ලොව ප්‍රබල ජනාධිපතිවරුන්, අගමැතිවරුන් සහ ලොව ප්‍රකට පුද්ගලයන් දැඩි අපහසුතාවකට පත්කරමින් මේ වනවිට නිකුත් කර ඇති එප්ස්ටීන් ලිපිගොනුවල ශ්‍රී ලංකාව පිළිබඳවද 188 වතාවක් සඳහන්ව ඇති බව අනාවරණ වී තිබේ.
නමුත් ඒ කිසිදු සඳහනක ශ්‍රී ලංකාවට අදාළව වැරැදි ක්‍රියා හෝ අපරාධවලට අදාළ චෝදනා නොමැති බවද වාර්තා වේ.
ලිංගික අපරාධකරුවකු ලෙස වරදකරු වූ ජෙෆ්රි එප්ස්ටීන්ට අදාළ ලේඛන විශාල ප්‍රමාණයක් එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා ප්‍රසිද්ධියට පත්කිරීමට පියවර ගෙන තිබිණි.
එම ලිපි ලේඛනවල ජෙෆ්රි එප්ස්ටීන් සමීප සම්බන්ධතා පැවැත්වූ ලොව ප්‍රධාන පෙළේ පුද්ගලයන් රැසක් සම්බන්ධයෙන් ලේඛන සහ ඡායාරූප ප්‍රසිද්ධියට පත්කිරීමට පියවර ගෙන තිබූ අතර, ඒ අනුව මේ වනවිට එම ප්‍රබල පුද්ගලයන් රැසක්ම දැඩි අපහසුතාවට පත්ව ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන.
එහි ඇති විශේෂත්වය වන්නේ වත්මන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්, බි්‍රතාන්‍ය රජ පවුල, මයිකල් ජැක්සන් වැනි ප්‍රබල පුද්ගලයන්ගේ හා වෙනත් රටවල ප්‍රබල පුද්ගලයන්ගේත් දුර්ලභ ඡායාරූප මෙම ලිපිගොනු මගින් ප්‍රකාශයට පත්කර තිබීමය.
කෙසේ වෙතත් අදාළ ලේඛනවල ලංකාව පිළිබඳ ඇති සඳහන් කිරීම්වලදී ජෙෆ්රි එප්ස්ටීන් අතරමැදි ගමනාන්තයක් සඳහා ලංකාවට පැමිණ ඇති බවත්, එහිදී ප්‍රභූ පුද්ගලයන් කිහිපදෙනකු හමුවී ඇති බවත් වාර්තා කොට ඇත.
දේශපාලන නායකයන්ට සමීප සහ දේශපාලන කපුකම්වලට ප්‍රසිද්ධ අයකු ලෙස ජෙෆ්රි එප්ස්ටීන් ප්‍රකට වී තිබීම හේතුකොට ගෙන ඔහු ලංකාවට පැමිණි අවස්ථාවේදී මුණගැසුණේ කවුද, ඔවුන් සමග සාකච්ඡා කළේ මොනවාද යන්න පිළිබඳ මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහක් මතුව තිබේ.
ඒ අනුව බොහෝ දුරට ඉදිරි දින කීපය ඇතුළත ජෙෆ්රි එප්ස්ටීන් ලංකාවට පැමිණ මුණගැසුණු පුද්ගලයන් සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් සිදුවීමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත.










