පසුගියදා පැවැති රාජ්‍ය සම්මාන උළෙලේ 2021 වර්ෂයේ හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් තිසුරි යුවනිකා කාලයක් සිය රංගන ජීවිතයෙන් ඉවත්ව සිටි දක්ෂ රංගන ශිල්පිනියකි. ඇගේ දක්ෂ රංගන හැකියාව තුළින් ‘ධර්ම යුද්ධය 2’ චිත්‍රපටය හරහා නැවතත් ප්‍රේක්ෂකයින් අතරට ආ ඇය සමගයි අද ‘මව්රට හාට්’ අපේ කතාබහ.Sri Lanka Latest News
ඉතින් තිසුරි මේ දවස්වල වැඩකටයුතු කොහොමද?
මේ දවස්වල මම ලංකාවේ නෙවෙයි ඉන්නේ. හස්බන්ඩ්ගේ වැඩ වගේකට විදෙස්ගත වෙලා ඉන්නේ. දැන් අවුරුදු දෙකකට කිට්ටුයි මෙහෙට ඇවිත්. ඉතින් එයාගේ වැඩවලට උදව් කරගෙන මේ ටිකේ ටිකක් විවේකීව ඉන්නවා.
2025 රාජ්‍ය සම්මාන උළෙලේ 2021 වර්ෂයට හොඳම නිළියට හිමි සමානය ඔබට ලැබුණා?
ඇත්තටම ගොඩක් සතුටුයි. ‘වලාකුළු දොරින් ගලන්න’ ටෙලිනාට්‍යයේ සඳුනිගේ චරිතයට තමයි මට මේ සම්මානය ලැබුණේ. සම්මානයක් කියන්නේ ඕනෙම රංගන ශිල්පියෙක්ට ශිල්පිනියකට එයාගේ මහන්සියට ලැබෙන ප්‍රතිඵලයක්. ඕනෙම සම්මානයක් ලොකු උත්තේජනයක්. අහිංසක ආඩම්බරයක්. මට ඔය සම්මානය තවත් විශේෂයි. මොකද මම 2020 ඉඳලා රංගනයෙන් ටිකක් ඈත් වුණා. කලින් කරපු ටෙලිනාට්‍යයකට සම්මානයක් හිමිවීමත් මේ දවස්වල රංගනයෙන් ඈත් වෙලා ඉන්නකොටත් සම්මානයක් ලැබීමත් මට තවත් විශේෂ දෙයක් වුණා. ඇත්තටම ගොඩක් සතුටුයි. හොඳම නිළිය සම්මානය මට මේ හතරවැනි වතාවට ලැබුණේ. රංගන ශිල්පිනියක් විදිහට මට ඒ ගැන තියෙන්නේ නිහතමානී සතුටක්.
මෙවර ඔබේ සම්මානය ලබාගත්තේ ඔබේ පියා?
ඔව් තාත්තා තමයි මං වෙනුවෙන් ගියේ. ඒකත් මං කිව්වා වගේම මේ සම්මාන උළෙල මගේ ජීවිතේ අමතක නොවෙන දෙයක්. මොකද දරුවෙක්ගේ සතුටකදී සාර්ථකත්වයකදී මවුපියෝ තරම් සතුටු වෙන අය තවත් නෑ. ඉතින් මගේ තාත්තා මං වෙනුවෙන් ගිහින් මගේ සම්මානය ලබාගත්ත එකම මට සම්මානය ලැබුණටත් වඩා ලොකු සතුටක්. එයාගේ මූණේ ඒ වෙලාවේ තිබ්බ සතුට, මට කතා කරලා කිව්ව දේවල් ඒ හැමදේටම දරුවෙක් විදිහට මට තියෙන්නේ ලොකු සතුටක්.

‘ධර්ම යුද්ධය 2’ චිත්‍රපටය හරහා නැවත ඔබව ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙනවා නේද?
ඔව්. ඇත්තටම ‘ධර්ම යුද්ධය 2’ චිත්‍රපටයට මම සම්බන්ධ වෙන්නේ අවුරුදු පහකින් විතර. මොකද මම අවුරුදු පහකින් විතර තමයි නැවත මේ චිත්‍රපටය හරහා රංගනයට එන්නේ. ධර්ම යුද්ධය 2 චිත්‍රපටයටත් මට ආරාධනා කරනකොට මම හරිම කැමැත්තෙන් ඒක භාරගත්තා. ධර්ම යුද්ධය කියන්නේ ගොඩක් සාර්ථක වුණු චිත්‍රපටයක්. ඒ චිත්‍රපටයේ මගේ චරිතයට අදටත් මිනිස්සු ආදරේ කරනවා. ඉතින් ධර්ම යුද්ධය 2න් කාලෙකට පස්සේ මම මේ චිත්‍රපටයට සම්බන්ධ වීම හරිම සුන්දර අත්දැකීමක් වුණා මට. මම රංගනය ඇත්තටම නවත්වලා නෑ. මම පොඩි කොමාවක් තියලා තියෙන්නේ. ඉතින් මම ලංකාවට ආව කාලෙක මට හොඳ නිර්මාණයක් ලැබුණොත් මම අනිවාර්යයෙන්ම රංගනයට එකතු වෙනවා.
ඒ කියන්නේ කලින් වගේ අපිට නැවත තිසුරිව රංගන ක්ෂේත්රය තුළ දකින්න ලැබෙන්නේ නැද්ද?
නෑ. එහෙම නෙවෙයි. කලින් වෘත්තීය මට්ටමෙන් රංගනයේ නියැළුණු මම එක දිගටම රංගනය විතරමයි කළේ. ඇත්තටම මම ගත්ත විවේකයෙන් පස්සෙ ටිකක් කම්මැළි වෙලා තියෙන්නේ වැඩ කරන්න. මට රංගනය අත්හරින්න බැරි දෙයක්. මොකද ඒක මගේ ඇඟේ තියෙන දෙයක්. ඉතින් ඒක මං අත්හරින්නේ නෑ. කලින් වගේ ගොඩක් නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ නැතුව තෝරා බේරාගෙන මම නිර්මාණ කරයි ඉස්සරහට.
ධර්ම යුද්ධය 1 චිත්‍රපටයට ලැබුණු ප්‍රතිචාර ධර්ම යුද්ධය 2 චිත්‍රපටය තුළ ඔබේ චරිතයට ලැබෙයිද?
දන්නේ නෑ ඇත්තටම ඒක. ඇත්තටම ඒක බලන්න වෙන්නේ ප්‍රේක්ෂකයන්ගේ අදහස් අනුව තමයි. පළවෙනි චිත්‍රපටය තුළ ප්‍රේක්ෂකයන්ට ලොකු කුතුහලයක් ගෙනාවා. දෙවැනි එකත් ඒ හා සමානවමයි තියෙන්නේ. මම හිතනවා මේ චිත්‍රපට දෙක දෙවිදිහක් කියලා. ඉතින් ප්‍රේක්ෂක ආදරය ධර්ම යුද්ධය එකට හා සමානවම ලැබෙයි කියලා මම හිතනවා. අපි බලමු මගේ චරිතය ප්‍රේක්ෂකයන් කොහොම වැලඳගනීවිද කියලා.
චිත්‍රපටය රූගත කිරීම් සිදුකරන අවස්ථාවල සිදුවුණු රසබර මතක එහෙම ඇති නේද?
රසබර මතක කියන්නේ ඇත්තටම ජැක්සන් මාමාව මතක් නොකරපු දවසක් නෑ. සමහර ලෝකේෂන්වලදි දිල්හානි ඇන්ටි, නංගි එක්ක අපි බිමල් අයියා එක්ක ඒ මතක ගැන කතා කර කර වැඩ කළා. පළමු චිත්‍රපටයේ ඇත්තටම අපි ගොඩාක් හරි නිදහසේ රූගත කිරීම් කළා. කොළඹ එනවා යනවා අඩුවුණා. දෙවැනි චිත්‍රපටය අසීමිත දින ප්‍රමාණයකින් කළේ. ධර්ම යුද්ධය 2 කළේ ගොඩක් කාලෙකට පස්සේ ධර්ම යුද්ධය 1 කරනකොට මම විවාහ වෙලා හිටියෙත් නෑ. ඉතින් මේ පාර ඒ ගැනත් විහිළු කර කර රූගත කිරීම් කළේ. කාලෙකින් ඒ සෙට්වලටම ගිහින් ඒ ආටිස්ට්ලා එක්කම රූගත කිරීම් කරන එක රසබර දෙයක් වුණා.
රංගනය කියන්නේ ඔබගේ මවගෙන් ලැබුණු දායාදයක් කිව්වොත්?
ඔව් අනිවාර්යයෙන්ම මගේ අම්මගෙන් ලැබුණු දායාදයක් රංගනය කියන්නේ. අම්මා නිසා මම රංගනයට සම්බන්ධ වෙන්නේ. නැත්නම් මම රංගනය කරන්නෙත් නෑ. මගේ ඇඟේ රංගනය කියලා දෙයක් තියෙනවා කියලා මම අඳුරගන්න එකකුත් නෑ. ඉතින් අම්මා නිසා රංගනයට ආවා. ඒක ඔපමට්ටම් කරගන්න අම්මා වගේම අධ්යක්ෂවරු රංගන ශිල්පීන් ශිල්පිනියන් ඒ හැමෝගෙම උපදෙස් උදව් මට ලැබුණා. ඒ හරහා සුසන්තා චන්ද්‍රමාලිගේ දුව විදිහට ඇවිත් තිසුරි යුවනිකා කියන නම මට ප්‍රේක්ෂකයන් අතර හදාගන්න පුළුවන් වුණා. ප්රේක්ෂකයන්ගෙන් පුදුමාකාර ආදරයක් මට ලැබුණා. ඒ ඔක්කොම මට ලැබුණේ රංගනය නිසා.
ඉදිරි වැඩකටයුතු ගැනත් කියමුද?
හස්බන්ඩ්ගේ වැඩකටයුතු ඉවර වෙනකන් අපි විදෙස්ගත වෙලා ඉන්නවා. දිගටම අපි මෙහෙ ඉන්නේ නෑ. ලංකාවට එනවා. හෙට දවස ඇත්තටම අපිට කියන්න බෑ. මම කිසිම දෙයක් ප්ලෑන් කරලා කරන්නේ නෑ. ඉතින් ඒ නිසා හැමදාම හිතේ තියෙන්නේ සතුටින් කාටවත් කරදරයක් නොවී හොඳින් ජීවත් වෙන්න.
කෞෂල්‍යා ලක්මිණි











