ජාතික ආර්ථිකය නැවත නගාසිටු වීමට සහාය වීමට දරන ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව COVID-19 වසංගතයෙන් දැඩි බලපෑමට ලක් වූ පුද්ගලයින් හා ව්‍යවසායකයින් සඳහා 2020 ජුනි මස අවසන් වන විට රුපියල් බිලියන 350ක වටිනාකමින් යුත් ණය පමා සහනයක් ලබාදී ඇත.
HNB සමස්තයක් ලෙස ආයතනික, සුළු හා මධ්‍ය පරිමාණ, ක්ෂුද්‍ර සහ පාරිභෝගික ආදී වශයෙන් තම සියලුම සේවාදායකයින් 65,000කට වැඩි සංඛ්‍යාවකට ණය පමා සහන ලබාදී ඇත.
රජය මගින් පාලනය කරන වැඩසටහන් සමඟ පෙළෙගැසෙමින් HNB ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘සෞභාග්‍යා කොවිඞ්-19 පුනරුද ණය සහන’ පහසුකම ඇතුළු ණය යෝජනා ක්‍රම හරහා වාර්ෂික 4% සහන පොලී අනුපාතයකට රුපියල් බිලියන 9.5 කාරක ප්‍රාග්ධන ණය (WC) පහසුකම්ද සලසාදී ඇත.
මහ බැංකුවේ සෞභාග්‍යා අරමුදලෙන් ලබා දෙන ණය මුදල ලබා ගැනීමට නොහැකි වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ආධාර හා සහාය ලබාදීම සඳහා HNB තමන්ටම අයත් රුපියල් බිලියන 5ක කොවිඞ් සහන අභ්‍යන්තර අරමුදල මගින් වසරකට 8% සහන පොලී අනුපාතයකට ණය ලබාදීම සඳහා HNB මෙම කොවිඞ් අරමුදලද උපරිමයෙන් යොදා ගනු ලැබීය.











