙ සැලැස්ම හෙළි කෙරිණි. ඒ අනුව සුද්දා නොසිතූ මොහොතක අරනායක අරක්කු ගබඩාව ගිනිබත් කරන්නට සරදියල් ඇතුළු පිරිසට හැකියාව ලැබුණේය. එහිදී පැහැරගත් මුදල්ද දුප්පතුන් අතරේ බෙදාදුන් සරදියල් යළිත් උතුවන්කන්දට ගොස් සැඟවී සිටියේ ඒ වෙද්දි සුදු පාලනය තමා ගැන තදබල අයුරින් කෝපාවිෂ්ටව ඇති වග දන්නා නිසාය.
‘අදත් සරදියල්ව හොයාගෙන සුද්දගෙ පොලිසිය ගමට පැනලා’
නිතර නිතර ඔය කතාව සරදියල්ගෙ සවනට ඇසුණේ ගම්මුන් ඔහුව ආරක්‍ෂා කරන්නට සැදී පැහැදී කටයුතු කළ නිසාමය. කොතරම් ප්‍රශ්න, කරදර තිබුණද ගමේ මිනිසුන්ගේ දුක-සැප සොයා බලා දුකට පිහිට වෙන්නට සරදියල් අමතක නොකළේය. ඔහු නිතරම ඔවුන්ගේ අවශ්‍යතා සොයා බලා දැනගන්නට සිය මිතුරන්ටද දැනුම් දී තිබිණි. කාට හෝ අගතියක්, ලෙඩක්, දුකක් ඇත්නම් කොහෙන් හෝ අවශ්‍ය මුදල් සොයා දීමට සරදියල් ඉදිරිපත් විය. එවැනි අවශ්‍යතා පැනනැඟුණු කිහිප විටකදීම හෙතෙම සුද්දාගෙ බඩු කරත්ත පැහැරගත් අතර නිතර නිතර සරදියල්ගෙන් සිදුවන අරියාදු හමුවේ සුදු පාලකයාද කුපිතව සිටියේය. සරදියල් ගැන ඉහළම තැන්වල පාලන නිලධාරීන්ට පවා ආරංචිය ගියේ එනිසාය.
‘කොහොම හරි සරදියල් කියන මිනිහව අල්ලාගෙන එනවා.’
ඉහළ තනතුරු දැරූ සුදු පාලන නිලධාරීන් සිය පොලිසියේ ප්‍රධානීන්ට අණ දුන්නේ එලෙසිනි. එනිසාම අවස්ථා කිහිපයකදී සරදියල් අතින් මට්ටු වෙන්නට පොලිසියේ නිලධාරීන්ට සිදුවූයේ උතුවන් කන්දට යන අතරමඟදී සරදියල් විසින් සූක්‍ෂ්මව එල්ල කරනු ලබන ප්‍රහාර ගැන තිබූ අනවබෝධය හේතුවෙනි.
කිසිදු ආකාරයකට සරදියල්ව කොටුකර ගන්නට අපොහොසත් වූ තැන ඉංග්‍රීසි ආණ්ඩුවට මෙය මහත් හිසරදයක්ව තිබුණේය. සරදියල් වැනි කුඩා මිනිසකු සුදු අධිරාජ්‍යයම සලිත කළේ එලෙසිනි. මේ තත්ත්වය හමුවේ සුදු පාලකයින් තවත් අලුත් තීන්දුවක් ගත්තේ 1864 ජනවාරි 12 වැනිදාය. එදින විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණේ සරදියල් අල්ලා ගැනීම වෙනුවෙන්මය. ගැසට් නිවේදනය අනුව සරදියල් ගැන ඔත්තුවක් දෙන්නකුට ලැබෙන තෑගි මුදල පවුම් 100කි. ඔහුගේ මිතුරන් ගැන ඔත්තුව දෙන්නකුට ලැබෙන තෑගි මුදල පවුම් 100කි.
එතැන් පටන් සරදියල්ට වෙනදාට වඩා ආරක්‍ෂිතව සිටිය යුතු තත්ත්වයක් උදා වූයේය. එනිසාම සරදියල්ට මම්මලේගේ නිවෙසට ගොස් ඔහුගේ සහෝදරිය හමුවීමටද අවස්ථාව ලැබුණෙ අඩුවෙනි. මේ හේතු නිසාම මම්මලේගේ සහෝදරියට කාදර් සමඟ විවාහ වෙන්නට සිදුවූයේ දෛවයේ සරදමකට මෙනි. සරදියල් එයින් සැලුණේ නැතත් ඔහුගේ සිතේ ඇය ගැන තිබූ ළෙන්ගතුකම මැකී ගියේ නැත. සරදියල් ඈට දිගින් දිගටම ළෙන්ගතුකම් පෑවේය.
‘මගේ හිතෙත් ඔයා ගැන ඇති ළෙන්ගතුකම් එහෙමම තියෙනවා අයියා’
අහම්බෙන් හමුවූ මොහොතක මම්මල්ගෙ සහෝදරිය සරදියල්ට පැවැසුවේ කාදර්ට රහසේය. ඒ අනුව දෙදෙනා අතර ළෙන්ගතුකම් අලුත් වුණේය. ඉඩක් ලද විගස සරදියෙල් ඇය සොයා ගියේ කාටත් රහසිනි. ඒ අතරේ දිනෙක සරදියල් තම මිතුරන් දෙදෙනකු සමඟ කතාවට සම්බන්ධ වූයේ ඔවුන්ගේ පෙරැත්තය නිසාමය. ඉන්පසු සරදියල් සිය පෙම්වතිය බලන්නට එන්නට සිතුයේ නොසිතූ ඇසිල්ලකය. ඔහු ඒ බව සිය මිතුරන් දෙදෙනා සමඟ පැවැසුවේ ඔවුන් තමාට අතිශය විශ්වාසවන්තයන් වූ නිසාමය.
‘හොඳයි සරදියෙල් අයියා, අපිත් එන්නම් අයියාගෙ ආරක්‍ෂාවට’
මිතුරන්ද ගමනට එක්වූයේ එසේ කියමින් අතරමඟදී එක් මිතුරකු වෙනත් අවශ්‍යතාවයක් කියා වෙනතක ගිය අතර අනෙකා සරදියල්ව මම්මලේගේ සහෝදරිය වෙත යවා අතරමඟ නතර වූයේ ඔත්තු බලන පොරොන්දුව පිටය. සරදියල් කාදර් නැති අතරේ සිය පෙම්වතිය සොයා ගියේ කාලයකට පසුවය. එනිසත් අතරමඟ ඔත්තු බලන්නට සමීපතමයකු සිටින නිසාත් සරදියල්ට කිසිදු චකිතයක් නොතිබිණි.
එහෙත් සියල්ල වෙනස් වෙන්නට වැඩි වෙලාවක් ගියේ නැත. පොලිසිය සරදියල් සිටි නිවෙස වටලා ඔහුට යටත් වන ලෙසට අණ නිකුත් කළේය. සරදියල් ගිනි අවියත් අතැතිව ජනේලය අසලට ආවේ දෙගඩියාවෙනි. හතරවටෙන් රැකවල්ලා සිටි පොලිසිය දුටු සරදියල්ට කොතැනක හෝ වරදක් සිදුව ඇති බව පැහැදිලි විය.
‘යටත් වෙයන් නැත්නම් වෙඩි තියලා මරනවා උඹව. මරන්න ඕඩර්ස් ලැබිලා තියෙන්නෙ සරදියල්’
පොලිසිය කෑගසා කීවේය. සරදියල් තුවක්කුබටය ජනේලයෙන් පිටතට දමා පොලිස් නිලධාරීන්ට ඉලක්කය ගත්තේය.
’මාව එහෙම ලේසියෙන් මරන්න උඹලට බැහැ යකෝ’
සරදියල්ගෙ තුවක්කුවෙන් මුල්ම වෙඩිල්ල පිටවූයේ ඔහුගේ මුවින් ඒ වචන පිටවෙද්දීමය. පොලිස් නිලධාරීන් කිහිපදෙනකුම එලෙස බිම හෙළන්නට සරදියල් සමත්කම් පෑවද ඒ වෙද්දි පසුපසින් නිවෙසට ඇතුළු වීමට පොලිසිය සූක්‍ෂ්මව කටයුතු කර තිබුණේය. ඒ අනුව පොලිසියට අවනත වෙනවා හැර අන් යමක් කරන්නට ඉඩක් සරදියල්ට නොවීය. ඒ වෙද්දී ඔහු අත තිබූ පතරොම් සියල්ල අවසන්ව තිබූ අතර, විශාල පොලිස් නිලධාරීන් පිරිසක් ඒ වෙද්දිත් එම ස්ථානයට පැමිණ සිටියේය. ඒ අතර පොලිස් වෙඩි පහරක් වැදී ඔහුගේ අතකට බරපතළ ලෙස තුවාලද වී තිබුණි.
සියල්ල එලෙසින් සිදුවෙමින් සරදියල්ගෙ ගමන අවසන් වූයේ ඔහුගේම මිතුරන් දෙදෙනකු විසින් ඔහු ගැන ඔත්තුව ලබාදී තිබූ නිසා බව පසුකලෙක හෙළි වූ අතර, වෙඩි නොවදින්නට බලපිහිටවා සරදියල් අත සුරයක් බැඳ තිබූ බවත් එම සුරයේ බලබිඳුණේ ඔහු කෑමට ගත් දෙයකට ඌරු තෙල් මිශ්‍ර කර තිබූ නිසා බවත් පසුව කවුරුත් දැනගත්තේය. එහෙත් එදත් නියම සිංහලයකු පිටදේශක්කාරයින් හමුවේ පාවා දෙන්නට සිංහලයන්ම ක්‍රියා කළ බව කනින් කොනින් පැතිර යද්දී පවුම් සියයකට ජාතිය පාවා දුන්නවුන් ඒ මුදලින් රසමසවුළු බුදිමින් කොතරම් කලක් යෙහෙන් වැජඹුණාදෝයි දන්නේ දෙවියන්ම පමණකි.
නිමි
කුමාර රත්නායක











