ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව තුළ නව ව්‍යවසායික සංස්කෘතියක් නිර්මාණ කරලීමේ ජාතික කාර්යයට උරදෙමින්, ඔවුන් තුළ ව්‍යාපාර ක්‍ෂේත්‍රය කෙරෙහි පෙලඹවීමක් ඇතිකරලීම අරමුණ කර ගනිමින් දියත් කරනු ලබන Derana START UP 2021 රූපවාහිනී වැඩසටහන සඳහා තරුණ ව්‍යවසායකයින් වෙතින් අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත. USAID ආයතනයේ තරුණ රැකියා සහ ව්‍යාපාර සමාරම්භක ව්‍යාපෘතිය වන YouLead, දෙරණ මාධ්‍ය ජාලය සහ ජෝර්දානු ලාභ නොලබන සංවිධානයක් වන Partners for Good (PfG) යන ආයතන ඒකාබද්ධව සිදුකරනා මෙම නවතම වැඩසටහන තුළින් දේශීය රැකියා වියුක්තිය අවම කරමින්, දිවයින පුරා ශක්තිමත් අනාගත ව්‍යවසායකයින් රැසක් නිර්මාණය කිරීම සඳහා ශක්තිමත් පදනමක් සපයනු ලබයි.
වර්තමාන සංඛ්‍යාලේඛනවලට අනුව ශ්‍රී ලංකාවේ ඉහළ තාක්‍ෂණික පුහුණු පාඨමාලාවන් සම්පූර්ණ කරනු ලබන තරුණ තරුණියන් අතරින් ව්‍යවසායකත්වය සඳහා යොමුවන්නේ ප්‍රතිශතාත්මකව 5%කටත් අඩු ප්‍රමාණයකි. මේ ආකාරයට තාරුණ්‍යය ව්‍යවසායකත්වයෙන් දුරස් කිරීම සඳහා මූලික වශයෙන් බලපා ඇති කරුණක් වන්නේ එම ක්‍ෂේත්‍රය හා සම්බන්ධව සමාජය තුළ ඇති සෘණාත්මක ආකල්පයයි. මෙම Derana START UP 2021 රූපවාහිනී වැඩසටහන මගින් සමාජය තුළ ව්‍යාප්තව ඇති මෙම සෘණාත්මක තත්ත්වය මඟහැරවීමටත්, තරුණ ව්‍යවසායකයන් දිරිමත් කිරීමටත්, ශ්‍රී ලාංකීය තාරුණ්‍ය වෙත නව ව්‍යාපාරික සංස්කෘතියක් හඳුන්වා දිමටත් මනා පිටිබලයක් සපයනු ඇත.










