සුද්දන්ට ගැතිකම් කරන්න තොපිට ලැජ්ජ නැද්ද
ගොවිතැනක් බතක් කරගෙන බඩවියත රැකගනිල්ලා
සරදියෙල් අතරැඳි මඤ්ඤොක්කා කැබැල්ල කටට දමා ගත්තේ තමා අසලට කලබලයෙන් දිව ආ මිතුරා දෙස උනන්දුවෙන් බලමිනි.
“මොකද උඹට වුණේ? මොකෙකුට හරි බය බිරාන්ත වුණාද?”
කිසිදු වෙනසක් නැතිව සරදියල් ඇසුවේය. මිතුරා පවස නිවාගෙන වචන ගැටගසන්නට පටන් ගත්තේ දෑස් විසල් කරමිනි.
“සරදියල් අයියා අපි හිතාපු හරිය කොරන්ට අද ඇහැක් වෙයි කියලා හිතන්ට බැහැ”
මිතුරාගේ කතාවට සරදියල්ට තරමක් දුරට කේන්ති ආවේය. ඒ ඔහු කරන්නට සිතූ දෙයක් පසුපසට දැමීමට හෝ අතර දැමීමට කැමැත්තක් නොවූ හෙයිනි.
“අර මොකද උඹ එහෙම කියන්නෙ. ඇයි දැන් අපේ කටයුත්තට අහවල් එකද වෙලා ඇත්තේ”
“කේන්ති ගන්ට දෙයක් නෙවෙයි සරදියල් අයියා. කරත්ත පේලියේ ආරක්ෂාවට සුදු පොලිසියෙ දෙතුන් දෙනෙක්ම ඉන්නවා. ඕං ගිනි බටත් තියාගෙන ඉස්සරහට වෙලා”
“ඉතින්”
“උන්දලට ගිනි බිඳින්ටත් අපි ළඟ ඇත්තෙ එක ගිනි බටේ නොවැ අයියා”
“මොකටද උන්ට ගිනි බිඳින්නේ”
සරදියල් දබර ඇඟිල්ලටත් මහපට ඇඟිල්ලටත් මැදිකරගත් රැවුල කරකවමින් ඇසුවේය.
මිතුරා කිසිවක් නොකියා බලාගෙන සිටියේය.
“උන් කොයි කරත්තෙද ඉන්නේ”
සරදියල් යළිත් ඇසුවේය. මිතුරා පිළිතුරක් දෙන්නට සූදානම් වෙද්දී සරදියල් තුවක්කුවද රැගෙන ගල් තලාවේ කෙළවරට ගියේ සිද්ධිය සැකහැර දැනගන්නට මෙනි.
“උන් ඉන්නේ ඉස්සරහ කරත්තෙ හහ්… හහ්… ඒක යසයි. අපූරු ආරක්ෂාවක් නොවැ ඒක”
සරදියල් සිනාහුණේ සමච්චලයටය. මිතුරන්ටත් එම සිනාවේ හරි අරුතක් නොතේරෙන්නට ඇත.
“සුද්දා කොයි තරම් මෝඩද කියලා බලාපල්ලකෝ. ඉස්සරහින් මොන ආරක්ෂාවක්ද ආරක්ෂාවට ඉන්ට ඕනෑ පිටිපස්සෙන්නේ හහ්… අද උන්ගෙ කරත්ත දෙක තුනකට වෙන එක සුද්දාවත් දන්නෙ නැති වෙයි”
සරදියල් අඬ අඳුරේම ගල් කන්ද බහින්නට පටන් ගත්තේ තුවක්කුව කරේ එල්ලා ගනිමිනි. මිතුරන් පිරිසද ඔහු පසුපසින් යන්නට පටන් ගත්තේය. උතුවන්කන්දේ සිට කරත්ත පාරට එනතුරු ඇත්තේ ඉතා කටුක අපහසු මාර්ගයක් වුවද ඔහු හරි අපූරුවට ඒ ගිරිදුර්ග බැස ගියේ හිතේ සෝදිසියටත් පයේ හුරුවටත්ය. සරදියල්ට උතුවන්කන්ද එතරම්ම හුරු පුරුදුය. කොහේ කොතැනක හෝ දර ලීයක් කැඩුණද ඒ කොහේ කොතැනද කියන්නට සරදියල්ට උතුවන්කන්ද ගැන අවබෝධයක් තිබුණේය.
“තව ඩිංගකින් උන්ගේ පළමුවැනි කරත්තෙ මෙතැනින් යනවා”
“හරි අයියෙ අපි මොකක්ද කරන්ට ඕන”
මිතුරන් පිරිස කුතුහලයෙන් ඇසුවේ ඊළඟට ගතයුතු පියවර දැන ගන්නටය.
“උන්ගේ කරත්ත සේරම මෙතැනින් යනකම් ඉන්ට ඕන. අන්තිම කරත්තෙ එන්නේ අපේ උන්. ඒ කියන්නෙ කඳුවලදි ගොන්නුන්ට කරත්ත අදින්ට බැරි වුණොත් තල්ලු කරන්නයි උන් යන්නේ. අපි මුලින්ම පහර දෙන්න ඕන ඒ කරත්තෙට. හැබැයි උන් එක්කෙක්වත් මරනවා එහෙම නෙවෙයි. සුද්දගෙ රිදී කාසිවලට වහල් වුණාට උන් ඉතින් අපේම උන්නෙ”
සරදියල්ට කතාව අවසන් කරන්නටවත් අවස්ථාව නොතබා පළමුවැනි කරත්තය ඔවුන් සිටි ස්ථානය පසුකොට ඉදිරියට ඇදුණේය. එහි බැඳි ගොනුන්ගේ විඩාබර මොරදීමත් කරත්ත රෝද බොරළු කැට මත ගමන් කරද්දී නැඟෙනා අමිහිරි හඬත් ක්රමයෙන් ඇසී නොඇසී යද්දී දෙවැනි කරත්තයත්, ඉන්පසු තෙවැනි සහ සිවුවැනි කරත්තයත් එලෙසින්ම එම ස්ථානයෙන් ඉදිරියට ගමන් කළේය.
“දැන් එන්නෙ ඒ කරත්තේ. හ්ම්… වරෙල්ලා සරදියල් තුවක්කුවත් අමෝරාගෙන පාරට පැන්නේ කිසිවකුටත් සිතා ගන්නට හෝ කාලයක් නොතබාය.”
ගොන් බානේ තෝන් ලණුව අල්ලාගෙන ආ සිංහලයා බයටම ලණුව හිර කළේත් ගොන්බාන කරත්තය ඇදගෙන පැත්තට හැරුණේත් එකම අවස්ථාවකය.
“නැවතියල්ලා. මෙතැනින් එහාට යන්ට උඹලට අවසරයක් නැහැ. පණට ආදරයක් ඇත්නම් හොඳ හිතින් ආපහු හැරිලා දුවන්ට පුළුවන්”
කරත්තයේ සිටි කිහිපදෙනා තුෂ්ණිම්භූතව බලා සිටියේ සිදුවූවක් ගැන අවබෝධයක් නැති අයුරිනි.
“අනේ ආයුබෝවන්ඩ අපි නොගියොත් සුදු ඇත්තන්ට කේන්ති ගෙහුන් අපිව මරාදායි. ඒ ඇත්තන්ට කරත්ත තල්ලු කරන්න හුරුවක් නැහැ නොවැ. ඒක හින්දා අපට යන්ට දෙන්න. අපි සුදු ඇත්තන්ව ගෙහුන් ඇරලලා මලයා කියන විදිහකට කොරන්නම්”
“ලැජ්ජා නැද්ද උඹලට සුද්දට ගැතිකම් කොරන්ට ගොවිතැනක් බතක් කරගෙන බඩ වියත රැකගත්ත නම් කොයි තරම් නම්බුද බොලව්”
සරදියල් කාලය නාස්ති කරන්නට කැමැති නොවීය.
“හ්ම් කරත්තේ හරවාගෙන පලයල්ලා”
සරදියල් අත තිබූ තුවක්කුව පිරිස දෙසට මානමින් යළිත් කීවේය. පිරිසට කැමැත්තෙන් හෝ අකමැත්නේ ඔහු කියන දේ කරනවා හැර වෙනත් විකල්පයක් තිබුණේ නැත.
“එහෙමයි… එහෙමයි… මේ යනවා ආයුබොවන්ඩ”
කරත්තය ආපසු හරවාගෙන පිරිස යන්නට ගිය පසු සරදියල් මිතුරන්ද සමඟින් අඳුරේම කරත්ත පාර දිගේ ඉදිරියට දිව ගියේය.
“මේ කරත්තේ අපේ එකයි එක සුද්දෙකුයි ඇත්තේ. මං සුද්දා ගැන බලා ගන්නම්. උඹලා අපේ එකාව බය කොරලා කරත්තේ කැලෑවට දක්කපල්ලා”
මිතුරන්ද සමඟින් අඳුරේ පැමිණි සරදියල් රැගෙන ගිය දී ලී දණ්ඩ කරත්තයේ රෝද අතරින් යැව්වේය. එක තැන කරකැවී ගොස් කරත්තය නතර වෙද්දී සුදු සොල්දාදුවා තුවක්කුව මානාගෙන වටපිට බැලුවේය. ඒ අතරේ තෝන් ලණුව අල්ලාගෙන සිටි සිංහලයා පන්දම අතැතිව කරත්තය පිටුපසට එවුණේ දෙගිඩියාවෙනි. සුදු සොල්දාදුවාට සිතන්නටවත් ඉඩක් නොදුන් සරදියල් ඔහුට පහර පිට පහර කිහිපයක් එල්ල කර තුවක්කුව උදුරා ගත් අතර සරදියල්ගේ මිතුරන් පිරිස සිංහල සේවකයාවත් සමඟම කරත්තය කැලය තුළට දක්කාගෙන ගියේ ගිනි පන්දමද නිවා දමමිනි.
විනාඩි කිහිපයකට පසු සරදියල් මිතුරන්ව හමුවූයේ කිසිවක් නොවූ අයුරිනි. කරත්තයේ සිටි සිංහලයා අසලට පැමිණි සරදියල් ඔහු දෙස නොසතුටු බැල්මක් හෙළීය.
“මොනවද කරත්තෙ තියෙන්නෙ”
“කාසි මලු තියෙන්නෙ අයියණ්ඩි”
ඒ කතාවට සරදියල් තරමක් විමතියට පත්විය.
“කාසි මලු”
“එහෙමයි. වතුවල කාරිය කොරලා උන්ට ගෙනියන පඩි කාසි මලු”
සරදියල්ගෙ මුහුණේ තිබූ ඉරියව් වෙනස් වූයේය. ඔහු තරමක් වෙලා කල්පනා කර සුසුමක් පිට කළේය.
“වතුවල වැඩ කරන උන්ගෙ පඩි කාසි”
“එහෙමයි. හෙට නොවැ පඩි කාසි ගෙවන දවස”
“දැන් මේ කාසි අතුරුදන් වුණොත් සුද්දා ආයෙ කොළඹින් කාසි ගෙනත් ගෙවන්නෙ නැහැ”
සරදියල්ගෙ කතාවට තරුණයා සුසුමක් හෙලුවේය.
“එහෙම නැහැ ආයුබොවන්ඩ. සුදු ඇත්තො කියයි උඹලගෙ උන් පඩි කාසි මංකොල්ල කෑවා ගෙහුන් උන්ගෙන් පඩි ඉල්ලා ගනිල්ලා කියලා”
“පර හැත්ත උන් එහෙමද උන්ට සුමේ කරන අපේ උන්ට සලකන්නෙ”
“එහෙමයි”
“හ්ම්… මේක ආපහු පාරට දක්කලා දීපල්ලා. මුන්දැට උඩරටට යන්ට හැකි විදියට”
සරදියල්ගෙ කීමට මිතුරන් පිරිස කරත්තය පාරට දක්කා දුන් අතර තරුණයා කරත්තය රැගෙන යන්නට ගියේය. කම්කරුවාගේ පඩි සල්ලි මංකොල්ල කා ඔවුන් කුසගින්නේ තියන්නට සරදියල් කැමැති නොවූ අතර මුදල් කරත්තය ආපසු යවන්නට ඔහු තීරණය කළේ එනිසාය.
“අපරාදේ සරදියල් අයියා”
කරත්තය මහ කන්ද නැඟ නොපෙනී යනතුරු බලා සිටි මිතුරන් පසුතැවුණේය.
“ඒ සල්ලි දුප්පත් උන්ගේ සල්ලි. ඒ සල්ලි ගන්ට නරකයි. උන් පඩි දවස එනකම් බලාගෙන ඉන්නේ”
සරදියල් අනුකමපාසහගතව පැවැසීය.
ඉන්පසු දින කිහිපයක් ගතවනතුරු සරදියල් කිසිදු කටයුත්තකට සම්බන්ධ නොවී සිටින්නට කටයුතු කළේ උපක්රමශීලීව සියල්ල කළ යුතු නිසාවෙනි. ඒ අතර ඔහු ඊළඟට කළයුතු දේ ගැන සැලැසුම් සකස් කළේය. ඔය අතරේ විටින් විට ගමට ඇවිත් යන්නට සරදියල් අමතක නොකළ අතර දිනක් ගමට පැමිණ ආපසු යන අතරේ නිවෙසක කලබලයක් කන වැකුණේය. සරදියල් ඒ නිවෙසට ගොස් විපරම් කර බැලුවේය.
“මොකද නැන්දෙ වෙලා තියෙන්නෙ”
සරදියල් ගෙහිමි කාන්තාවගෙන් ඇසුවේය.
“අනේ පුතේ මුන්දැ ගහෙන් වැටිල පිට කොන්ද බිඳිලා. අතේ තඹ දොයිතුවක් නැහැ. වැඩට නොගිහින් වලව්වෙන් ඉල්ලන්ටත් බැහැ. මුන්දැ සනීප කරනොගත්තොත් අපේ දරු පැටව් ටිකටයි, මටයි කුසගින්නෙ මියැදෙන්ටයි වෙන්නෙ”
සරදියල්ගේ දෑස් යන්තම් තෙත් වුණේය. ඔහු කිසිවකුට නොපෙනෙන්නට දෑස් පිසදමාගෙන එතැනින් හෙමිහිට ඉවත්ව ආවේය. ඒ එන අතරේ සරදියල් විස්තරද සොයා ගත්තේය.
“උන්දැ වලව්වේ බැල මෙහෙවර කළාය කියලා හාමුලා දැන් පැත්තවත් බලන්නේ නැහැ පුතේ”
අතරමගද විස්තර කියූ ගම්වැසියෙක් කියූ ඒ කතාව සරදියල්ගේ සිතේ තදින්ම පැලපදියම් විය. ඔහු යළිත් උතුවන්
කන්දට ගොඩවූයේ ඒ ගැන සිතමිනි.
ඉතිරි කොටස ලබන සතියේ…











