බිලි පූජාවක් යනු කුමක්ද යන්න අලුත් වචනයක් නොවේ. මන්ද එයට ඇත්තේ ඉතා දිගු මෙන්ම පැරණි ඉතිහාසයකි. තවත් ලෙසකින් කිවහොත් බුදු රජුන්ගේ කාලයේ පවා බිලි පූජාවන් පවත්වා තිබේ. ඒ බ්‍රාහ්මණයන් විසිනි. එසේ පවත්වා ඇත්තේ එකල තිබූ යාගයේ මූලික කොටසක් ලෙසිනි. එම කතාව එසේ වෙද්දී අප අද කියන්නට යන්නේද අමුතු බිලි පූජාවක් ගැනය. අනෙක් බිලි පූජා සමඟ ගත්කල මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙය කුඩා දරුවන් බිල්ලට ගත් එතෙක් මෙතෙක් ලොව විශාලතම ළමා බිලි පූජාව වීමයි. මීට අවුරුදු පන්සිය ගණනකට පමණ පෙර එනම් ක්‍රි.ව. 1520 දී පමණ එකසිය හතළිහකට වැඩි දරුවන් පිරිසක් හා දෙසීයකට අධික ළමා ලාමාවරුන් පිරිසක් මෙසේ එකවර ඝාතනය කර තිබේ. එම බිලි පූජාව පැවැත්වූ බව සඳහන් වන්නේ පේරු රාජ්‍යයෙහි උතුරු වෙරළ ප්‍රදේශයේය. ඉතින් අපේ අද කතාව එම බිහිසුනු බිලි පූජාව ගැනය.
සැබෑවටම මෙම ඉතිහාසගත බිලි පූජාව සිදුකර තිබෙන්නේ පේරු රාජ්‍යයෙහි චිමූ නම් අධිරාජ්‍යයේ වූ අගනගරයේ පැසිෆික් සාගරයේ ලවණ සුළඟ නිතර හමා එන වෙරළාසන්න බෑවුම් ප්‍රදේශයකය. කෙසේ වුවද ඇස්ටෙක්, මායා මෙන්ම ඉන්කා වැනි ගෝත්‍ර අතර මිනිස් බිලි පූජා කිරීමේ යම් යම් අවස්ථාවන් යටත් විජිත සමය තුළ ස්පාඤ්ඤ ඉතිහාසයේ පැවති බව නූතන විද්‍යාත්මක කැණීම්වලදී වාර්තා වුවද මෙසේ පූර්ව කොලොම්බියානු චිමූ ශිෂ්ටාචාරයේ මෙවැනි මහා පරිමාණ ළමා ඝාතන සිද්ධියක් සොයා ගැනීම එක්තරා අන්දමක පුදුමයට කරුණකි. එම නිසාම මේ පිළිබඳව ජාතික භූගෝලීය සංගමයේ මූල්‍ය ආධාර ඇතුව ටෘද්‍යාලෝ ජාතික සරසවියේ ගේබි්‍රයෙල් ප්‍රිටෝ හා ටුලේන් විශ්වවිද්‍යාලයේ ජෝන් වෙරනෝ ප්‍රධාන ජාත්‍යන්තර අන්තර් ක්ෂේත්‍ර අධ්‍යයන කණ්ඩායමක් විසින් විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකර තිබේ. පසුව මීට ටික කලකට උඩදී අදාළ පර්යේෂණ කණ්ඩායමේ සොයා ගැනීම්වල විද්‍යාත්මක ප්‍රතිඵල සමාලෝචනය කළ වාර්තාවක් විද්‍යා සඟරාවක් විසින් මාධ්‍ය වෙත නිකුත්කර තිබූ අතර එහිදී ටුලේන් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාඥ ජෝන් වෙරනෝ පවසා තිබුණේ දශක තුනකට අධික අත්දැකීම් ඇති ඔහුගේ ජීවිතය තුළ තමන් කිසිදා මෙවැන්නක් අපේක්ෂා නොකළ බව හා ලෝකයේ කිසිවෙකු මෙම කතාව විශ්වාස නොකරනු ඇති බවයි.
මෙම ලොව විශාලතම ළමා බිලි පූජාව පිළිබඳව මුලින්ම වාර්තා පළවූයේ 2011 වර්ෂයේ පටන්ය. ඒ ප්‍රියෙටෝ නම් හුවාන්චෙකෝ ජාතික පුරාවිද්‍යාඥයකු විසින් විශේෂ අධ්‍යයන කටයුත්තක් සඳහා කළ හදිසි කැණීමක් තුළදීය. ඒ කැණීමේදී එම පුරාවිද්‍යාඥයාට කුඩා දරුවන්ගේ සිරුරු 42ක් හා ළමා ලාමාවරුන්ගේ සිරුරු 76ක් හමුවී තිබේ. ඊට අමතරව බිලි පූජාව කළ භූමියට ඒමට තිබූ ඒ මාර්ගයේ සිදුකළ කැණීම්වලදී ඔහුට අවුරුදු 3500ක් පමණ පැරණි දේවස්ථානයක්ද හමුවූ බව සඳහන්ය. ඒ අනුව එම ස්ථානයේ විශාල වශයෙන් කැණීම් සිදුකළ අතර ගෙවී ගිය 2016 වසරේදී කැණීම් නිමකරන විට කුඩා දරුවන්ගේ සිරුරු 140ක් හා ළමා ලාමාවරුන්ගේ සිරුරු 200ක් සොයාගෙන තිබිණි. මළ සිරුරු සමඟින් තවත් බොහෝ දේවල් හමු වී ඇති අතර ඒ අතර තිබී අවුරුදු 1400ක් 1450ක් පමණ කාලයක් පැරණි කඹ සහ රෙදිපිළිද හමුවිය. ඒ දේවල් එතරම් පැරණි බව සොයාගත්තේ එයින් පසුව සිදුකළ කාබන් පරීක්ෂණ හරහාය.

බිලි පූජාවට මුහුණ දුන් කුඩා දරුවන් සියල්ලෝම වයස අවුරුදු පහේ සිට දාහතර දක්වා ළමා වයස්වල පසුවූවන් වූ අතර ඉන් බොහෝ පිරිසක් වයස අවුරුදු අටත් දොළහත් අතර වයසේ පසුවූවන් බව අනතුරුව හෙළිවිය. මේ අතර අදාළ කැණීම් සියල්ලක්ම සිදුකළ පර්යේෂකයින් සියල්ලන්ගේම ඇස් ඉහළ ගිය දරුණු අනාවරණය වූයේ එම මියගිය බොහෝ දරුවන්ගේ පපු කුහර කපා විවෘත කොට හෘදය වස්තුව ඉවත් කර තිබූ බවයි. තවද එම බිලි පූජාව ඉටු කිරීමට පෙර දරුවන්ගේ මුහුණු රක්ත වර්ණ හිරිගල් විශේෂයකින් වර්ණ ගන්වා තිබී ඇති අතර කුඩා ලාමාවරුන්ටද එම ඉරණමට මුහුණ දීමට සිදුවී තිබූ බව පැහැදිලි විය. ඒ ඉරණමටම මුහුණු දුන් සත්ව සිරුරුවල කොටස්ද බිලි පූජා භූමියේ සිදුකළ කැණීම්වලදී පසුව හමුවිය. ඊට අමතරව කුඩා දරුවන්ගේ හා ඉහත කී සත්වයින්ගේ සිරුරුවලට ඉතා ආසන්නයෙන් පිරිමියකු හා ගැහැනු දෙදෙනකුගේ වැඩිහිටි සිරුරු තුනක්ද සොයාගන්නට විය. එම සිරුරුවල හිසට මොට ආයුධවලින් පහර දී තිබූ සලකුණු දක්නට ලැබුණු අතර වෙනත් කිසිවක් එම සිරුරුවලට කර නොතිබිණි.
මෙම ඉතිහාසගත බිලි පූජාවට සිය පණ කෙන්ද දන්දුන් මියගිය කුඩා දරුවන් සියල්ල මිනීවළවල් තුළ තැන්පත් කර තිබූ බව කැණීම් හරහා සොයා ගැනුණි. එසේ තැන්පත් කර තිබුණේ මුහුදට විරුද්ධ දිශාව වූ බටහිර දිශාවට මුහුණලාය. නමුත් කුඩා ලාමාවරුන් තැන්පත් කර තිබුණේ නැඟෙනහිර දිශාවට මුහුණලා ඇන්ඩිස් කඳු දිශාවටය. එම ඝාතනය කර තිබූ සියලුම ලාමාවරුන් අවුරුදු එකහමාරකට අඩු වයස්වල සිටි අය බව හෙළිවිය. එහිදී උතුරු හා දකුණු අන්තවලින් බිලි පූජා භූමියේ මධ්‍යයට ඔවුන් පෙරහැරින් ගෙන්වා බිලි පූජා භූමිය මධ්‍යයේදී කණ්ඩායම් දෙකම එකතු කර බිලි පූජාව සිදුකර තිබෙන බව පර්යේෂකයින්ගේ අනුමානය විය. මෙම කරුණු එකින් එක අනාවරණය වෙනවිට පුරාවිද්‍යාඥයන් විසින් ලෝකයෙහි මෙතෙක් වාර්තා වී ඇති ඉතිහාසයේ විශාලතම ළමා බිලි පූජාව ලෙස මෙය හැඳින්වූ අතර මීට ඉහතදී ලොව විශාලම ළමා බිලි පූජාව ලෙස නම්කර තිබුණේ ඇස්ටෙක් නම් ගෝත්‍රික අගනගරය වූ ටෙනොචිට්ලෑන්හි හෙවත් වත්මන් මෙක්සිකෝ නගරයේ ටෙම්ප්ලෝ මේයර් බිලි පූජා සිද්ධියයි. එහිදී කුඩා දරුවන් 42ක් ඝාතනය කර වළ දමා තිබිණි. එහෙත් පසුව කළ පුරාවිද්‍යා කැණීමක් හරහා ඒ සිරුරු සියල්ල හමුවිය.
අප පවසමින් සිටි මෙතෙක් ලොව විශාලතම ළමා බිලි පූජාව තුළදී අදාළ බිලි පූජා භූමියේ වූ මඩ තට්ටුව මත පාවහන් පැලඳ සිටි වැඩිහිටියන්ගේ මෙන්ම කුඩා දරුවන්ගේ නිරුවත් පා සලකුණුද හමුවිය. තවද මුලින් කී සත්වයින්ගේ පා සලකුණුද ඒ අසලින් හමුවිය. එම සතුන්ගේ පා සලකුණු අතර බොහෝමයක් තිබුණේ බල්ලන්ගේ පා සලකුණුය. එහිදී මඩෙහි ගැඹුරට තිබූ පා සලකුණු මඟින් අනාවරණය වූයේ කුඩා දරුවන් සියල්ලෝම පෙරහැරකින් බලහත්කාරයෙන්ම මෙම ඉරණම කරා ඇදගෙන පැමිණ තිබූ අයුරුය. පසුව එම පා සටහන් විශ්ලේෂණයෙන් අදාළ පර්යේෂකයන්ට මෙම බිලි පූජා පෙරහැරෙහි ආකාරය නැවතත් ප්‍රති නිර්මාණය කරගත හැකි වූ බව සඳහන්ය. එදා මෙම පර්යේෂණයට දායක වූ ලේන් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාඥ ජෝන් වෙරනෝ පවසා තිබුණේ මෙතරම් දුරට පැහැදිලි සාක්ෂි සහිත මිනිස් බිලි පූජා සිද්ධියක් පුරාවිද්‍යා ඉතිහාසයේ මෙතෙක් හමු වී නොමැති බවත් එය විශ්ලේෂණය කිරීමේදී හෙළිවන්නේ කුඩා දරුවන් සහ කුඩා ලාමාවරුන් ඝාතනය කොට ඔවුන්ගේ හෘදය වස්තු ඉවත් කරගෙන ඇත්තේ ඉතා ක්‍රමානුකූලව හා නිවැරදි කැපුම් යොදා ගැනීමෙන් බවත්ය. ඒ අනුව ඉතා පළපුරුදු පිරිසක් යොදා ගෙන සිදුකළ මෙම ක්‍රියාව උඩ මෙය නිසැකවම බිලි පූජා කර්මයක් බවත් මේ ඝාතන ක්‍රියාවලිය ඉතා ක්‍රමානුකූල අන්දමින් සහ විද්‍යාත්මකව කර ඇති බවත් පැහැදිලිව පෙනෙන බව විද්‍යාඥ ජෝන් වෙරනෝගේ අදහසයි.
එතෙක් මෙතෙක් ලෝකයේ විශාලතම ළමා බිලි පූජාව ලෙස සැලකෙන මෙම ළමා බිලි පූජාව කුමන අරමුණක් නිසා සිදුකර තිබේදැයි යන්න අදටත් ඇති එක්තරා අබිරහසකි. මෙහි කැණීම් සිදුකළ පර්යේෂණ කණ්ඩායම පවා ඒ පිළිබඳව අදටත් නිශ්චිත කිසිදු වූ නිගමනයකට පැමිණ නැත. නමුත් ලෝකයේ සිටින බොහෝ විද්වතුන්ගේ අදහස වන්නේ වර්ෂාව පතා හෝ පැතිරී යන වසංගතයකින් ගැළවීමට හෝ යම් යුද ජයග්‍රහණයකට බාරයක් වශයෙන් හෝ කිසියම් යුද ජයක් පතා මෙම බිහිසුණු ළමා බිලි පූජාව එකල සිදුකරන්නට ඇති බවයි. මෙම බිලි පූජාව ගැන අදහස් දක්වන ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ මෙන්ම මැක්ස් ප්ලෑන්ක් ආයතනයේ ඓතිහාසික මානව විද්‍යාව පිළිබඳ පශ්චාත් වෛද්‍ය පර්යේෂකයකු වන ජෝසෆ් වොට් පවසන්නේ මෙම ළමා බිලි පූජාව ගැන පැහැදිලි කිරීම එතරම්ම පහසු නොවනා බවයි. එමෙන්ම බිලි පූජාව ඉතා ශ්‍රේෂ්ඨ කැප කිරීමක් ලෙස පැරණි මිනිසා විශ්වාස කොට තිබූ බව පවසන ජෝසෆ් වොට්රෑ එහිදී තවදුරටත් පවසන්නේ මෙම බිළි පූජාවට හරි හේතුව දැනගැනීමට කාල යානයක් අවශ්‍ය බවත් වත්මන් නූතන දැනුම අනුව මෙය විග්‍රහ කිරීමට යාම අනුවණ ක්‍රියාවක් බවත්ය. ඒ අනුව අවසානම වශයෙන් අපට පැවසීමට ඇත්තේ එතෙක් මෙතෙක් ලෝකයේ සිදුවූ විශාලතම ළමා බිලි පූජාව අදටත් ප්‍රසිද්ධ අබිරහසක් බවයි.
රුවන් එස්. සෙනවිරත්න











